හිස් මොළගෙඩියේ සහ හිස් කළ ගෙඩියේ වෙනසක් නැත

0

දැක්මක් වැඩපිළිවෙලක් නොමැති හිස් මොළ ගෙඩි සහ අත්හළ හිස් කළ ගෙඩි අතර ලොකු වෙනසක් නැත. ඕනෑම දහජරාවකින් ඒවා පිරවීමට හැකිය. විපක්ෂ නායක සජිත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතාකරණයට එදිරිව දැක්වූ විරෝධය හමුවේ තහවුරු කළේද තමන්ද ඕනෑම දහ ජරාවකින් පිරවිය හැකි, අත්හළ හිස් මොළ ගෙඩියක් ඇත්තෙකු බවය. එහිදී කොතරම් දුෂ්ට කාලකන්ණි තැනකට ඔහු තල්ලු‍ වුනාද කියනවා නම්, දින පහේ බැංකු නිවාඩුවට පහර දුන්නේ, ජනතාව බැංකුවල තැම්පත් කළ මුදල් ඉවත් කර ගන්නා තැනට පෙළඹෙන භීතියක් ජනිත කරමින්ය. ඒ වෙනුවෙන් විපක්ෂයෙන් ඇසුණු කතා අතර තිබුණේ, දින 5කට පසුව බැංකු විවෘත කරන විට අහිංසක ජනතාවගේ තැම්පතුවල මුදල් අඩුවී තිබෙනු ඇති බවය. අමාරුවෙන් ඉතුරු කළ මුදලින් දැමුණු ස්ථාවර තැම්පතු කැපීගොස් තිබෙනු ඇති බව කියමින්ය.

සජිත් ප්‍රමුඛ සජබ කිහිපදෙනෙකු පමණක් නොව, නිදහස සභාව මෙන්ම ජවිපෙ ප්‍රමුඛ මාලිමාවද මේ පව් වට්ටියට කරදී අදිනු අහන්න දකින්න ලැබිණ. එම අකටයුත්තේ තවත් ඉදිරියට යමින් මාධ්‍ය හමුවක් කැඳවූ නිදහස සභා නඩයේ න්‍යායාචාර්ය ලෙස කටයුතු කළ ජී.එල්. පීරිස් ලස්සන කතාවක් කිව්වේය. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධව ජුලි 01 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙනෙන චරිත කීපයක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් ඒ එම යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්‍ෂියට
නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළ නිසා බව සිතිය හැකි යයි පවසමින්ය.

මෙම නොපැමිණීම හමුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පොහොට්ටුවේ එම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු බව පැහැදිළි වූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම දක්වාම ප්‍රයෝගයක් මෙන්ම රැවටීමක් බවත් ජී.එල්. එහිදී පැවසීය.
රුපියල් මිලියන ටි්‍රලියනයක දැවැන්ත මුදලක හිමිකම් කියන සේවක අර්ථ සාධක අරමුදලේ ඉරණම මෙහිදී තමන් ඇතුළු විපක්‍ෂයේ ප්‍රධාන ගැටලු‍ව වූ බවත් සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු ප්‍රශ්නයක් නොවන්නේ යැයි රජය දිගින් දිගටම පැවසුව ද එය අසත්‍යයක් බවත් ජී.එල්. සඳහන් කළේය.

ජී.එල්. මේ ප්‍රකාශය හරහා ද උත්සාහ කළේ ජුලි 01 වනදා පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ විවාදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකුගේ නොපැමිණීමද සිය දුෂ්ඨ ව්‍යාපෘතිය ජනතාව වෙත කාවැද්දවීම සඳහා හේතුවක් කරගන්නටය. නමුත් එහි වූ අවාසනාව නම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව සම්බන්ධව ඇති විරෝධයට පමණක් මහින්දලාගේ, නාමල්ලාගේ හෘද සාක්ෂි එකිනෙකට පෑහී බව පිළිගැනීමය. ඒ අර්ථයෙන් රට බංකොලොත්වීමත් ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේදී එදා රාජපක්ෂ කඳවුරේ ප්‍රධානියකු ලෙස ජී.එල්.ලා කිසිම විරෝධයක සිට නොමැති බව තහවුරු විය.

එදා රාජපක්ෂවරුන් ජනප්‍රියවාදයට යටවී ආර්ථිකයට ඉතාම අහිතකර තීන්දු තීරණ ගන්නා විට, ජී.එල්.ලා ඒ සියල්ල අනුමත කර ඇතුවා පමණක් නොව, රට බංකොලොත් කරන තීන්දු තීරණ ගන්නට හෘද සාක්ෂිද තකට තක පෑහී ඇති බවත් තහවුරු වන්නේය. නැති නම් රාජපක්ෂවරුන් මෙන්ම පොදුවේ මිලියන 22ක ජනතාව මේ අමාරුවේ වැටුණේ ජී.එල්.ලා මෙන්ම ඔවුන්ගේ කඳවුරේ සිටින නාලක ගොඩහේවා වැනි තකතීරු උපදේශකයන්ගේ මුග්ධ උපදෙස් නිසා බව හොඳටම පැහැදිළිය. නැතිනම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි මේ මොහොතේ අර්බුදයෙන් ගැලවීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් සපුරා ගන්නට ප්‍රයත්න දරද්දී ඊට දක්වන කිසියම් හෝ විරෝධයක්, “හෘද සාක්ෂියේ” ප්‍රකාශන ලෙස උපුටා දක්වන්නට කොහෙත්ම ඉඩක් නැත. එසේ නම් ආර්ථික අර්බුදය දෙගොඩතලා යන්න රාජපක්ෂවරුන්ගේ ජනප්‍රිය දේශපාලනය කොතරම් දායකවීද, එම කටයුත්ත සඳහා ජී.එල්.ලා, ගොඩහේවාලා ද ඒ තරමටම දායකවී ඇති බව පැහැදිළිය.

කෙසේ වුවත් මේ වන විට ජී.එල්.ලා, ගොඩහේවලා පළා ගිය නමුත් පොහොට්ටු කඳවුරේ සාතිශය බහුතරය මේ වන විට සිටින්නේ වැටුණු බංකොලොත් වූ රට යළි ගොඩනගන ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙලට සහාය දෙමින්ය. ඇතැම් අමාත්‍යවරුන් එහිලා තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක කටයුතුවලට දක්වන මැදිහත්වීම ප්‍රශංසනීය ය. එසේම ඇතැම් පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් ඇමති තනතුරු පවා නොමැතිව, කිසිඳු ප්‍රසිද්ධියක් නොලබා සිය ශ්‍රමය මෙන්ම සංවිධාන හැකියාව අඩුවක් නැතිව සපයමින් ඇත.

ඒ පසුබිමේ ජී.එල්.ලා, ගොඩහේවලා සිදු කරමින් සිටින්නේ කුමක්ද? ඔවුන්ට තවදුරටත් මැක්කානියානු දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජනප්‍රියවාදයේ කරවටක් ගිලී දේශපාලනය කරන ජරපත් ශරීරයක් තෝරාගෙන ඇත. ඒ අන් කවුරුත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් ශරීර කූඩුවය. මේ වන විට සජිත්ගේ දේශපාලන උපදේශකයන් වන්නේ ජී.එල්.ලා, ගොඩහේවලා බව තවදුරටත් රහසක් නොවේය. එදා රාජපක්ෂවරුන්ට දුන්න මුග්ධ උපදේශ “කඹ” මේ වන විට ඔවුන් සජිත්ට ගිල්ලවමින් සිටින්නේ “නැව් කඹ” ලෙසය.

සජිත්ට දෙන උපදේශක මාත්‍රාවේ අධිසාන්ද්‍ර බව නිසාම සජිත්ට එය අසංවේදීව ඇත්දැයි අප දන්නේ නැත. නමුත් මේ වන විට සජිත්ට ලිබරල් කඳවුර නම් අහිමිව ඇත. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ විවාදය තුළ, ඔහු එහෙටත් නැති මෙහෙටත් නැති දේශීය ආර්ථික අටමඟලක් වෙත විතැන් වූ නිසාය. නැතිනම් මෙරට බංකොලොත් වෙන තැනට ඉඩ සැලසූ, “ටිකක් ලිබරල්, ටිකක් දේශීය, ටිකක් ජාතික, නොමිලේ ගොඩක් දෙන සුබ සාධක ප්‍රතිපත්තියක් ඇතුළත් වෙළඳ පොළට සෘජුව රජය මුල්වන, පෞද්ගලික අංශය භංග කරන විකෘති ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් කරේ තියාගෙන අදින ස්ථාවරයට සජිත් ඇද වැටෙන්නේ නැත.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව මේ මුග්ධ උපදේශකයන්ගේ උපදෙස් මත සජිත් කළ කී සියල්ල මේ වන විට අසත්‍යව ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව සජිත්ලා මතු කළ මූලික විරෝධයක් වූයේ මෙරට බැංකු ඇතුළු බැංකු නොවන මුල්‍ය ආයතනවලට සෘජු බලපෑමක් එල්ල වන බවය. නමුත් මේ වන විට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී සිදු කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාධනීය බවය. එම පියවර ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අවදානම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන ඉදිරි පියවරක් බවය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ශ්‍රී ලංකා මුදලින් පවතින බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් අදාල නොවූ බවත් ඊට අදාල වූ විදේශ මුදල් බැඳුම්කර සමස්ත බැඳුම්කර බැංකුවල සමස්ත වත්කම්වලින් සියයට 5.5 ඉක්මවන්නේ නැති බව ද එහි පෙන්වාදී ඇත.

එසේම සජිත්ලා මෙරට සම්ප්‍රදායික වාමාංශය සමඟ එකතුව මැවූ තවත් බිල්ලෙක් වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හේතුවෙන් ෑඡත්‍ / ෑඔත්‍ වැනි විශ්‍රාම අරමුදල් නැති භංග වන බවය. ඊට එරෙහිව ප්‍රතිතර්ක නැගුනු කළ ඔවුන් එය සංශෝධනය කළේ අනාගතයේදී එම අරමුදල් වෙතින් ප්‍රතිලාභ ලැබීමට නොහැකි වන බවට අනතුරු අඟවමින්ය. නමුත් මුග්ධ උපදේශකයන් සජිත්ගෙන් සඟවනු ලැබු හෝ ඔවුන් නොදන්නා දේ මොනවාද? නිදසුනක් ලෙස ගතහොත් සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකම අලු‍තෙන් එකතු වන දායක මුදල් ප්‍රමාණය ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණයට වඩා වැඩි වන බවය. එනිසා මුදල් ආපසු ගෙවීම සඳහා දැනට අරමුදල සතු මුදල් අවශ්‍යත් නොවන බවය. පසුගිය 2022 වසරේදී රුපියල් බිලියන 163.0ක මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවද්දී දායක මුදල් ලෙස අලු‍තෙන් රුපියල් බිලියන 194.6ක් ඊට ලැබී තිබෙන බවය. එසේම මේ තත්වය කාලයකට වෙනස්වීමකට ඉඩකඩ නොමැති බවය. යම් හෙයකින් ඉහත පරතරය දුරු වී ගියද ඒ හේතුවෙන් ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇති නොවන බවය. ඒ අරමුදල සතු මුදල් වෙනුවෙන් වාර්ෂිකව සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබීම නිසා බවය. ඒ අනුව පසුගිය 2022 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම රුපියල් බිලියන 282ක් බවත් ඒ අනුව, 2022දී අරමුදලේ මුදල් අතිරික්තය රුපියල් බිලියන 314ක් බවය.

එසේම සේවක අර්ථසාධක අරමුදල සතු වූ බැඳුම්කර නැවත ආයෝජනය කිරීමෙන් පසුව එම මුදල් ආපසු ලැබෙන්නේ 2027-2038 අතර වුවත්, ඒ දක්වා සෑම වසරකදීම කූපන් පොලී ගෙවීම් ලැබෙන බවය. උදාහරණයක් ලෙස 2022 අවසානයේ අරමුදල සතු වූ බැඳුම්කරවල මුහුණත අගය රුපියල් බිලියන 3,174, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙම මුදල් වෙනුවෙන් ඉදිරි දෙවසර තුළ වසරකට 12%ක පොලියක් ලැබෙන බවය. ඒ කියන්නේ වසරකට කූපන් පොලී ලෙස රුපියල් බිලියන 381ක් ලැබෙන බවය. ඉන් පසුව වසරකට රුපියල් බිලියන 286 බැගින්, එනම් 9%ක, කූපන් පොලී ආදායමක් දිගටම ලැබෙන බවය. මේ වන විට දැනුම පෙන්වීම වෙනුවෙන් වචන සහ දත්ත කටපාඩම් කර නැවත කියවන සජිත් මේ කිසිම අටමගලක් ගැන න්‍යායික හැදෑරීමක් තබා සාමාන්‍ය දැනුමක්ද නැත. ඒ නිසා මුග්ධ උපදේශකයන් කියා ලියාදෙන ඕනෑම දෙයක් කියවීමට මිස අසරණ සජිත් වෙන මොනවා කරන්නද? කෙසේ හෝ වේවා සජිත්ගේ අවාසනාවට වුවත් රටේ වාසනාවට මේ කටපාඩමින් කියන මරගාත ජනතාව පිළිගන්නේ නැත. ඒ නිසා බැංකු සහ මුල්‍ය පද්ධතිය ආරක්ෂා වූවා පමණක් නොව, ෑඡත්‍ රැ ෑඔත්‍ ගැන තිබු හුඹස් බියද පහව ගොස් ඇත.

එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ද අඩුකර ඇත. එම අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ කිව්වේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීය.
බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකුවලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එම කාලය තුළදී බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකුවලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවේය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය 2%කින් බැංකු අඩු කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය (05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200කින් පහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹී බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම මෙම මස අවසාන වන උද්ධමනය 7% දක්වාත් ඉන් පසුව මෙම වසරේ මැදි භාගය වන විට උද්ධමනය තවත් පහළට යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ ආකාරයට පොලී අනුපාතික තව දුරටත් අඩු කරනු ඇති බව සජිත්ට හිතාගන්න බැරි වුණත් ආර්ථිකය සම්බන්ධ දැනුමැති උදවියට පුදුමයක් නොවේය. උද්ධමනය අඩු වන විට ඒ පිටුපස පොලී අනුපාතිකද අඩු විය යුතුය. උද්ධමනය පාලනය කර ගන්නේද පොලී අනුපාත ඉහළ දමමින්ය. රටක උද්ධමනය වැඩි වෙනවා කියන්නෙ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩිවීම මත ඒ මුදල් වැය කර මිලදී ගැනීමට භාණ්ඩ හා සේවා හිඟවීම නිසා භාණ්ඩ හා සේවාවන්හී මිල ඉහළ’යාමය. බදු හා පොලී අනුපාත ඉහළ දමන්නේ ඒ වැඩිපුර සංසරණය වන මුදල් යළි මහ බැංකුව වෙත ඇද ගැනීමටය. එමඟින් උද්ධමනය පාලනය කරණ තාක්ෂණික උපාය මාර්ගික ක්‍රමවේදයකි. නමුත් මේ පොලි අනුපාත හරහාම උද්ධමනය පාලනය කළ නොහැක. ඊට රාජ්‍ය අයවැය හිඟය පාලනය කළ යුතුය.

එය ප්‍රායෝගික භාවිතාවකි. නැතිනම් උද්ධමනය නැවත මතුවීම අනිවාර්යය. අයවැය හිඟය පියවන්න නම් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුය. ඊට රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩිකරගත යුතුය. එය පහසු නොවන අතර අයවැය හිඟය පියවීමට එය ප්‍රමාණවත් නොවූ විට ණය ගැනීමට සිදුවීම අනිවාර්යයක් ය. නමුත් ණය කන්දක් ඇති විට සහ ගෙවීමට නොහැකි පසුබිමක සිටින විට මේ කිසිවක් කරකියා ගත නොහැකිය. ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වූයේ ඒකටය. ණය බරෙහි පීඩනයෙන් සුළු කාලයනට මිදීමටය. ඒ අනුව ණය පොලී ගෙවීමට හැකියාව ලබාගෙන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමට දැන් අවස්ථාව ඇත. මී ළඟට ඇත්තේ එතනින් ඉදිරියට පියවර තැබීමකි. මේ තුළ ආර්ථික අර්බුදයෙන් මිදෙන සැලසුම සහ පැහැදිළි න්‍යායික වැඩපිළිවෙලක් ඇත.

එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙලට විරෝධය දක්වමින් සජිත් කිව්වේ, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නට ගන්නා උත්සාහයද යථාර්ථවාදී නොවන බවය. ජනතාව පීඩාවට පත්කරන්නක් බවය. ඒ තුළ නොතිබුණේම ආර්ථිකය සම්බන්ධව සාර්ව දර්ශනයක් ඔහුට නොමැති බවය. මුග්ධ උපදේශකයන්ගේ උපදෙස් කටපාඩමින් කියවන කයිවාරුදාසයකු බවට සජිත් පත්ව සිටින බවය. දැක්මක් වැඩපිළිවෙලක් නොමැති හිස් මොළගෙඩි සහ අත්හළ හිස් කළ ගෙඩි අතර ලොකු වෙනසක් නැත. ඕනෑම දහජරාවකින් ඒවා පිරවීමට හැකිය. සජිත්ට සිදුව ඇත්තේද එයය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *