මේ සහනාධාර දේශයයි!

0

ශ්‍රී ලංකාව වු කලී අනාදිමත් කාලයක සිට සහනාධාර දේශයකි යනුවෙන් හැඳින්වීමෙහි වරදක් නැත. අතිතයේ සිටම ලාංකිකයා පාලකයාගේ නැතිනම් ස්වාමියකුගේ උදව් උපකාර, අනුකම්පාව, මත යැපෙන වහල් මානසිකත්වයකින් යුතුව කටයුතු කර ඇත. තමන්ගේ දියුණුව තමන්ට තීරණය කරගත හැකි අවස්ථාවන් බහුල සමාජයක, දියුණු තාක්ෂණික මෙවලම් සමඟ ගනුදෙනු කරන වර්තමානයේදී පවා මෙම සහනාධාර මානසිකත්වයෙන් තොරව කටයුතු කිරිමට තරම් ආකල්පමය වශයෙන් දියුණු තලයකට ගෙන ඒමට සමත් වී නැත.

මෙම තත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලංකාවේ චිරාත් කාලයක සිට පවතින සමාජ හා සංස්කෘතික දිළිඳුභාවය මත ගොඩනගා ගත් සරළ දිවි පෙවත විසින් සමාජ ආර්ථික සංවර්ධනය යන්න අත්හැර තිබීමය. මේ අනුව වත්මන් ලෝක තත්වයන් සමඟ සමගාමීව ගමන් කිරීමට වෙර දර තීන්දු තීරණ රජය ගන්නා විට ඊට අනුගත නොවන බහුතරයක් අවසානයේ දිළින්දන් බවට පත්වීමය. මේ නිසා දිළිඳු ප්‍රජාවගේ සංඛ්‍යාත්මක ඉහළ බව වර්ධනය වෙමින් රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස තවදුරටත් පවතී. බහුතර ජනතාවක් සහනාධාර වෙනුවෙන් අරගල කිරීම වන්නේ ඒ නිසාය. රටේ දේශපාලනයත් හැඩ ගැසුනේ මේ ඉල්ලීම් ලබා දෙමින් කරන ප්‍රාථමික ගනයේ දේශපාලන භාවිතයකටය. එම තත්වය වර්තමානය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර ඇත.

මෙම දිළිඳුබව පදනම් කර ගනිමින් ලංකාවේ දිළිඳුබව පිටු දැකීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රධානතම අවස්ථාවන් ලෙස නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම, ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම, ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම, නිවාස නොමැති අය සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ඇති කිරීම, විවිධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ආදිය හැඳින්විය හැකිය. සංඛ්‍යාත්මකව රජයේ සහනාධාර ව්‍යාපෘති 50කට අධික ප්‍රමාණයක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මෙම තත්වයන්ට අමතරව විටින් විට නොමිලේ ආහාර හෝ ආහාර වෙනුවෙන් ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වූ අතර, මෙම ආහාර සහනාධාර ක්‍රියාවලිය දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. මීට පෙරද අප මෙම ප්‍රවත්පත හරහා ලංකාවේ සහනාධාර ක්‍රියාවලිය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ අතර, “හාල් සේරු දෙකයි ඇට කිලෝ අටයි” සංකල්පයේ සිට ජනසවිය, සමෘද්ධිය දක්වා මෙහි විකාශය පිළිබඳව සාකච්ඡා කළෙමු.

මෙම ක්‍රියාවලීන් හඳුන්වා දීමේදී එහි පුරෝගාමීන් පුන පුනා පැවසුවේ මෙම ක්‍රියාවලිය ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන්නක් බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලීන් හරහා ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම කෙසේ වෙතත් යැපුම් මානසිකත්වයක් සහිත බහුතර ජනතාවක් ගොඩ නැඟීමට උදවු වූ බව මේ වන විට කවුරුත් දන්නා කරුණකි.
කිසිදු වගවිභාගයකින් තොරව ලබා දුන් මෙම සහනාධාර ක්‍රියාවලි දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව ලංකාවේ ක්‍රියාත්මක වී ඇතත්, මෙතුළින් කොපමණ දුරට ලංකාවේ දිළිඳු ජනතාව නගා සිටුවීමට උපකාරයක් වී ඇත්ද යන්න සම්බන්ධ කිසිදු පසු විපරමක් සිදු කර නැත්තේද මේවා දේශපාලනික අරමුණු සමඟ කෙරෙන සෙප්පඩ විජ්ජා බවට පත්ව ඇති බැවිනි.
මෙම අතිශය ඛේදනීය තත්වය වෙනස් කිරීම සඳහා වත්මන් රජය විසින් “අස්වැසුම” නමින් හඳුන්වා දුන් වැඩසටහන සම්බන්ධයෙන් මේ වන විටත් විපක්ෂය ඇතුලු‍ බොහෝ කණ්ඩායම් සිය විරෝධය දක්වමින් ඇත. විරෝධය දක්වන පිරිසගේ චෝදනාව වන්නේ අස්වැසුම ක්‍රියාවලිය හරහා මෙතෙක් ජනතාවට ලැබුණු සහනාධාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත රජය විසින් අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

විරෝධතාකරුවන්ගේ චෝදනාව එසේ වුවත් එක සාහසික අසත්‍යයක් බව මේ වන විට පැහැදිළිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 144ක් වැය කර තිබූ නමුත් මේ වසරේදී අස්වැසුම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 206ක මුදලක් වෙන් කර ඇති බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ එල්ල වන චෝදනාවන්ට ද පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට වෙන් කර ඇති බවයි.

ඒ අනුව රජයේ සුබසාධන ක්‍රියාවලියට අදාලව මේ වන විටත් රාජ්‍ය ආදායමින් අති විශාල ප්‍රමාණයක් වෙන් කර ඇති අතර, මෙම වෙන් කරන්නා වු මුදල් පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත ලබා දීම සඳහා නිවැරදි යාවත්කාලීන කරන ලද යාන්ත්‍රණයක් ලෙස අස්වැසුම වැඩසටහන හඳුන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් විරෝධතා දක්වන පිරිස් එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ මෙම ප්‍රතිලාභ ලබා දීම තාවකාලික බවත්, යම් කාලයකින් පසු මෙම ප්‍රතිලාභ ලබාදීම නවතා දමන බවයි. සහනාධාර යනු සදාකාලික දීමනාවක් බව සමාජගතවීම මෙම චෝදනාවට ප්‍රධාන හේතුවයි.

අතීතයේ සිටම සහනාධාර ලබාදීමේ ප්‍රධාන අරමුණ ලෙස හුවා දක්වන ලද්දේ දිළිඳුකම පිටුදැකීම සඳහා දිළින්දන් නඟා සිටුවීම යන්නයි. ඒ අනුව යම් සමාජයක ස්වෝත්සාහයෙන් නැගී සිටීමට නොහැකි අයෙකු වෙනුවෙන් අතහිත දීම මෙන්ම ඔවුන් ස්වෝත්සාහයෙන් නැගී සිටින තුරු ඔහුට හෝ ඇයට ශක්තියක් ලබාදීම වෙනුවෙන් සහනාධාර ලබාදීම සිදු කළ යුතු අතර, මෙම සහනාධාරය හා සහයෝගය පදනම් කර ගෙන අදාල පුද්ගලයා තමන් සිටින තත්වයෙන් ඉහළ නැගි සිටීමට වෑයම් කළ යුතුය. එසේ නොවී සදාකාලිකව රටේ යහපතට කෙසේ වෙතත් තමන්ගේ යහපත වෙනුවෙන් හෝ කිසිදු වෑයමක් නොගන්නා වු පුද්ගලයින් රජයේ වියදමින් නඩත්තු කිරීම කෙතරම් සාධාරණදැයි නැවත සලකා බැලිය යුතුය. තමන් සිටින්නා වූ තත්වයෙන් ඉහළට ඒමට අවශ්‍ය වටපිටාවන් සකසා දී දිරිමත් කරන අතර තුර ජීවිකාව පවත්වාගෙන යාම වෙනුවෙන් යම් දීමනාවක් ලබා දී තිබියදී පවා සිය තත්වයන් වර්ධනය කර ගැනීමට වෑයම් නොකිරිම රජයේ ගැටළුවක් නොව එය අදාල පුද්ගලයාගේ ගැටළුවකි. ආබාධිත හෝ රෝගී තත්වයන් නිසා කිසිවක් කරකියා ගත නොහැකි ජනතාව ගැන බැලීම වෙනම දෙයකි.

ජනසවිය ලබාදිමේදී පවා තෝරාගත් සෑම පවුලකටම මාසිකව රුපියල් 2500ක් වටිනා සහනාදාරයක් වෙන් කර දී තිබූ අතර, මෙය ලබා දී තිබුණේ වසර දෙකක් හෙවත් මාස 24කටය. එකි කාලය තුළ ලබා දෙන්නා වූ මුදලින් රුපියල් 1458ක් පාරිභෝජනය වෙනුවෙන් වෙන කර ගත හැකි අතර, රුපියල් 1042ක් ආයෝජනය සඳහා වෙන් කිරීම අනිවාර්ය විය. පාරිභෝජනය සඳහා ලබා දුන් රුපියල් 1458න් ද රුපියල් 458ක් ඉතුරුම් ලෙස බැංකු ගිණුම් ගත කරනු ලබන අතර, තමන්ට කැමති නම් පමණක් එය පාරිභෝජනය සඳහා ලබා ගත හැකි විය. ඒ අනුව ජනසවිය ක්‍රියාවලියේදි මාස 24කට පසු සහනාධාරලාභියෙකුට අනිවාර්ය ඉතුරුම් ලෙස රුපියල් 25,000ක මුදලක් හිමි වන අතර, එය සාමුහිකව හෝ තනිව යම් ඵලදායි ආයෝජනයකට යොමු කිරීමේ අවස්ථාව උදා කෙරිණි.

මීට අමතරව ජනසවිය ප්‍රතිලාභීන් අතුරින් තෝරාගත් සෑම පවුලක්ම මාසිකම ශ්‍රම ඒකක 24ක් සපයා දිය යුතුව තිබූ අතර, එහිදී ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය, මාර්මාර්ග පුනරුත්ථාපනය වැනි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එම ශ්‍රම ඒකක යොදා ගැනිනි. මේ ආකාරයෙන් ජනසවිය වැඩසටහන සෘජුව පවුල් ඒකක නගා සිටුවීමට අමතරව රජයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සහයෝගය ලබා ගැනීම ද සිදුවිය. මෙය යම් සාර්ථකත්වයක් සහිත වැඩසටහනක් විය.

අනතුරුව දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුගතව ජනසවිය අත්හැර සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වූ අතර, මෙය ප්‍රධාන කරුණු තුනක් යටතේ ක්‍රියාත්මක විය. ඒ අතර සමාජ සුභසාධන වැඩසටහන, ඉතුරුම් හා ණය සම්බන්ධ වැඩසටහන මෙන්ම ස්වයං රැකියා බිහිකිරීම, ආදායම් උත්පාදන වැඩසටහන හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන කාරණා අයත් විය. එහෙත් එය ඒ අනුව හෝ රජයේ නිසි නියාමනයක් සිදු වූයේ නැත. 1995 සිට මේ දක්වා සමෘද්ධි වැඩසහන දශක තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ නමුත් රටට නිසි ප්‍රතිලාබයක් ලැබී නැත. මෙහි ප්‍රධානතම ගැටළුව වූයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමයි. ප්‍රධාන වශයෙන්ම බලයේ සිටින දේශපාලන පක්ෂයට දක්වන හිතවත්කම මත ප්‍රතිලාභීන් තෝරා ගැනීම මූලිකව සිදු වූ අතර, මෙහි ප්‍රතිලාභ ලබා දීමේ කාල සීමාවක් දක්වා නොතිබිණි. ඒ අනුව සමෘද්ධි සහනාධාරය දේශපාලන පක්ශග්‍රාහිත්වය මත ලැබෙන සදාකාලික දීමනාවක් බවට පත්විය.

සමෘද්ධි ව්‍යාපාරය යටතේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති සහ ආදායම් උත්පාදන ක්‍රියාවලිය අසාර්ථක ක්‍රියාවලියක් විය. මෙතෙක් කර ඇති ගණනයන්ට අනුව ස්වයං රැකියා ණය ලබාගත් සමෘද්ධිලාභීන් 20%-25% අතර ප්‍රමාණයක් ආදායම් උත්පාදන හැකියාව වර්ධනය කර ගෙන ඇති අතර, 75%-80% අතර ප්‍රමාණයක් මෙය අසාර්ථක වී ඇති බව වාර්තා වේ. මෙයට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ ව්‍යාපෘති සඳහා රජයේ නිසි මඟ පෙන්වීමක්, අධීක්ෂණයක්, නියාමනයක් මෙන්ම ප්‍රමාණවත් ශිල්පක්‍රම භාවිත නොකිරීම ආදියය. එමෙන්ම දේශපාලන බලපෑම් එල්ල වීම හා ප්‍රධාන වශයෙන්ම නිලධාරීවාදය ද මේ තුළ තිබිණි.

මෙම ක්‍රමය වෙනස් කිරීම විය යුතු බවට කාලයක් තිස්සේ සංවාදයක් තිබිණි. පසුගිය කාලයේ සංවාදයට බඳුන් වූ මාතෘකාවක් වූයේ පවත්නා ක්‍රමය වෙනස් කිරීම හෙවත් “සිස්ටම් චේන්ජ්” යන්නයි. ඒ අනුව සමෘද්ධි වැනි අසංවිධිත හා ඒක පාර්ශ්වීය අසාර්ථක ක්‍රියාමාර්ග වෙනුවට විධිමත් වැඩපිළිවෙලක් යටතේ සමාජ සුබසාධන ක්‍රියාවලිය යථාවක් කිරීමේ සිස්ටම් චේන්ජ් එකක් ලෙස ‘අස්වැසුම’ වැඩසටහන හඳුන්වාදිය හැකිය. එහෙත් සිස්ටම් චේන්ජ් කිරීමට කතා කළ උදවියම රජය විසින් විධිමත් යාන්ත්‍රණයක් සමාජගත කළ ද ඊට එදිරිව සිය විරෝධය දැක්වීම හා මෙම ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ නිහීන උත්සාහයක නිරතව සිටින්නේ ජනතාවගේ යැපුම් මානසිකත්වය වෙනස් වුවහොත් එයින් තමන්ගේ දේශපාලනයට වන අවාසිය පදනම් කරගනිමින් බවත් පැහැදිලිය.

රටක් පවත්නා තත්වයෙන් පහළට යෑම දියුණුව ලෙස නොසලකනු ලබන අතරම, රටක් පවත්නා තත්වයෙන් පවත්වාගෙන යාම ද දියුණුවේ ලක්ෂණයක් ලෙස සලකනු නොලබයි. එබැවින් රටක දියුණුවක් අපේක්ෂා කරන්නේ නම් පවතින තත්වයෙන් ඉදිරිය කරා යා යුතුමය. එය නොවන්නේ නම් ඒ පවතින සිස්ටම් එකේ වරදක් නැතිනම් ජනතාවගේ වරදක් වනු ඇත. සහනාධාර මානසිකත්වයට හුරු වූ ජනතාව වෙනස් කිරීම දීර්ඝ කාලීන වැඩකි. එහෙත් ඒ සඳහා ද මූලිකව සිස්ටම් චේන්ජ් කිරීම මූලිකව කළ යුතුය. එබැවින් සමෘද්ධි යන නාමකරණයට ලක්ව දේශපාලන සහචරයන් නඩත්තු කිරීමේ ක්‍රියාවලියෙන් බැහැරව සැබෑ ලෙසම සුබසාධන ප්‍රතිලාභ ලැබිය යුත්තන් සොයා ඔවුන් වෙත ප්‍රතිලාබ ලැබීමට සැලැස්විය යුතුය. ප්‍රතිලාභ ලබන්නන් සදාකාලින ප්‍රතිලාභ ලබන්නන් බවට පත් නොකොට ඔවුන් නගා සිටුවීම කළ යුතුය. ඒ අය යම් ස්ථාවර තත්වයකට පත් වූ පසුව ඔවුන්ගේ නම් සහනාධාරලාභීන්ගේ ලේඛණයෙන් තිබිය යුතු නැත. ඒ හිස් තැනට අලු‍තින් නගා සිටුවීමට අවැසි පුද්ගලයින් තව දුරටත් සිටී නම් ඒ අය ඇතුළත් කළ යුතුය. මෙම වැඩපිළිවෙල වඩා නිවැරදිය. ප්‍රායෝගිකය.

මෙම අරමුණ නිසි පරිදි ක්‍රියාත්මක කරන්නා වූ “අස්වැසුම” සමාජ සුබසාධන ක්‍රියාවලිය සමාජ ආර්ථික වුවමණාව බලගැන්වෙන ක්‍රියාවලියක් බවට පත් කළ යුතුමය. ඊට දේශපාලනයක් තිබිය නොහැක. 2048 සංවර්ධන ඉලක්ක ජයගැනීමට හැක්කේ මෙවන් නිවැරදි සිස්ටම් චේන්ජ්වලින් මිස යැපුම් මානසිකත්වයෙන් යුතු මජර සමාජයකින් නොවන බව වටහා ගත යුතුය.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *