පේරා ගිය ජනතාව නොදැකපු දේ එහි තිබුණේ තණකොළ පමණක් බවය

0

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහජනතාවට විවෘත කළ දිනය (Open Day) මහ කලබගෑනියක් විය. අති විශාල පිරිසක් මෙම විශ්වවිද්‍යාල යැයි කියන අමුතු තැන බලන්න වැල නොකැඩී ආවේය. මේ අමුතු තැනට ආපු එකේ උපරිම වින්දනය ගන්නට මිනිස්සු උත්සහ කළේය. මොකද මිනිස්සුන්ට අන්තිමට ඉතුරු වන්නේ මේ වගේ ආතල් පමණක් නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහජනතාවට විවෘත කරන පළමු අවස්ථාව ද මෙය බවට සටහන් වී තිබිණි. චිරාත් කාලයක් සාමාන්‍ය ජනතාවට වැසුණු මේ තැන මොකක්ද කියා දැක බලා ගැනීමේ කුහුල මිනිසුන්ට තිබිණි. මහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, සාහිත්‍යකාරයන්, කලාකාරයන් නැති නම් තමන් නොදන්නා දේ දන්නවා යැයි කියන අමුතු මිනිස් කොට්ඨාසයක් බිහිකරන තැන ගැන බලා කියා ගැනීම මිනිසුන්ට මාර මැජික් එකකට වඩා දෙයක් නොවීය. එය මේ පේරාදෙණි පරිපාලකයන් දැන සිටියාට සැක නැත. ඒ කොහොමත් එහෙම විය යුතුය. මන්ද තමන් විසින් නඩත්තු කරන සිවිල් බලය ගොඩනැගෙන්නේ මේ මැජික් ඒක නිසා බව ඔවුන් දනී. එය එළියේ වැඩ කරන ආකාරය ගැන ද ඔවුන් දනී. ඒ නිසා මේ මැජික් යන්ත්‍රය පෙන්නුවොත් ඒ ගැන භක්තියක් ඇතිවී වෙන මෙව්වා එකක් නිර්මාණය වෙනු ඇති බව මේ අය සිතන්නට ඇත. මේ නිසා ඔවුන් මෙය මහ ජනතාවට විවෘත කරන්නේම එය මැජික් එකක් ලෙස පැවැතීම නිසාය. ජනතාව මේ මැජික් එක බලන්න බුරුතු පිටින් ආවේය. නමුත් අවාසනාවකට එතැන තමන් නොදන්නා මැජික් එකක් ඇති වග ඔවුන්ට දැකගන්නට නොලැබිණි. එය පෙන්වීමට පරිපාලකයන් සමත් ව තිබුණේ නැති බව පෙනෙන්නට තිබිණි. ජනතාව ඔවුන්ට රිසි සේ හැසිරී වෙන ආතල් එකක් ගෙන ආපසු ගියේ ඒ නිසාය. වෙන වෙච්ච දෙයක් නැත.

ඊට පසුව බොහොමයක් පේරාදෙණියේ ආදි විද්‍යාර්ථයින්, වර්තමාන විද්‍යාර්ථයින් ආදිය කළේ මේ ආපු මිනිසුන්ට බැණ වැදීමය. දේපළ විනාශ වූ හැටි ගැන කීවේය. ගස්වැල් තණකොළ විනාශ වු හැටි ගැන පත හෑලි ලීවේය.
පේරාදෙණියේ පූජනීය බව ගැන කවි සිංදු ලිව්වේය. මේ මැජික් එක කාටත් රහසක් විය යුතු බව කිව්වේය. නැවත මෙහෙම දේවල් නොවිය යුතු බවත් කීවේය. තවත් සමහරු කීවේ තණකොළ ආපසු වැවෙන නිසා කලබල නොවිය යුතු බවය. ආපසු මේ වගේ වැඩ මීට වඩා සංවිධානාත්මකව තණකොළවලට හානි නොවෙන්න කළ යුතු බවය.

තවත් අය කීවේ මිනිසුන්ගේ කඩප්පුලි හැසිරීම එසේ වූයේ විශ්වවිද්‍යාල මඟින් බිහි කරන්නන්ගේ සිවිල් බලයට විශ්වවිද්‍යාලවලට යන්න බැරි වුවන්ගේ ඉරිසියාව නැති නම් එහෙම සිවිල් බලයක පංගුකාරයෙක් වීමට නොහැකි වීමත් නිසා ඇති මානසිකත්වය නිසා මිනිස්සු එසේ හැසිරීම වූ බවය. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ නූගතුන්ය, උන් මෙහි පය නොගැහිය යුතු බවය.

කොහොම නමුත් ලෝකයේ මහා විශ්වවිද්‍යාල සම්ප්‍රදායයන් අනුව මෙලෙස මහජනතාවට විවෘත දිනයන් සංවිධානය වීම යම් කාල වකවානුවල සිදු වෙයි. නැතිනම් මාස්පතා සතිපතා හෝ මහජනතාවට සහභාගී විය හැකි විවිධ කටයුතු සංවිධානය වෙයි. ඒවාට පුරුද්දක් ලෙස සහභාගි වන්නෝ ද වෙති. එසේම මේ විශ්වවිද්‍යාල කියන ආයතනයේ ක්‍රියාකාරකම් බලා කියා ගන්න ඒවාට සම්බන්ධ වීමේ වුවමණාවෙන් පැමිණෙන පිරිසද වෙයි. ඒ එන මිනිස්සු එම දේපළවලට ගහ වැලට තණකොළවලට හානිකර යන්නේ නැත. මන්ද ඔවුන් එන්නේ මේ විශ්විද්‍යාල කියන්නේ මාර මැජික් එකක් නොවන බව දැනගෙනය. එහි මැජික්කාරයන් නොමැති බව දැන ගෙනය. ඔවුන්ට වෙන ඇරියස් ද නැත. ඒ විශ්වවිද්‍යාල මඟන් එවැනි තත්වයන් වර්ධනය වන්නට අවශ්‍ය හේතු නැති කර ති‌බේ. මේවා පොදු මහජන ආයතන කර තිබේ.

මහජනතාවට විවෘත දිනය වැනි දේ සංවිධානය කිරීමෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාවට සහ පාසල් සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබාදී එයින් ගත හැකි දේ පිළිබඳව හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇති මොකක් හෝ වටිනාකමක් පෙන්වා දී එයට පෙළඹවීම සහ මාර්ගෝපදේශයන් ලබාදීම වෙනුවෙන් යැයි කියවේ. මොකද රටක පැවැත්මට මේ කියන ඉහළ අධ්‍යාපනය අතිශය වැදගත්ය. කිසිවකු ඒ විධිමත් උසස් අධ්‍යපනයට යොමු නොවන්නේ නම් අනතුරේ වැටෙන්නේ රටේ අනාගතයය. බුද්ධි ගලනය රටකට ප්‍රශ්නයක් වන්නේත් මේවායෙන් බිහිවන්නන් රටේ අභිවෘද්ධියට පෙරළා වැඩ නොකර රටට කොකා පෙන්වා රට පනින නිසාය.

ඒ කොහොම වෙතත් පේරාදෙණිය මහජනතාවට විවෘත කිරීම නිසා එහි පැවැති මැජික්මය ප්‍රහර්ෂයට හානියක් වී ඇත. මොකද ආපු ජනතාව එහෙම දෙයක් නොදැක්ක නිසාය. මාරයි කියා කියන්න තරම් දෙයක් ජනතාවට හැඟෙන්න
කිසිවක් සිදු වූයේ නැතිව වැඩේ ඉවර විය. මෙහෙම මාරයි කියන්න දෙයක් විශ්වවිද්‍යාලය තුළ නැති වූයේ කුමක් නිසාද යන්න ගැන මේ මිනිස්සුන්ට බැන අඬ ගහන වුන් සඳහන් කරන්නේ නැත. එහෙම මාරයි කියන්න තරම් ගුණාත්මකභාවයක් ගන්නට නොහැකි වන්නේ එහෙම එකක් නොතිබුණ නිසා විය හැකිය. විශ්වවිද්‍යාල විවෘත දිනයන් ගැන වරක් ජාත්‍යන්තර ද ගාඩියන් සඟරාව සඳහන් කර සිටියේ විවෘත දිනය යනු ‌ෆොටෝෂොප් මඟින් සංස්කරණය කරන ලද සෙලිබි්‍රටිස්ලා වැනි බවය. කැත ඇත්ත වසා දමා ලස්සන මායාවක් පෙන්වන බවය. නමුත් පේරාදෙණිය ගැන මැජිකමය කතන්දර තිබුණද එහෙම යමක් පෙනන්නට ද නොවුණි. මිනිස්සු වෙන ආතල් ගත්තේ ඒ නිසාය. පසුව ඒ මිනිස්සුන්ට එල්ල වූ චෝදනා අනුවත් ගොඩනැගෙන ගැටලුව වන්නේ විශ්වවිද්‍යාලය තුළ තිබී ඇත්තේ තණකොළ පමණක් ද කියන එකය. නමුත් එය ද මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමන්ට චෝදනා එල්ල වන විටදීය. අවසානයේදී පේරාදෙණිය මහජනතාවට විවෘත කළා කියා මහජනතාවට මොනවත් සිදුවුණේ නැත. විශ්වවිද්‍යාලය නඩත්තු කරගෙන ආ මැජික් එක නම් ඉවර විය. නමුත් විශ්වවිද්‍යලය ඉවර වන්නේ නැත. එය පවතීවී. තණකොළත් වැවෙනු ඇත.

පසුගිය කාලයේ අරගල කළෙත් මේ මහජනතාවමය. ජනාධිපති මන්දිරයට අරලියගහ මන්දිරයටත් පැන ආතල් ගත්තේත් මේ අයය. ඒවා මැජික් මෙන් තිබුණු තැන්ය. දැන් ඒ මැජික් අවසන්ය. මැජික් අවසන් වුණාට ඒ ක්‍රියාකාරීත්වය අවසන් වන්නේ නැත. ඒවා කුඩුපට්ටම් කරන්න බැරිය. මොකද ඒවා සිස්ටම් එකේ කොටස්ය. සිස්ටම් එකේ කොටස් විනාශ වුණොත් සිස්ටම් එකම අර්බුදයට යයි. ඒ නිසා ඒවා එහෙම විනාශ වෙන්න ඉඩ නොදෙයි. එහෙත් මැජික් අවසන් වීම හොඳ දෙයකි. ජනතාවට මැජික් වෙච්ච මාරයි කියන්න පුළුවන් සුවිශේෂී සැලකිල්ලට ලක් වන තැන් අහෝසි වීම හොඳ දෙයකි. පේරාදෙණිය පමණක් නොව අනෙක් සියළුම විශ්වවිද්‍යාලවලත් මේ මැජික්කරණය අවසන් විය යුතුය. ඊළඟ පාර ජනතාව ඇවිත් තණකොළ පරිස්සම් කරන්නේ එතකොටය. මන්ද ඒ එන පිරිස එන්නේ මැජික් බලන්න නොවන නිසාය. ඒ නිසා වෙන ආතල් ගන්න වෙන්නේ නැත. කොටින්ම මේ ආවා වගේ බුරුතු පිටින් ජනතාව නැවත එන්නේත් නැත. නමුත් ඒ එන මිනිස්සුට ගත හැකි මැජික්මය දෙයක් තිබිය යුතුය. එහෙම කොලිටියක් නැති නම් මිනිස්සුන්ට එන්න හේතුවකුත් නැත.

ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *