හිස්වැසුම් ගලවන අස්වැසුම

“ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයකි” මේ කතාව කොයි තරම් නම් කාලයක් තිස්සේ අපේ රටේ කියවෙනවද? අපේ තාත්තාට ඉස්කෝලෙදි උගන්නල තියෙන්නෙත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් කියල. අපි පාසැල් යන කාලෙදිත් අපිට ඉගැන්නුවෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් කියලා. අපේ දරුවන් දැන් පාසල් යන වයසේ. අවාසනාවක තරම, අපේ දරුවන්ටත් මේ වෙන කොටත් පාසැලේ කියල දෙන්නෙත් ‘ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයකි‘ කියලයි.

එලෙස පරම්පරා ගණනාවක් ගතවෙලා ගිය නමුත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්ය කියන තත්වයෙන් වෙනස් වූයේ සංවර්ධනය නොවෙමින් පවතින රාජ්‍යයක් ලෙස බංකොලොත්භාවයට පත්වීමෙනි. මේ බංකොලොත්භාවය එක රැයකින් උදා වෙච්ච තත්වයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු දුරදිග නොබැලීමේ පටු දේශපාලන තීන්දු තීරණ නිසා මතු වෙච්ච තත්වයක්. කලින් කලට ඉස්මතුවන දේශපාලන දහරාවන් තමන්ගේ අවස්ථාවාදී වුවමණාවන් මත ගොඩ වැඩි කරගැනීමට නොයෙක් නොයෙක් තීන්දු තීරණ ගත්තා. මේ කිසිවත් ලංකාවේ තිරසර අනාගතයක් වෙනුවෙන් ගත්ත තීන්දු තීරණ නෙමෙයි.

මේ කියන තීන්දු තීරණ අතර, ප්‍රධානතම තැනක් ගන්නේ ලංකාවේ සහනාධාර ක්‍රමය. දෙවන ලෝක යුධ සමයෙන් පසුව රටට සිදුව තිබු අහේනිය මත මහා බ්‍රිතාන්‍යය අනුගමනය කළ සුබසාධනවාදී රාජ්‍ය ප්‍රතිපත්තිය එහි යටත් විජිතයක් වූ මෙරටද ක්‍රියාත්මකවීම ඇරැඹී තිබිණි. නමුත් බි්‍රතාන්‍යය එය ඉලක්කගත මෙහෙයුමක් බවට පත් කරගෙන එහි සාර්ථකත්වයන් අත්විඳි නමුත් නිදහසෙන් පසුව එම ක්‍රමය යාවජීව ආණ්ඩුක්‍රමයක් බවට පත් කර ගන්නා තැනට මෙරට පාලකයන් යොමුව තිබිණි. මෙරට සාම්ප්‍රදායිකව තිබු සමාජ සංස්කෘතික තත්වයන් හමුවේ ජනතාවද ඉල්ලා සිටියේ ඒ ක්‍රමයය. එහෙත් දිගින් දිගටම කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, සිය දේශපාලන අභිමථාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ පටු චේතනාවන් පදනම් කරගෙන ක්‍රියාත්මක කළ මෙම සහනාධාර ක්‍රම නිසා ලංකාවේ ජනතාව අද යැපුම් මානසිකත්වයේ සදාකාලික ගොදුරක් බවට පත්ව ඇති බව දැන් පැහැදිළියි.

දිළිඳුකම පිටු දැකීම කියන සංකල්පය පෙරදැරි කරගෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත රජයෙන් සහනාධාර ලබා දීමේ වැඩපිලිවෙල ආරම්භයට දිගු ඉතිහාසයක් ඇති අතර “හාල් සේරු දෙකයි, ඇට කිලෝ 8යි” කියන වැකිය ජනප්‍රිය වූයෙත් එලෙස ලැබුණු සහනාධාරයක් නිසාය. හාල් පොතට, කූපන් පොතට, මුද්දරේට ආදී වශයෙන් මේ සහන බෙදීමේ ක්‍රමවේද තිබිණි.

කෙසේ වෙතත් මේ ආරම්භය සත්‍ය වශයෙන්ම දිළිඳුකම තුරන් කිරීමේ සද්භාවයෙන්ම මතු වෙච්ච ක්‍රියාවලියක් නෙමෙයි, මේක පටු දේශපාලන පොරොන්දුවක්. මේ කියන “හාල් සේරු දෙකයි, ඇට කිලෝ 8යි” පොරොන්දුව නිසාම මේ ක්‍රමවේදයන් ගෙනාපු පක්ෂ තමන්ගේ පිළට ඡන්ද එකතු කර ගත්තේ මේ සහනාධාරය පෙන්නලා. ඒ නිසාමයි මේක දිළිඳුකම පිටුදැකීමේ සංකල්පයෙන් එහාට ගිහින් දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ.

මේ හාල් පොතේ ක්‍රමවේදය 78න් පසු ක්‍රමයෙන් අඩාල වෙමින් යන අතරේ බලයට ආපු ආර්. ප්‍රේමදාස පාලනය විසින් සහනාධාර සඳහා ඉල්ලු‍මක් තිබෙනු දැක “ජනසවිය” හඳුන්වා දුන්නා. 1971 හා 88/89 කාල වකවානු තුළ රටේ ඇති වූ අරගලවලින් පසු තරුණ අසහනය සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහ මතුවුණා. එවක පැවැති රජය මෙම අරගල පදනම් කර ගනිමින් තරුණ අසහනය පිළිබඳ පිහිටවපු ජනාධිපති කොමිසමේ නිර්දේශත් මෙයට රුකුලක් වුණා.
මෙකී ජනසවියත් දේශපාලන පක්ෂවල ඡන්ද මැෂිමක් විදියට පාවිච්චි කළත්, එම ක්‍රියාවලියේ යම් සාධනීය ලක්ෂණ ඇතුළත් වුණා. විශේෂයෙන්ම ජනසවිය සහනාධාරය නිශ්චිත කළ කාලවකවානුවක් තීරණය කර ලබා දුන් සහනාධාරයක්. අදාල කාලසීමාව තුළ මෙම ප්‍රතිලාභ ලබන්නාවූ පවුල් ස්වෝත්සාහයෙන් නැගී සිටිය යුතු වූවා.

පසුව 1994 වර්ෂයේදී බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය විසින් ජනසවිය අහෝසි කර ඒ වෙනුවට “සමෘද්ධිය” නම් ක්‍රමවේදය ආරම්භ කළා. කෙසේ වෙතත් මෙම සමෘද්ධි ක්‍රියාවලිය 1994 වසරේ සිට මේ දක්වාම ක්‍රියාත්මක වූ සහනාධාර ක්‍රමවේදයක් වන අතර, මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවන්හිදී විවිධ චෝදනා එල්ල වූ හා දූෂණය, නාස්තිය උපරිමය කරා ළඟා වූ ක්‍රියාවලියක්.

සමෘද්ධි බැංකු පවා විධිමත් බැංකු ක්‍රියාවලියකින් තොරව පවතින අතර, ප්‍රතිලාභින් තෝරා පත් කර ගැනීමේදීද දේශපාලන බලපෑම් මත සිදු වූ බව නොරහසක්. එසේම මෙම සමෘද්ධි සහනාධාරය කිසිදු ඉලක්ක ගත ක්‍රියාවලියකට යටත් නොවූ සහනාධාර ක්‍රමයක් බැවින් සහනාධාර ලබාගන්නා ප්‍රතිලාභින්ට එය කල් ඉකුත්වීමේ දිනයක් නොමැති සහනාධාරයක් ලෙස ලබා දීම හරහා සදාකාලික යැපීම් මානසිකත්වයක් ගොඩනැගීම අතිශය ඛේදනීය තත්වයක්. එසේම මෙය දේශපාලනික යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මකවීම තුළ මෙම ක්‍රමය වෙනස් කිරීමට පැවැති කිසිදු රජයක් පියවර නොගත්තේ සිය දේශපාලන ක්‍රියාවලිය සඳහා එය මහත් බාධාවක් විය හැකි බැවිනි.

කෙසේ වෙතත් කාලාන්තරයක් තිස්සේ කිසිදු වගවිභාගයකට ලක් නොවී, කිසිදු විගණනයකට ලක් නොවී, කිසිදු පසු විපරමකට ලක් නොවී සිදු කරගෙන ආ සමෘද්ධි ව්‍යාපෘතිය තුළින් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කළ යුතු අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබිණි. පසුගිය කාලය තුළ සිදු කළ සමීක්ෂණ තුළින් හා විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු කමිටුවේදී කළ ප්‍රකාශය අනුව හෙළි කෙරුණේ රජය විසින් ලබා දෙන සමාජ ප්‍රතිලාභයන්ගෙන් 30%කට වැඩි ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයින් වෙත ලැබෙන බවයි. එසේම කිසිදු ලෙසකින් හෝ රටේ ආර්ථිකය නංවාලීම වෙනුවෙන් සමෘද්ධියෙන් දයකත්වයක් ලැබී තිබුණේ නැත. සමෘද්ධිය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 50ක් වෙන් කෙරේ නම් එය රටේ ආර්ථික ක්‍රියාවලිය නැංවීමට දායක වේ නම් පෙරලා එම බිලියන පනහට වැඩි ප්‍රතිලාභයක් රටට අත්පත් විය යුතුය. නමුත් මේ ගණනය කිරීමක් සිදුව තිබේදැයි දැනගනන්ට නැතත් විය යුතු දේ එයය.

මෙම තත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙමින් තිබුණද යම් පියවරක් ගැනීමට බල කෙරුණේ රට මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සමාජය තුළ තවත් විශාල පිරිසක් දිළිඳු භාවයට පත්වීම නිසාය. ඒ අභියෝගය ජය ගැනීමට රජයට වඩා ක්‍රමවත් ඉලක්ක සහගත වැඩපිළිවෙලක් වෙත යෑම අනිවාර්ය විය. ඒ අනුව වත්මන් රජය විසින් නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළ අතර, එය “අස්වැසුම” නමින් ක්‍රියාත්මක කෙරෙණි. අස්වැසුම ආරම්භක පියවරේ තේමා පාඨය වුයේ ද “කිසිවෙකු අතහැරෙන්න දෙන්න එපා” යන්නයි. මෙම අස්වැසුම ක්‍රියාවලිය හඳුන්වාදීමේ මූලික අරමුණ වුණේ දැඩි ආර්ථික පසුබෑමකට ලක් වුණු රට නැවත නඟා සිටුවීමේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හමුවේ දිළිඳු ජන කොටස් ආරක්ෂා කිරීම සහ ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීමය.

ඒ අනුව 2001 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත මූලික කර ගනිමින් ක්ෂේත්‍ර 06ක් හා ඊට අදාල දර්ශක පදනම් කර ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරා පත්කර ගැනීම මූලික පියවරයි. 2022 ඔක්තෝබර් 20 වැනි දින නිකුත් කළ 2302/23 අංක දරන ගැසට් නිවේදනය මගින් තෝරා ගැනීමේ ක්‍රමවේදයන් නියම කෙරිණි. ඒ අනුව පොදු මානයන් හා දර්ශක ඉදිරිපත් කෙරුනු අතර, ප්‍රධාන මානයන් 06ක් හා දර්ශන 22ක් යටතේ තෝරා පත් කර ගැනීම සිදු විය. (මානයන් හා දර්ශන වගුව බලන්න)

කෙසේ වෙතත් මෙම මානයන් හා දර්ශක මඟින් තෝරා ගනු ලබන තැනැත්තන් සම්බන්ධව ප්‍රසිද්ධ කරනු ලබන ලේඛනය පදනම් කර ගනිමින් සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම් සිදු කිරීමේ අවසන් ලේඛනය සැකෙසෙනු ඇති අතර, ඕනෑම අයෙකුට මේ සම්බන්ධයෙන් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කිරීමට හැකිය. මෙහි විශේෂය වන්නේ නාමිකව සේම නිර්නාමිකව ද විරෝධතා ඉදිරිපත් කිරීමට හැකිවීමයි. එසේම මෙයාකාරයෙන් ක්‍රියාත්මක වන අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය වෙනුවෙන් මේ වන විට සමාජය තුළ යම් විරෝධතා මතුවීම දකින්නට ඇත. එයට හේතුව වුවේ සමෘද්ධිය නමින් ලබා දුන් සහන ලබා ගත් ඊට නුසුදුස්සන් මේ නව ලේඛනයට ඇතුලත්ව නොතිබීම සහ තවත් නුසුදුස්සන් නව ලේඛනයටත් ඇතුලත්ව සිටීමය. මුලික ලේඛනය ප්‍රසිද්ධ කළේ මේ නිවැරදි කර ගැනීම වෙනුවෙනි. මේ අනුව මෙම විරෝධතා දෙස බැලීමේදී පැහැදිළි වන්නේ මෙම අතුරින් බහුතරයක් මෙතෙක් කලක් රජයෙන් ලැබුණු ප්‍රතිලාභයක් අහිමිවීමේ අඳෝනාව සහ තමන්ට නැති දෙයක් තවකෙකුට ලැබීමේ කුහකකම මිස සැබෑ විරෝධයක් නොවන බවයි.
අස්වැසුමට එරෙහිව පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී එක් කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ “අපිට මහින්ද මහත්තය ඉන්න කාලේ ඉඳන් දීපු සමෘද්ධිය මේවා. ඇයි මේව කපන්නේ” යනුවෙනි.
මෙකී ප්‍රකාශය අනුව පවා පැහැදිළි වන්නේ සමෘද්ධි දීමනාව යනු කිසිඳු පසුවිපරමකින් තොරව කාලාන්තරයක් තිස්සේ ලබා දුන් දීමනාවක් බවත්, මෙතෙක් කාලයක් ලබා දුන් නිසාවෙන් ඉදිරියටත් එය අඛණ්ඩව ලබා දිය යුතු බවට මතයක් සමාජගත වී ඇති බවකි.

කෙසේ වෙතත් සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රජයේ මුදල් වෙන් කරනු ලබන්නේ පුද්ගලයින්ට අමතර ආදායමක් ලබා දීමට නොවේ. දිළිඳු ජනතාව දිළිඳු බවින් නැගිටන තෙක් ඔවුන්ට සහන සැලසිමක් ලෙසය. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ සහනාධාර ලබා ගන්නා සාතිශය බහුතරය තමන්ගේ ජීවන තත්වය නගා සිටුවා ගැනීමට කිසිදු වෑයමක් නොකර සදාකාලිකව තමන්ට ලැබෙන සහනාධාරය මත ජීවත් වීමට මානසිකත්වයක් ගොඩ නගාගෙන තිබීම මේ සහනාධාර ක්‍රමයේ ඇති අතිශය බරපතල ඛේදවාකය.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන් දෙපළම පැවසුවේ අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙලේ මුලික අරමුණ වන්නේ සහනාධාරලාභියා සහනාධාර ඉලක්කයෙන් ඈත් කිරීම හා ඔවුන් ආර්ථිකව නගා සිටුවීම බවයි. එසේම රජය විසින් උපයනු ලබන බදු විධිමත් කළමනාකරණයකින් යුතුව වැය කිරීමත් මෙහි අනෙක් අරමුණ බවයි.

ඒ අනුව මෙම අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රියාවලිය යනු අරමුණකින් තොරව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙතෙක් කාලයක් අනියමාර්ථයෙන් සිදු කරන ලද සහනාධාර ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමයි. එබැවින් මෙම ක්‍රියාවලිය සිදු කළ යුතුම අනිවාර්ය තත්වයක් බව පැහැදිළිය. එබැවින් පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගනිමින් සිදුකරන විරෝධයන්ට බියවී මෙය තවදුරටත් අතපසු කළ යුතු කාරණාවක් නොවන බව තහවුරුය.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රජයේ සම්පත් වැයකරමින් එකිනෙකා තොප්පි පැළඳ ගැනීමේ හා පැළඳීමේ ක්‍රමය අවසන් කළ යුතුමය. එය එසේ නොවන්නේ නම් තිරසර සංවර්ධිත රාජ්‍යයක් කරා ගමන් කරන 2048 සංකල්පය සදාකාලික සිහිනයක් පමණක්ම වනු ඇත.

  • රිද්ම අනුරාධ ගමගේ