රනිල් කියුබාවට අනුර ඇමරිකාවට

0

සටන් කරමින් ඉගෙන ගන්න, ඉගෙන ගනිමින් සටන් කරන්න යනුවෙක් කියුබාවේ අසහය නායක ෆිදෙල් කැස්ත්‍රො වරක් ප්‍රකාශ කළ බව කියවෙයි. ඒ දේශපාලනයේදී න්‍යාය හා භාවිතාව වඩාත් නිවැරදිව යොදාගැනීම ගැන කතාවකි. තවත් තේරෙන විදිහකින් කිවහොත් කයිවාරුව අනුව වැඩ තිබිය යුතුය, වැඩ අනුව කයිවාරුව තිබිය යුතුය කියන එකය. (යථාවාදී තථාකාරී)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කයිවාරු ගැසුවා සේම වැඩද පෙන්වා තිබේ. ඒ වැඩ අනුව කයිවාරු ගැසීමේ හැකියාවද දැන් ඔහු සතුය. ජනාධිපතිවරයා පසුගියදා කියුබාවට ගියේ ජාත්‍යන්තර කයිවාරුවක් ගැසීමටය. ඒ සමාජවාදී කියුබාවේ ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව G 77 සමුළුව ඇමැතීමටය. මෙය වැදගත් අවස්ථාවකි. G 77 සමුළුවේ මෙවර අරමුණ වන්නේ වත්මන් සංවර්ධන අභියෝගයයන්ය. එහිදී දේශගුණික විපර්යාස, යටිතල පහසුකම් හිගය සහ බලශක්ති සහ ආහාර අර්බුද ඇතුළුව පොදුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අර්බුදවලට විසඳුුම් සොයාගැනීම මූලික වේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් සිය අත්දැකීම් සහ දැනුම සෙසු රටවල් හා බෙදාහදා ගනු ඇත. එසේම මෙහිදී කියුබානු ජනාධිපතිවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවකට යොමු වෙමින් දෙරට අතර සහයෝගිතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම අවධාරණය කර තිබිණි. ගෝලිය භූ-දේශපාලනයේ ගොදුරක්ව තිබෙන කියුබාව මුහුණ දෙන ගැටළු නිරාකරණයට අවශ්‍ය සහය ඔහු ප්‍රකාශ කර තිබු අතර ජනාධිපති රනිල් කියුබානු නායකයාට මෙරටට පැමිණ මෙරට අත්දැකීම් විඳගන්නා ලෙස කළ අරාධනයද ඔහු ඉහළින්ම පිළිගෙන තිබිණි.
ජනාධිපති රනිල් කියුබාවට ගියේ සමාජවාදී කියුබාව විඳදරා ගැනීමට හෝ විනෝද චාරිකාවකට නොවන බව පැහැදිලිය. රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ රටට තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතාව මත ලබා ගත හැකි ප්‍රතිලාභයක් අත්පත් කරගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු උපරිම අවස්ථාව ලබාගැනීම සිදු කර තිබේ. රට ගැන වගවීමක් ඇති නායකයන් කටයුතු කරන්නේ එහෙමය.
මේ අතර කියුබානු විප්ලවයේ ආදර්ශයන් මෙරට ක්‍රියාත්මක කිරීමට සිය පක්ෂ ඉතිහාසය තුළම වෙහෙසුන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර කියුබානු විරෝධී අධිරාජ්‍යවාදී ඇමරිකාවේ සංචාරයකට සූදානම් වෙයි. අනුර ඇමරිකාවට යන්නේ ඇමරිකානු ආදර්ශයන් මෙරටට ගෙන ඒම පිණිස කියා කිව නොහැක. ජවිපෙ දේශපාලන භාවිතාවට අනුව ඇමරිකාව යනු මෙරට පරම හතුරෙකි. රට ගිලගැනීමට මාන බලන රකුසෙකි. ඇමරිකානු ක්‍රමය යනු ජවිපෙ අතිශය පිළිකුලට භාජනය වූ ජරාජීර්ණ සහ මිනිසුන් සුරාකන මජර ම්ලේච්ඡ ක්‍රමයකි. එහෙත් අනුර ඇමරිකාවට යන්නේ ඒ ක්‍රමය තුළ හරි හම්බකරගෙන යමක් කමක් ඉතුරු කරගෙන ඇති මෙරට සම්භවයක් සහිත හෝ නැති ශ්‍රී ලාංකේය ධනවතුන් හමුවී පක්ෂ අරමුදලට කීයක් හෝ එකතු කරගෙන ඒමේ බලාපොරොත්තුව සහිතව පමණය. එසේ නොමැතිව අනුරට ඇමරිකාවට ගොස් වෙන කරන්න දෙයක් නැත. බඩු මිල වැඩියි, බදු වැඩියි, පාලනය දූෂිතයි, රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මකයි. ධනපතියෝ මිනිසුන් හූරගෙන කනවා වගේ කතා හෘද සාක්ෂියේ සම්මුතියෙන් එහෙ ගිහින් කියන්න බැරිය. මන්ද අනුරලාට අනුව ඇමරිකාව ඒ අතින් කප් ගසා සිටින රටකි. අනුර හමුවෙන පිරිස යනු ඒ ඇමරිකානු පිළිිවෙත පිළිගෙන ඊට අනුගත ජීවිතයක් ගත කරමින් සිටින අයය. ඒ අනුව ලංකාවේ ගැටළු ඔවුන්ට කියා වැඩක් නැත. අනුරලා හදන්නේ ලංකාව ඇමරිකාවක් කිරීමට නොවන නිසා අනුර ලංකාවේ වේදිකා දෙවනත් කරමින් කියන කතා ඔවුන්ට අදාලත් නැත. ලංකාව කියුබාවක් කරන්න පොරොන්දු දෙන අනුර සමඟ ඔවුන්ට කරන්න දේශපාලනයක් ද නැත. නමුත් කීයක් හෝ හොයා ගන්න නම් ඇමරිකාව වගේ රටක් හදනවා කියන බොරු කයිවාරුවක් ගැසිය යුතුය.
රනිල් කියුබාවට යන්නේත් රටට රටේ සමස්ත ජනතාවට යමක් එකතුකරගෙන ඒමටය. නමුත් එහෙට ගිහින් ලංකාව, කියුබාවක් කරනවා යැයි කියන්නේ නැත. කිව්වේ ද නැත. අර්බුදයකින් ගොඩයන්නේ කොහොමදැයි ලංකාවට ඇවිත් බලන්න යැයි කියුබානු නායකයා ඉදිරියේ කයිවාරුවක් ගැසීමට තරම් හයියක් සහ විශ්වාසයක් රනිල්ට තිබිණි.
රනිල්ලාගේ අනුරලාගේ දේශපාලනය වෙනස් වන්නේ එලෙසය. රනිල් සමාජවාදී කියුබාවට යන්නේ සහ අනුර ධනවාදී ඇමරිකාවට යන්නේ ඇයි දැයි තේරුම් ගත යුත්තේ ඒ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *