නරා වළේ හඬාවැටීම

0

රැවටීම කියන්නෙම ඍජු හෝ වක්‍රාකාරව ලොකු, කුඩා ප්‍රමාණයන්ගෙන් වගේම කුරිරු, සාහසික ආකාරයෙන් සත්‍ය නොවන තොරතුරු විශ්වාස කිරීමට මිනිසුන් දිරිගැන්වීමේ අධම ක්‍රියාවලියකි. එහි බොරුකීම යනු රැවටීමේ පොදු ගුණාකාරයකි. දුහුනන් පිරි සමාජයක එය ගුණෝත්තරව ක්‍රියාකරනු දැකිය හැක.

ශ්‍රී ලාංකේය සමාජය මෙහි දුහුන ගණයෙහිලා (දේශපාලන සාක්ෂරතාව හීන) සැලකිය හැකිය. මන්ද හුදෙක් රටක් ලෙස මෙතැකැයි කියා කිවනොහැකි තරමින් අප අත්විඳි, අදටත් නිමක් නැති සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ගරාවැටීමේ ඛේදවාචකය, එකී දුහුන වූ ජන සමූහයක ක්‍රියාකාරීත්වයේ අනිවාර්ය ප්‍රතිඵලය වූ බැවිනි. එය තනි පුද්ගල කැමැත්තක හෝ දෙතුන් දෙනෙකුගේ උත්සාහයක් නොව සමස්ත සමාජයේම අභිරුචියේ නිරූපණයක්ය යන්න වඩාත් නිවැරදිය.

එකී අභිරුචිය මෙසේය. පියවි ඇසින් දැකගත හැකි ඇත්ත සත්‍ය පෙනි පෙනී තිබිය දී අනෙකෙකු විසින් භාෂාරූපණයෙන් මවා පෑ, හඬ අලංකරණයෙන් කියාපෑ, එහෙත් ඉතිහාසය පුරා දැක නැති, අනාගතයේ ද දැකගත හැකි යැයි විශ්වාසයක් ද නැති සාහසික අසත්‍යයන්, අමූලිකා රුචිකත්වයකින් විශ්වාස කිරීමේ සහ ඊට අනුගතව ප්‍රතික්‍රියා දැක්වීමේ අනිවාර්ය ප්‍රතිඵලයක අභාවාචකයයි. අද සුදනන් සේ වෛවර්ණ ඇඳුමින් සැරසී ජනතාව ඉදිරියේ තමන් ජනතාවාදී යැයි රඟන, සිය දෑත් පිරිසිදු යැයි හඬ නඟන, වරද අනෙකාගේම යැයි මොර දෙන බොහෝ ඇත්තෝ පෙර කී අභාවාචකයේ නිමැවුම්කරුවෝම වෙති. අද කියන දේ විශ්වාස කරනවා විනා පෙර කළ දෑ නොවිමසා ක්‍රියා කිරීමේ පුරුද්දක් අප සමාජයේ පැළපදියම්ව ඇති හෙයින්, මේ වන විටත් ඔබ එය එසේ නොවේ යැයි කිසියම් හෝ ප්‍රමාණයකින් විශ්වාස කරන්නේ නම් හෙට දවසේ ද මේ රට ගරාවැටුණු නරා වළේම පල්වන බවට නම් සැකයක් නැත.

මේක කරුමය නෙමෙයි රාජ්‍යයේ අසමත්කම !

”නෑ සහෝදරයා, ඒක කරුමේ නෙමෙයි, ඒක මේ රාජ්‍යයේ අසමත්කම. මේ මිනිස්සු මුළු ජීවිත කාලෙම කන පරිප්පු ඇටේ ඉඳලා බදු ගෙවලා තියෙනවා මේ රාජ්‍යය පවත්වගෙන යන්න”මේ පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සහෝදරයා ටෙලි නාට්යයේ ජනප්‍රිය වූ වදනකි. කතාව ඇත්තය. රාජ්‍යය අසමත්‍ය. නමුත් මේ අසමත්කම කුමක්ද? ඒ තත්වය ඇති වුණේ කොහොමද? එය වලක්වා ගතයුතු නම් ඊට ඇති විසඳුම කුමක්ද කියන එක මේ ලස්සන වදන්වලට වඩා වැදගත්‍ය.
දුම්රිය වැඩවර්ජනය සහ ජනතාව පීඩාවට පත්වීම ගැන රොමෑන්තික කතන්දර කියවන්න කැමැති පිරිස් ඉහත උපුටනය හා සමාන වදන් කවි සංකල්පනා ආදිය සහිත පෝස්ට් බෙදාහදා ගන්නා අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සුලබය. ධනවතුන්, මන්ත්‍රීලා සුඛෝපභෝගී වාහනවල යනවා, මිනිස්සු කෝච්චියේ එල්ලිලා ගිහින් මැරෙනවා…, මේ එවැනි තවත් විකාර සන්සන්දනයකි. දැන් හැමෝටම වාහන නැතිකම ගැටළුවක් කරගෙන තිබේ. නැතිනම් හැමෝම මේ කෝච්චියේ යා යුතු බවට යෝජනාවකි. තමන්ගෙම වාහනයක යන්න මිනිස්සුන්ට සිහිනයන් ආසාවන් තිබෙන බව ඇත්තකි, නමුත් ඒ ආසාව මේ වගේ ප්‍රශ්නයකදී ඉරිසියාවට, වෛරයට හෝ කුහකකමකට හරවා ගැනීම තක්කඩි දේශපාලන මෙහෙයුමකි.

කොහොම නමුත් පෙර දැනුම් දීමකින්වත් තොරව දුම්රිය වැඩවර්ජනයක් හදිස්සියේ ක්‍රියාත්මක වීම මඟින් ඇති කළ ප්‍රවාහනමය පීඩාව විවිධ ජන කොටස් තුළ බරපතල විරෝධයට පාත්‍රව තිබිණි. ඊට අතිශය සාධාරණ හේතු තිබේ. සමස්තයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ද ජනතාව තුළ පිළිකුලට පාත්‍ර විය.

වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් පාඩු දරමින් රජයට විශාල බරක් වී තිබෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායකයක් වන්නේ දුම්රිය සේවාවය. දුම්රිය සේවය තුළ, එම සේවාව ශක්තිමත් කිරීමට කිසිසේත්ම සහයක් නොදෙන වෘත්තීය සමිති මර ඇඳේ පණ අදිමින් සිටින ලෙඩාගේ රීරි මාංශයත් හුරාගෙන කන්න හදනවා සේ තවත් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව තමන්ව රක්ෂා කරන ආයතනය දියුණුවට හෝ යන්තම් ගැටගහගෙන යන්න හෝ කිසිවක් නොකර තමන් විසින් සේවය සැපයිය යුතු වූ මඟී ජනතාවගේ ජීවිතද බිල්ලට ගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීම, සාහසික ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙනි.

වැඩි වැටුප්, දීමනා, උසස්වීම් ඉල්ලා කරන මෙම වැඩවර්ජනය මුළුමනින්ම අසාධාරණ, අයුක්ති සහගත පදනමක සිට සිදුවන්නකි. තමන් රැකියාවක් කරනවා නම් ඒ වෙනුවෙන් ලැබෙන වැටුප් වරප්‍රසාද ආදිය ලැබීමට නම් එම ආයතය ඒ වෙනුවෙන් ලාභ ලැබිය යුතුය. අඩුම තරමින් පාඩුවක් නොලැබිය යුතු තරමේ ආදායමක් ලැබිය යුතුය. ලාභයක් ලැබෙනවා නම් තමන්ට ලැබෙන වැටුප් වරප්‍රසාද ආදිය ඉහළ දමාගැනීමේ ඉල්ලීම සාධාරණ පදනමක සිට සිදු කළ හැකිය. එහෙම වැඩි ලාභ ලැබෙන විට වැඩි සැලකුම් ලබන රාජ්‍ය සේවාවන් මේ රටේ තිබේ. නමුත් දුම්රිය සේවය යනු තවදුරටත් රාජ්‍ය බදු ආදායම් කාබාසීනියා කරන ආයතනයකි. දුම්රිය පාඩු ලැබීම පාලනාධිකාරයේ කළමණාකාරිත්වයේ දුර්වලතාවයක් යැයි පහසුවෙන් පැවැසිය හැකි නමුත් ඇත්ත කතාව රාජ්‍ය සේවය නම් ක්‍රමයේ වැරැද්දය. මේ තත්වයන් තවදුරටත් පවත්වාගෙන යා නොහැක. මෙවැනි මහජන සේවාවන්වලින් ලාභයක් රජය අපේක්ෂා නොකළත් එය පාඩු නොලබන තත්වයෙන් පවත්වා ගැනීම විය යුතුය.

පසුගිය දශකය (2010-2020) තුළ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය, රුපියල් බිලියන 331කි. 2020 දී පමණක් සිදුව ඇති මූල්‍ය අලාභය රුපියල් බිලියන 45කි. 2021 වසරේ දුම්රියේ සමස්ත ආදායම රුපියල් බිලියන 2.6ක් වන විට බිලියන 2.3ක් සේවක අතිකාල දීමනා සඳහාද වැටුප් සඳහා බිලියන 7ක් පමණ ගෙවීමට සිදු තිබිණි. සමස්ත ආදායම මෙන් හතර ගුණයක් පමණ ප්‍රමාණයක් සේවක වැටුප් වෙනුවෙන් පමණක් ගෙවීම සිදු ව තිබිණි. අනෙක් නඩත්තු කටයුතු වෙනුවෙන් අමතර රුපියල් බිලියන ගණනක් වැය කිරීමට සිදු තිබිණි. ඒ රාජ්‍ය බදු ආදායම්වලිනි. මේ යථාතත්වයන් හමුවේ දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ වැඩි වැටුප් වරප්‍රසාද මුල් කර ගෙනය. අඩුතරමින් විධිමත්, කාර්යක්ෂම, මහජන හිතකාමී සේවාවක් හෝ මේ දුම්රිය සේවය තුළින් ලැබී තිබුණා නම් මේ ඉල්ලීම් දෙස සානුකම්පිතව හෝ බැලීමට ඉඩක් තිබිණි. නමුත් ජනතාව වෙතින් නැගෙන හඬ වී ඇත්තේ, වර්ජකයන්ගේ ඉල්ලීම් ලබා නොදෙන ලෙසත්, දුම්රිය සේවය වහාම පෞද්ගලිකකරණය කරන ලෙසටත්‍ ය.
දුම්රිය සේවය පාඩු ලැබීමට හේතු රැසක් තිබේ. රාජ්‍ය සේවයට ආවේණික දුර්වලතා ඉන් ප්‍රධානය. නිසි කළමනාකාරිත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඇති නොහැකියාව මත, රාජ්‍ය සේවයේ දූෂිතබව නාස්තිකාරවීම, ආදායම් ඉලක්ක නැතිවීම, පිරිවැය පාලනයක් නැතිවීම නිරන්තරයෙන් පවතින තත්වයය. එසේම පාලනාධිකාරයේ සිට පහළම සේවකයා දක්වා ඇත්තේ සේවය ගැන වගවීමක් නොවේ. පාලනාධිකාරය නිවැරදි තීන්දුවක් ගත්තත් අනෙක් නිලධාරීන්ගෙන් හෝ සේවකයන්ගෙන් ඊට අවශ්‍ය සහයෝගය නොලැබේ. බරපතලම තත්තවයන් ගොඩනඟන්නේ වෘත්තී සමිති මාෆියාවය. මෙම වෘත්තීය සමිති කියන්නෙම පවතින ජරාජීර්ණ ක්‍රමය තවදුරටත් රැක ගෙන පෝෂණය කරගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු කණ්ඩායමකි. දූෂිත ක්‍රමවේදයන් ඔවුන්ගේ නිර්මාණයකි. දේශපාලනික හෝ බඩගෝස්තර වුවමණාවන් මත තමන්ගේ හුදු පැවැත්මට එය නඩත්තු කරගෙන යෑම ඔවුන් විසින් සිදු කරයි. අතිවිශාල වැටුප් හා වරප්‍රසාද ප්‍රමාණයක හිමිකරුවන් වුවද ඊට සෑහෙන සේවාවක් හෝ ඔවුන් වෙතින් සිදු නොවේ. මූලික වැටුප මෙන් කිහිප ගුණයක අතිකාල ලබාගන්නා රාජ්‍ය සේවාවන් කිහිපයට දුම්රිය සේවයද අයත්‍ය. මේ නිසා මේ ජරාජීර්ණ බව රැකගැනීම දුම්රිය වෘත්තිය සමිතිවල අභිප්‍රායය. රජයේ සමස්ත බදු ආදායමම හෝ වැය කර තමන්ගේ ගතමනාව ලැබීම හැර ඔවුන්ට අනෙකක් වැඩක් නැත. කොහොම නමුත් දැන් මේ සෙල්ලම හොඳටම ප්‍රමාණවත්‍ය. දුම්රිය සේවය මෙලෙස පවත්වාගෙන යනවාද නැද්ද ගැන රජය කඩිනමින් තීරණක් ගත යුතුය. තවදුරටත් පාඩුවට මෙම සේවය පවත්වාගෙන යාමෙන් රජයට වාසියක් තිබෙනවා නම් කම් නැත. ජනතාවට පහසුවක් තිබෙනවා නම් කම් නැත. නමුත් ඇත්තේ එහෙම තත්වයක් නොවේ.

ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය මෙන්ම මහා පරිමාණ කර්මාන්ත ආදිය රජය මූලික වී ආරම්භ කළේ ඒ ප්‍රාග්ධන පිරිවැය පෞද්ගලික අංශට දැරීමේ අපහසුව නිසාය. නමුත් රාජ්‍ය ව්‍යාපාරයන් ලෙස දිගින් දිගටම මේවා නඩත්තු කරගෙන යෑම මෙන්ම පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමත් වැරදි තීරණ බව ඒ මුල් වකවානුවලදීම හොඳින් පැහැදිලි වූ ඇත්තකි. ජනතාව වෙනුවෙන් සේවය කිරීම රජයෙ කාර්යභාරය කියමින් සුබසාධනවාදී පදනමක සිට මෙම ව්‍යවසායකයන් පවත්වාගෙන යෑම නිසා මෙතෙක් රටට සිදුව ඇති සමස්ත පාඩුව ගණනය කළ නොහැකිවද තිබේ. එතරම්ම එය විශාල සහ සිදුව ඇත්තේ කුමක්ද කියන කාරණයවත් පැහැදිලි කරගත නොහැකිව තිබේ.

මේ අනුව දුම්රිය සේවය යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර තවත් ඉදිරියට යෑම සිදු කළ නොහැක. පෞද්ගලිකකරණයට හෝ රජය හා ඒකාබද්ධව පෞද්ගලික අංශයේ කළමණාකාරිත්වය මගින් වන සේවාවක් බවට මෙය පත් කළ යුතුය. මෙය අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. 1993දී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමේ යෝජනාව ගෙන ආවෙත් මේ වෙනුවෙනි. ඒ ක්‍රියාත්මක වෙමින් සංවර්ධනය දෙසට ඉදිරියට ඇදෙමින් තිබියදී මෙය යළි අහෝසි කර 2005දී දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට ගත් දේශපාලනික තීන්දුව නිසා යළිත් දුම්රිය සේවය ඇද වැටුණේ පාඩු පිට පාඩුු ලබන පීල්ලටය. මේ නිසා දැන් කළ යුත්තේ කුමක්ද කියන එක ගැන අත්දැකීම්වලින්ම දැනුවත් අවබෝධයක් රජයට ඇත. මේ අනුව වඩාත්ම ප්‍රශස්ත ආකාරයට දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සොයාබැලීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය මේ වන විට කටයුතු කර ඇත. ඉදිරි මාස දෙක ඇතුළත ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතය.
දුම්රිය වැඩවර්ජන ඇතිවීමට සැඟවුණ හේතුවක් වුයේ රජයේ මෙම තීරණය සහ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දශක ගණනාවක් තිස්සේ සිදු කර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීමය. මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් විසින් සිදුකර ඇතැයි කියන වංචා, සොරකම් සහ දූෂණ අක්‍රමිකතා පිළිබඳව ද විමර්ශනය කිරීමට නියමිතය. මේ අනුව වෘත්තීය සමිතිවල කලබලය පැහැදිලිය. රජය තවමත් තීරණය කර නැති නමුත් ප්‍රතිව්‍යුහගත කිරීමේ වචනය ඇහෙන විටම ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති මාෆියාව ඉක්මන්ව ඇත්තේ ඒ නිසාය.

කෙසේ වෙතත් මේ මොහොතේ දුම්රිය වැඩවර්ජකයන් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් ලබා දීමට රජය තීරණය කරනවා නම් එයින් තවදුරටත් රජයේ පාඩු වැඩි කරලීම මිස වෙනකක් වන්නේ නැත. රජයට පාඩු ලබනවා කියන්නේ ජනතාවට පාඩු වෙනවා කියන එකය. මොකද මෙය පවත්වාගෙන යාම වෙනුවෙන් සමස්ත ජනතාවටම බදු ගෙවමින් බර දරන්න වීමය. දුම්රිය සේවය ලාභ ලැබීම අත්‍යාවශ්‍ය නැත. එහෙත්, මෙතරම් පාඩු ලැබීම සාධාරණ නැත. එය වෙනස් කළ යුතුය.
මේ වන විට දුම්රිය සේවය සතුව කිලෝ මීටර් 1561ක දුම්රිය මාර්ග, දුම්රිය එන්ජින් 72ක්, බල කට්ටල 78ක්, මැදිරි 565ක් සහ සංඥා ජාලයක් ඇත. දුම්රිය ස්ථාන 300කට අධිකව ඇත. දැනට එහි ශ්රම බලකාය 17,634කි. දුරගමන් 67ක් සහ නගරාන්තර දුම්රිය 16ක් ඇතුළුව ආසන්න වශයෙන් දුම්රිය ගමන් 396ක් ක්‍රියාත්මක කරන අතර දිනකට මගීන් මිලියන 3.72ක් පමණ රැගෙන යයි. මේ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට ලක්වන්නේ දැවැන්ත ආයතනයකි. එසේම දුම්රිය සේවා ක්ෂේත්‍රයට අදාළව වෘත්තීය සමිති සියයක පමණ මාෆියාවක් ක්‍රියාත්මක වීම මත මෙය පහසු නොවන කාරණයක් ද වෙනු ඇත.
කෙසේ නමුත් ලෝකයේ බොහෝ රාජ්‍යයන් රාජ්‍ය ව්‍යවසායකයන් ලෙස ආරම්භ කළ දුම්රිය සේවාවන් මීට දශක දෙක තුනකට පෙර සිට ප්‍රතිව්‍යුහගත කිරීම මඟින්, ලාභ ලබමින් දියුණු සේවාවක් බවට පත්කර ගැනීමේ උදාහරණ රැසක් ඇත. 2005 වසරේදී ඉන්දියාවද මේ වෙනුවෙන් පියවර ගනු ලැබීය. රජය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට යෝජනා විය. බි්රතාන්යය, ඇමරිකාව, ජපානය, ජර්මනිය, පකිස්ථානය, දකුණු කොරියාව, රුසියාව වැනි රාජ්‍යයන් මෙහිදී සෙසු රාජ්‍යයන්වලට ආදර්ශන් ගත හැකි ලෙස අති සාර්ථකව මෙම කාර්යය සිදු කර ඇත. එපමණක් නොව සමාජවාදී චීනයද රජයේ ඒකාධිකාරයක්ව තිබු දුම්රිය සේවය පෞද්ගලික අංශයේ සහයෙන් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කර තිබේ.

මේ අනුව මෙරට දුම්රිය සේවාව වඩාත්ම ප්‍රශස්ත ආකාරයෙන් සංවර්ධනය කිරීමට අදාළ දැනුමක් මෙන්ම ඊට ඉහළ හැකියාවක් මෙරටට තිබේ. ඒ කෙසේ නමුත් මෙහිදී දේශපාලනික හා බඩගෝස්තර වුවමණාවන් වෙනුවෙන් වෘත්තීය සමිති මාෆියාවත් ඔවුන් සමඟ ඇඳුනු විපක්ෂයේ තක්කඩි දේශපාලනයත් පරාජය කිරීම රජයට හැකි විය යුතුය. රටක අර්බුද පවතින තරමට විපක්ෂ ඊට කැමතිය. නැති අර්බුද මවා පෙන්වන්නෙත් ඒ නිසාය. නමුත් ඉන් ජනතාවට ඇති පලක් නැත. ජනතාව බලාපොරොත්තු වන්නේ තමන්ගේ අභිලාශයන් තහවුරු කරදීමට සමත් පාලනයක් රටේ පවතිනවාටය. ජනාධිපති රනිල් විසින් අදත් ඔප්පු කරමින් තිබෙන්නේ ඒ හැකියාව තමන්ට ඇති බවය. ඔහුට පෙර ලැබුණු සෑම අවස්ථාවක්ම ඒ වෙනුවෙන් යොදා ගැනීමට උත්සහ කළ නමුත් විපක්ෂ කණ්ඩායම් බොරු බේගල් ඇද බා ජනතාව නොමඟ යවා, ඒ අවස්ථාවන් ඔහුට අහිමි කිරීම සිදුවිය. එහෙත් ඒ අහිමිවීම් ඇත්තටම සිදු වුණේ රටට සහ ජනතාවටය. අවසානයේ මේ බොරු බේගල්කරුවන් රට බංකොලොත් වන තැන දක්වා තල්ලූ කර තිබුණද එයින් රට යළි ගොඩගෙන ජනතා අභිලාෂයන් යථාර්ථයක් වන තැන දක්වා නැවත එසවීමට සිදු වූයෙත් රනිල්ටමය. අද ජනතාව ඉල්ලා සිටින දේ ගැන අවබෝධයක් ඇත්තේත් රනිල්ට පමණය. ඔහු රට සංවර්ධනයේ දිශාවට හරවමින් සිටින්නේ ඒ අවබෝධය මතය. බදු ගෙවන ජනතාවගේ කර මත බර පැටවුණු රාජ්‍ය සේවයක් වෙනුවට ජනතාවගේ පහසුව වෙනුවෙන් වන රාජ්‍ය සේවයක් ගොඩ නැගීමට ඔහු වෙහෙසෙන්නෙත් ඒ නිසාය. අසමත් රාජ්‍යයක් වෙනුවට සමත් රාජ්‍යයක් ඔහුගේ බලාපොරොත්තුවය. ජනතාව මත යැපෙන දුම්රිය සේවයක් වෙනුවට, ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙල හරහා ජනතාවට යැපෙන්න හැකි දුම්රිය සේවයක් ගොඩනැඟීම විය යුතු වන්නේත් ඒ නිසාය.


ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *