යුනියන්කාරයෝද පට්ට හොරුය

0

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය යනු එක්තරා ආකාරයක මාෆියාවකි. එය තමන්ගේ වුවමණාවන් වෙනුවෙන් පමණක් මස් රාත්තලම ඉල්ලා සිටින ජඩ ව්‍යාපාරයකි. එතැනින් නොනැවතී, වෘත්තීය සමිති යනු වෘත්තිකයාගේ අයිතීන් වෙනුවෙන් ගොඩනැගුණු ව්‍යාපාරයක් වන නමුදු ඒ මුඛ්‍ය අරමුණු පසෙකලා රට පාලනය කරන්නේ කෙසේද? රටේ නායකයා ලෙස පත් කරන්නෙ කවුද? රටේ නීති රෙගුරාසි පැනවිය යුත්තේ කෙසේද? වැනි කරුණු කාරනා වෙනුවෙන් ත්‍රාඩ මැදිහත්වීමක් දක්වා බලපෑම් කරන්නා වු කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටී.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ලෝක කම්කරු වාර්තාවට අනුව “වෘත්තීය සමිති යනු එහි සාමාජිකයන් සඳහා මූලික ක්‍රියාකාරකම් ලෙස ගෙවීම් ගිවිස ගැනීමේ සහ රැකියාවේ තත්වයන් ලබා ගැනීම සඳහා සේවකයන්ගේ ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වූ සංවිධානයකි” යනුවෙන් නිර්වචනය කර ඇත. එසේම ලොව ප්‍රමුඛතම විශ්වකෝෂය වන බි්‍රටැනිකා විශ්වකෝෂය වෘත්තීය සමිති යන්න විග්‍රහ කර ඇත්තේ “පොදු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සහ උසස් කර ගැනීම සඳහා සේවකයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් සංවිධානයකි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ද වෘත්තීය සමිති සම්බන්ධයෙන් 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනතට අනුව වෘත්තීය සමිති ක්‍රියාත්මක වන අතර, එම ආඥා පනතට අනුව සේවකයන් හා සේවායෝජකයන් අතර සම්බන්ධතා විධිමත් කිරීම, ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පැනවීම, වෘත්තීය ආරවුලකදී සේවකයන් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම, වැඩවර්ජන අවස්ථාවේදී වෘත්තීය සමිති සාමාජිකයන්ට වැටුප් හා ප්‍රතිලාභ සැපයීම යන කරුණු මූලික කොට ක්‍රියාත්මක වන අතර, මෙහි දළ අදහස ලෙස සේවකයා හා සේවායෝජකයා අතර සම්බන්ධතාවය ගොඩනගන මාධ්‍යයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් වෘත්තීය සමිති ව්‍යාපාරය හා බැඳුණු තවත් සුවිශේෂී තත්වයක් වන්නේ වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන් වෙන් වන්නා වූ සුවිශේෂී වරප්‍රසාදයි. මෙම වරප්‍රසාද අතුරින් ඇතැම් වරප්‍රසාද ආයතන සංග්‍රහය මඟින් ලබා දී ඇති වරප්‍රසාද වන අතර, බොහෝ වරප්‍රසාද එම වෘත්තීය සමිති විසින් අනියමාර්ථයෙන් භුක්ති විඳින වරප්‍රසාද වේ.
සාමානයයෙන් ආයතන සංග්‍රහයේ ඞඞඪ පරිච්ඡේදයට අනුව වෘත්තීය සමිතියක නිලධාරීන් පුර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු සඳහා සේවයෙන් මුදා හැරෙන අතර, එම කාලසීමාව තුළ ඔහුට සාමාන්‍ය වැටුප් හා දීමනා රජය විසින් ගෙවීම සිදු කරනු ලබයි. ඕනෑම සංගමයක නිලධාරියෙකුට පළමු වරට වර්ෂ දෙකක කාලයකට හෝ ඔහු සංගමයේ තනතුරු දරන කාලය යන කාල සීමාවන් දෙකෙන් අඩු කාලය සඳහා සේවයේ හදිසි අවශ්‍යතාවයන්ට යටත්ව පූර්ණ කාලීනව සේවයෙන් මුදා හැරෙන අතර, සංගමයේ ඉල්ලීම මත මුදා හැරීමේ කාලය වර්ෂ හතරක් දක්වා දීර්ඝ කළ හැකිය. මෙසේ සේවයෙන් මුදා හැරීමට නම් අවම වශයෙන් සංගමයේ සාමාජිකත්වය 1000කට වැඩි විය යුතුය. සාමාජිකයින් සංඛ්‍යාව 3000 ඉක්මවන සංගම් සඳහා නිලධාරීන් දෙදෙනෙකු පූර්ණ කාලීව මුදා හැරීමට ආයතන සංග්‍රහය මගින් බලය ලබා දී ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ දී වෘත්තිය සමිති නායකයින්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩ නැගුණු අතර විදුලිබල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතනවල වෘත්තීය සමිති නායකයින් විසින් අන් කිසිදු වෘත්තීය සමිතියකට නොමැති ආකාරයේ වරප්‍රසාද භුක්ති විඳීමක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ ගත විය.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ හා වරාය වෘත්තීය සමිති නිලධාරීන් විසින් සංස්ථාව සතු වාහන අවභාවිත කිරීම්, විශ්‍රාමික පුද්ගලයින් ආයතන පරිශ්‍රය තුළ වැඩවර්ජන ආදිය සංවිධානය කිරීම් ඇතුළු කාරණා සම්බන්ධ විවිධ තොරතුරු සමාජගත විය. මේ සම්බන්ධයෙන් බොහෝ තැන්වලින් චෝදනා එල්ල වූ අතර, විශ්‍රාමික අයවලුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් තහනම් නියෝග පවා නිකුත් කෙරිණි.

මේ තත්වය යටතේ වත්මන් වෘත්තිය සමිති සම්බන්ධයෙන් විවිධ කතිකාවන් නිර්මාණය වූ අතර, ආයතනික සේවක සුබසාධනය කෙසේ වෙතත් යම් යම් දේශපාලන පක්ෂවල න්‍යයා පත්‍රයන් ක්‍රියාත්මක කිරීම් මෙම වෘත්තීය සමිති හරහා සිදුවන බව හෙළි විය. විශේෂයෙන්ම සේවක සුබසාධනය මුවාවෙන් රාජ්‍ය පාලනයට බලපෑම් කිරීමේ තත්වයන් දිගින් දිගටම වෘත්තීය සමිති තුළින් ප්‍රකාශයට පත් වූ බවත් දක්නට ලැබිණි.

විශේෂයෙන්ම ගාලු මුවදොර අරගල සමයේදී අරගලයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වීමට මෙම වෘත්තීය සමිති මැදිහත් වූ අතර, ජෝසප් ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් යුත් ලංකා ගුරු සේවා සංගමය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෘත්තීය සමිති මෙහි ප්‍රධානත්වය උසුලන ආකාරයක් දක්නට ලැබුණි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානත්වය උසුලන වෘත්තීය සමිති ව්‍යාපාරයන් විසින් අරගලය මුවාවෙන් සිය දේශපාලන ක්‍රියාකාරකම් එළිදැක්වූ අතර, විශේෂයෙන්ම සමස්ත මහා වැඩවර්ජනයක් දියත් කිරීමට කටයුතු කළ නමුත් දේශපාලන පක්ෂවල කුළල් කා ගැනීම හේතුවෙන් මෙම සමස්ත මහා වැඩවර්ජනය දියාරු වූ බවක් දක්නට ලැබුණි.

එසේම උපයන විට බදු ගෙවීම සම්බන්ධයෙන් යම් යම් වෘත්තීය සමිති විසින් රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ජෝසප් ස්ටාලින් ප්‍රමුඛ ලංකා ගුරු සේවා සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමටත්, ඒ හරහා සිය වැටුප් වැඩිකර ගැනීමේ ඊනියා අරගයලයක් ක්‍රියාත්මක කිරීමත් උත්සාහ ගත් අතර, මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ තැන්වලින් විවිධ විවේචන එල්ල වීම හේතුකොට ගෙන ඔවුන් ද යම් පසුබෑමකට ලක් වු බව පෙණිනි. විශේෂයෙන්ම විදුහල්පති ශ්‍රේණිය හැරුණු කොට සමස්ත ගුරු සේවය කිසිදු අවස්ථාවක ලක්ෂය ඉක්මවා වැටුප් නොලබන තත්වයක් තුළ ගුරු සේවා සංගම් විසින් උපයන විට බදු ගෙවීමට විරෝධය දක්වා වැඩවර්ජනය කිරීමට උත්සාහ දැරීම තුළ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් මොනවට හෙළිවිය.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ වෘත්තීය සමිති විසින් සිය මුලික පරමාර්ථයෙන් බැහැරව තමන්ගේ මව් දේශපාලන පක්ෂයේ දේශපාලන වුවමණාවන් ඉටු කිරීමට යාම හරහා වෘත්තීය සමිති සම්බන්ධයෙන් මහජනතාව තුළ සැකසංකා මතුකිරිමට හේතු විය.

විශේෂයෙන්ම අරගලයෙන් පසු රට යථා තත්වයට ගැනීමට වත්මන් ජනාධිපතිවරයා විසින් ගත් ක්‍රියාමාර්ග හා අලුත් අවුරුදු සමයේදී ජනතාවට ලබා දුන් සහන සම්බන්ධයෙන් විවේචනය කරමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිතිය හා වරාය වෘත්තීය සමිති විසින් වැඩවර්ජන ක්‍රියාමාර්ග දියත් කළ අතර, තමන් විසින් දියක් කළ වැඩවර්ජනය හේතුවෙන් වරායට එක් දිනකට රුපියල් මිලියින ගණනක පාඩුවක් සිදු කළ බවට වරාය වෘත්තීය සමිති නියෝජිතයෙකු වන නිරෝෂන් ගොරකාන වැන්නවුන් විසින් කළ ප්‍රකාශ සමාජයේ පිළිකුලට බඳුන් විය.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරණයට එරෙහිව වෘත්තීය සමිති රජයට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවා මහජනතාව තුළ පැවතියේ යහපත් ආකල්පයක් නොවේ. මෙම ක්‍රියාවලියේදී ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නිලධාරීන් කිහිපදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමේ සිදුවීමේදී පවා මහජනතාවගේ විරෝධයක් එල්ල නොවුනු අතර, එම නිලධාරීන් වෙනුවෙන් මහජනතාව පෙනී සිටි බවක් දක්නට නොලැබුණි.

මෙවැනි තත්වයක් යටතේ මෑතකදී කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හෙළි කළේ දෙදහසකට ආසන්න වෘත්තීය සමිති නිලධාරීන් කිසිවෙකු මේ වන තුරුත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි. මෙම තත්වය සුළු කොට තැකිය නොහැකිය. වත්කම් බැරකම් ප්‍රකාශ වාර්ෂිකව ඉදිරිපත් කිරීම හරහා අදාල පුද්ගලයින්ගේ ආදායම් ඉපදවීමේ ක්‍රියාවලියේ නිරවද්‍යතාවය හෙළි කරන අතර, මෙම වාර්තා ඉදිරිපත් නොකිරීම බරපතල තත්වයකි.

විශේෂයෙන්ම රටේ නීති රීති සැකසිය යුත්තේ කෙසේද? රටේ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ කෙසේද? වැනි තමන්ට අදාල නොවන විෂය පථයන් පවා අතික්‍රමණය කරමින් පාලකයින් සියලු දෙනා දූෂිතයින්ය, හොරුන්ය යන නාමකරණයට ලක් කරන්නා වූ වෘත්තීය සමිති නායකයින්ගේ මෙම පිළිවෙත සත්‍ය වශයෙන්ම දෙබිඩි පිළිවෙතකි.

මෙම වෘත්තීය සමිති නිලධාරීන් කිසිවෙකු ආසන්න වසර දහයකට අධික කාලයක් වෘත්තීයේ නියැලීමකින් තොරව සේවා මුක්තියක් ලබා වෘත්තිකයින් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් දේශපාලනයේ නියැලෙන තත්වයක් තුළ මෙයාකාරයෙන් ඔවුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම මෙතෙක් ඔවුන් කෙරේ එල්ල වී ඇති චෝදනා යම් ආකාරයක සත්‍ය බවට උපකල්පනය කිරීමට සිදුව ඇත. මෙම වෘත්තීය සමිති නායකයන් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් ඇති අතර, වෘත්තීය සමිති කටයුතු මුවාවෙන් විවිධ අරමුදල් පවත්වාගෙන යෑම, සම්පත් රැස්
කිරීම් සම්බන්ධ චෝදනා ද එල්ල වී තිබිණි. එසේම සිය වෘත්තීය සමිති බලය පෙන්වා ඇතැම් පෞද්ගලික ආයතන බියට පත්කර මාසිකව (කප්පන්) මුදල් එකතු කිරීම්, යම් යම් වරප්‍රසාද ලබා ගැනීම් සම්බන්ධව ද තොරතුරු වාර්තා වී තිබිණි.
මෙවැනි තත්වයක් තුළ වෘත්තීය සමිති නිලධාරීන් විසින් වෘත්තීය සමිති මුවාවෙන් සිය පාර්ශ්වික දේශපාලන ක්‍රියාකාරකම් හා ජාවාරම්කාරී ක්‍රියාකාරකම්හි නියැලීම හා ඒ හරහා අයුතු වරප්‍රසාද භූක්ති විඳීමේ තත්වයන් නවතාලීම අනිවාර්ය ක්‍රියාවකි.
වෘත්තීය සමිතිවලට දේශපාලන කිරීමේ අයිතියක් ඇත. එය වෘත්තීය සමිති මට්ටමෙන් ඔබ්බට යෑම හෝ විය හැකිය. එහි වරදක් නැත. නමුත් එය පාර්ශ්වික දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් රටත් ජනතාවත් පීඩාවට පත් කරන ලෙස රාජ්‍ය පාලනයට අනවශ්‍ය ඇඟිලි ගැසීම දක්වා දිගු නොවිය යුතුය. වෘත්තීය සමිති විසින් කළ යුත්තේ සේවකයා හා සේව්‍යයා අතර සම්බන්ධතාවය පවත්වා ගනිමින් සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වීම මිස රාජ්‍ය පාලනයට මැදිහත්වීම නොවන බව මෙම වෘත්තීය සමිති මාෆියාකාරයින් තේරුම් ගත යුතුය. අවම වශයෙන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තමන් දුෂිතයන් නොවන බව හෝ ඔවුන් පෙන්වා දීම විය යුතුය.

ඒ අවංකකමවත් පෙන්වා දෙන්නේ නම් මේ අය කරන කියන දෙය නොතකා නොහැර සිටීමේ සාධාරණ අවස්ථාවක් නිර්මාණය කර ගැත හැකිය. එතෙක් ඔවුන් දූෂිතයන්ම පමණි.

  • රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *