ආණ්ඩුව හා විපක්ෂය කියන්නේ ඇත්ත හා බොරුවය

0

ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් පත්ව ඇත්තේ අමුතුම යුගයකටය. පසුගිය දශක කිහිපය පුරා දේශපාලන විවිධ පසමිතුරු මතවාදී වෙනස්කම් පදනම් කරගෙන හැලහැප්පීම්වලට බඳුන් වෙමින් ජය පරාජයන් විඳ ගනිමින් රටේ දේශපාලන විඥානය ගොඩනැගුම වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉටු කළා වුවද අද ඇතිව තිබෙන්නේ එවැනි මතවාදීමය වශයෙන් හෝ හැලහැප්පිලි නැති ඇත්ත හා බොරුව අතර සටනකය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අද ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙමින් රට ගොඩ නැගීම අරමුණු කරගත් දුෂ්කර ව්‍යායාමයක යෙදී සිටින අතර තුර විපක්ෂයට සිදුව ඇත්තේ ඒ සියල්ලට විරුද්ධ වෙමින් පට්ටපල් බොරු සමාජගත කරමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන තැනක ළැග ඉන්නය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය නිල වශයෙන් භාරගෙන මේ ජුලි 20 වනදාට වසරක කාලයකි. මේ කාලය තුළ ඔහු කළ කී දෑ බොහෝය. බංකොලොත් රට යළි ඒ බංකොලොත් භාවයෙන් මුදවාගෙන යළි සුපුරුදු තත්වයට රට ගෙන ඒමට මේ කාලය තුළ ඔහු සමත්ව තිබේ.

නමුත් මේ කාලය තුළ විපක්ෂය විසින් සිදු කළේ කුමක්ද? රට යළි ගොඩනැගුම වෙනුවෙන් දැක්වූ දායකත්වය කුමක් ද? ඒ තබා රනිල්ගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතවාදී විවේචනයක් හෝ සිදු වුණාද? රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තින් සැලසුම් ගැන හරවත් විවාදයකට පැමිණීමට ඔවුන්ට හැකි වුයේ නැත. මතවාදීව රනිල් සමඟ හැප්පීමට නොහැකි විය. අඩුම තරමින් රට අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් තමන්ගේ කියා වැඩපිළිවෙලක් තබා අර්බුදය කුමක්ද යන්න ගැනවත් හරවත් පැහැදිලි කිරීමක් මේ විපක්ෂයේ කිසිවකුට ඉදිරිපත් කිරීමට නොහැකි විය.

එහෙත් රනිල් රට ගොඩගැනීම වෙනුවෙන් ඉතිරිව තිබු අවසන් විකල්පය වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කළ දා සිටම ඊට එරෙහි වෙමින්, මුල්‍ය අරමුදල රට ගිල ගැනීමට එන රුදුරු රාක්ෂයකු බව පවසමින් පට්ටපල් බොරු සමාජගත කළේය. මුල්‍ය අරමුදලට ගිහින් ගොඩ ගිය රටක් නැති බව කීවේය. ජනවරමක් නැති ජනාධිපතිවරයකුට ණය සහන ලැබෙන්නේ නැතැයි කීවේය. විරෝධතා මර්දනය කිරීම නිසා ජාත්‍යන්තරයෙන් කිසිදු සසහයෝගයක් නොලැබෙන බව කීවේය. රනිල්, මුල්‍ය අරමුදල සමඟ අති බිහිසුණු ගිවිසුමක් හොර රහසේ අත්සන් කර ඇති බව කීවේය. එහි බරපතල කොන්දේසි ඇති බවත් එමඟින් ජනතාවට ලැබෙන සියලු‍ සහනාධාර අහෝසි වන බවත් ජනතාවට බඩගින්නේ මැරෙන්න වෙනු ඇති බවත් කීවේය. රටේ වනාන්තර ඇතුළු රටේ ඉඩම් ටික බටහිර සමාගම්වලට තුට්ටු දෙකට විකුණා දමනු ඇති බවත් කීවේය. රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දමන බවත් කීවේය. රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙන බව කීවේය. බදු අනුපාත වැඩි කිරීම නිසා මධ්‍යම පංතිය හාන්සි වෙන බවත් දේශීය ව්‍යාපාර කඩා වැටී මහා විනාශයක් සිදුවීමට නියමිත බවත් කීවේය. නමුත් මේ කියන ගිවිසුම ප්‍රසිද්ධ කර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමටත් ජනාධිපතිවරයා සමත් වූ අතර විපක්ෂය කියන කිසිවක් සිදු වූයේ නැත. ඉදිරියටත් එසේ වීමට නියමිත නැති බවත් තහවුරු කළේය. අර තිබුණාය කියන භයංකර කොන්දේසි කිසිවක් එහි තිබුණේ නැත. රට ගොඩනැගුමට අවශ්‍ය අනිවාර්ය නිර්දේශයන් ගණනාවක් එහි තිබු අතර කවුරු බලයේ සිටියත් එම නිර්දේශ මඟ හැර රට ගොඩනැගුමක් ගැන හිතන්නවත් බැරි බව මෙම ගිවිසුම අනුව පැහැදිලි විය. මුල්‍ය අරමුදලේ මැදිහත්වීම ගැන විපක්ෂය කීවේ බොරු බව සමාජයට තහවුරුවක් ලැබිණි.

ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රටේ ලෝකේ නැති කතන්දර කිව්වේය. නමුත් විදේශ ණය හිමියෝ රට වැටී තිබුණු තත්වයෙන් ගොඩ ගැනීම සඳහා දෙන සහයෝගයක් ලෙස රජයේ යෝජනාව පිළිගෙන තිබුණු අතර ඒ අනුව එහි ඉදිරි කටයුතු සිදු වෙමින් තිබේ. ඒ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තව පච ටොන් ගණනක් මේ විපක්ෂය හැලු‍වේය. රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන බව කියමින් වැළලෙන්න හැදුවේ එය කෙසේ හෝ නවත්වන බවත් කියමිනි. සේවක අර්ථ සාධක අරමුදල වැනි අරමුදල් ඉවරෙටම ඉවර වෙන බව කීවේය. බංකු තැන්පත්කරුවන්ට මුදල් අහිමි වන බවත් සේවක අර්ථ සාධකයෙන් ප්‍රතිලාභ ගැනීමට නොහැකි වන බවත් කීවේය. රට පටලවන සංඛ්‍යා ලේඛන වගයක් නිර්මාණය කරමින් ඒ බොරුව තවමත් කියමින්ද තිබේ. එතැනින් නොනැවතී ජනතාව නොමඟ යවමින් බියට පත්කරමින් බැංකු තැන්පතු ආපසු ගැනීමට පොළඹවන නරුම තැනකටද විපක්ෂය පත් විය. අර්ථ සාධකය රැකගන්න කියා වැඩ කරන ජනතාව යළි පාරට බස්සවා වැඩවර්ජනයන් සිදු කරමින් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නද මාන බැලු‍වේය. නමුත් විපක්ෂය කියන කතන්දර සියල්ල බොරු බව ඔප්පු විය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු පද්ධතිය මෙන්ම සේවක අරමුදල් ද සුරක්ෂිත වූ බව ආර්ථික විශේෂඥයන් පෙන්වා ‌දී ඇත. නමුත් තවමත් පච ප්‍රචාරයේ යෙදී සිටින දැන් විපක්ෂය කියමින් සිටින්නේ තව මාස දෙක තුනකින් රාජ්‍යය කඩා වැටෙන බවය. මහා ආර්ථික අර්බුදයක් යළි එන බවය. ඒත් ඒ කියන අර්බුදය හෝ රට කඩා වැටෙන්න හේතු භූත වන කරුණු කාරණා ගැන කියන්නෙ නැත. අර්බුදයක් එනවා එනවා… රට කඩා වැටෙනවා වැටෙනවා… යනුවෙන් මතුර මතුර සිටිනවාට වඩා දෙයක් මේ කතාවල නැත. මේ අනුව පැහැදිලි කාරණය වන්නේ විපක්ෂය බලා සිටින්නේ කොයි මොහොතක හෝ රට කඩා වැටෙන තෙක්ය. ඒ මත තමන්ට බලය ඩැහැගත හැකි වෙනු ඇතැයි කියන චේතනාවෙන් මිසක් රට රැකගැනීමේ වුවමණාවක් නිසා නොවන බවත් පැහැදිලිය.

රජය ව්‍යාපාර නොකළ යුතුය කියන ප්‍රතිපත්තිය මත රාජ්‍ය ව්‍යවසායකයන් ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය මේ වන විට මුලපුරා ඇත. එය සිදු වන්නේ රාජ්‍ය ආයතන ලාබද පාඩුද කියන පදනමින් නොවේ. ලාබ වුණත් පාඩු වුණත් මේ සියලු‍ ව්‍යවසායක පවත්වාගෙන යෑම රජයේ කරපිට මත තිබෙන අතර එය රජයට දරන්න සිදුව තිබෙන අතිරේක බරකි. ලාබ ලබනවා කියන රාජ්‍ය ව්‍යාපාර බොහොමයක් ලාබ ලබන්නේ ඒවා රාජ්‍ය ඒකාධිකාරය මත හෝ රජයේ අනෙක් පහසුකම් ලබා දීම මත පදනම්ව තිබෙන නිසාය. ඒ නිසා මේ බොහොමයක් ව්‍යපාර ලාබ ලබනවා කීවද ඒ වෙනුවෙන් අනෙක් පසකින් රජයට පිරිවැයක් පාඩුවක් දරන්න සිදුව තිබෙන බව ඇත්ත කතාවය. එසේම මේ රාජ්‍ය ව්‍යාපාර හැමදාම ලාබ ලබමින් තිබෙන ආයතන නොවේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමැතිගෙන් ඇමතිට, ඒ ආයතන ප්‍රධානින්ගෙන් ප්‍රධානීන්ට වෙනස් වන විට මේවායේ තත්වයන් වෙනස් වේ. ඒ කොහොම නමුත් දැන් විපක්ෂය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව කටයුතු කරමින් ඒවා ජාතික සම්පත් ලෙස රැකගත යුතු බව කියමින් සිටින්නේ මේ ඇත්ත වසන් කරමිනි. රජයේ අරමුණ සමස්ත ක්‍රමවේදයම වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක් යටතේ සියල්ල පිළිවෙලක් කර රටට වඩාත් යහපත් ක්‍රමවේදයක් ගොඩ නැගීමය. මේ කටයුත්ත කඩාකප්පල් කිරීම වෙනුවෙන් ලාබ ලබන රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දමනවා කියන බොරුව විපක්ෂය ප්‍රචාරය කරමින් තිබේ.

මේ අතර විදේශ ආයෝජන ගැනද පට්ටපල් බොරු කියවන්න පටන් ගෙන තිබේ. ඊයේ පෙරේදා ජවිපෙ වසන්ත සමරසිංහ ජපානයේ ජයිකා ආයතනයේ ආයෝජනයක් මත සිදුවීමට නියමිත සැහැල්ලු‍ දුම්රිය ව්‍යපෘතිය ගැන පට්ටපල් බොරු තොගයක් රුපවාහිනී සාකච්ඡාවකදී කිසිදු විලිලැජ්ජාවක් නැතිව කියා දැම්මේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු පද්ධතිය පසුගිය ජුනි 30 වනදා වන විට කඩා වැටෙන බවට කැට තබා කිව්වෙත් මේ හාදයාමය. එතරම් ටොම් පචයක් ඇද ඇර පීචං වී පජාත වී වැඩි දවසක් යන්න කළින් මෙම දුම්රිය ව්‍යාපෘතිය ගැන බොරුකීමට තරම් මේ අය බංකොලොත් වී ඇත. මෙම ව්‍යපෘතියේ ප්‍රතිලාභ ගැන කිසිදු අධ්‍යනයක් කර නැති බවත් මෙහි දුම්රිය ගමන් ගන්නේ එක දිසාවකට පමණක් බවත් කියමින් මේ දැවැන්ත ව්‍යපෘතිය රටට ඔරොත්තු නොදෙන නිසා මේවා කිරීමට ඉඩ දිය යුතු නැති බව අවධාරණය කළේය. පසුගිය යහපාලන කාලයේ අනුමතව ක්‍රියාත්මක කිරීමට ගිය මෙම ව්‍යාපෘතිය ගෝඨා පාලන සමයේදී අහෝසි කිරීමට කටයුතු කළෙත් මෙවැනිම පච ටොන් ගණනාවක් ඇද බෑමෙනි. ලොකුම විහිළුව නම් එදා මෙම ව්‍යාපෘතිය නැවැත්වීමට ගෝඨා පාලනය කටයුතු කරන විට මේ සමරසිංහම කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ජපානයෙන් ගලවා චීනයට දෙන්න යන්නේ ඒකෙන් ලොකු කොමිස් කුට්ටියක් බලාපොරොත්තුවෙන් බවය. ඒ කියන්නේ එදා අවුරුදු 40ක දීර්ග කාලීනව ගෙවීමේ පදනම මත වාර්ෂික සියයට 0.1 ක පොලියකට ඩොලර් බිලියන 1.85 ක මෑත ඉතිහාසයේ වන දැවැන්තම ව්‍යාපෘතිය වන මෙම ජපන් ව්‍යාපෘතිය රටට වාසිදායක බව පිළිගැනීමකි. අද ජවිපෙ කරන්නේ එදා රාජපක්ෂලාගේ පැතිරවූ පච තමන්ගේ හඬින් පිට කිරීමය. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කර ගන්නා න්‍යායෙන් දෙබිඩි කැත නරුම දේශපාලනයක් වෙත ජවිපෙ වැටී ඇති බව මේ සිදුවීමත් තවත් සාක්ෂියකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ජවිපෙට දෙවෙනි නැත. සජිත් තමන්ගේ ප්‍රතිවාදියා කරගෙන ඇත්තේ ජවිපෙය. ජවිපෙ කරන කියන දේවල් පසුපස හඹාගොස් එකට එක කිරීම ඔහුගේ දේශපාලනය බවට පත්ව තිබේ. බොරුකීමත් එලෙසම කරමින් තිබේ. පසුගිය කාලය පුරා ඔහු කියපු කරපු දේ බැලු‍වොත් මේ බව තහවුරු වෙයි. ආණ්ඩුවට විරුද්ධව සිටීම විපක්ෂයේ රාජකරිය බව විශ්වාස කරන මැටි මෝල්ලු‍ රැසක්ද සජිත්ගේ ටොම් පච ඇත්ත යැයි කල්පනා කරමින් හැසිරෙනුද දකින්නට ලැබේ. සජබයේ හර්ෂලාටත් ඇත්ත දැන දැනම සජිත්ගේ ටොම් පච කර තියාගෙන යන්නට සිදුව තිබීම අවාසනාවන්ත තත්වයකි.

මේ අතර ගෝඨා පාලනය ගෙන ඒම වෙනුවෙන්, එදා පැවැති යහපාලන ආණ්ඩුව ගැන වැඩිම බොරු තොගයක් සමාජ ගත කළ ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම නැමැති විසුළුකාරී වැඩපිළිවෙල ද සකස් කළ, එම පාලනයේ තීන්දු තීරණ අරගෙන රට බංකොලොත් කිරීමට සෘජුවම දායක වූ වියත්මග සෙට් එකද දැන් මැරිලා ඉපදුනා සේ ගෝඨාවත් විවේචනය කරමින් රනිල් පාලනයට එරෙහිව තවත් ටොම් පච නැව් ගණනින් ඇද දමමින් තිබේ. ඒවා කෙතරම් නිර්මාණශීලිද යත් අද සජිත් ප්‍රේමදාසත් මේ අයගේ ටොම් පච විශ්වාස කරමින් ඔවුන් පසුපස වැටී තිබිමෙන් පෙන්නුම් කරයි. මේ වියත්මග නිසා රටට සිදුවූ හරිය රටේ ජනතාවට රහසක් නොවුණත් මේ විලිලැජ්ජා නැති වියතුන් සෙට් එක කිසිදු හිරිකිතයකින් තොරව රට හමුවේ ටොම් පච අතාරිමින් සිටීම දකින්නත් අපුල බව ජනතාවගේ ප්‍රතිචාරවලින් පැහැදිලිය. ජනතාව ජනාධිපති රනිල් කෙරෙහි විශ්වාසය වර්ධනය කරගනිමින් මේ අයව තුට්ටුවකටවත් මායිම් නොකරන්නේ ඒ නිසාය.

කොහොම නමුත් අද ආණ්ඩුව හා විපක්ෂය කියන්නේ ඇත්ත හා බොරුවය. අද දේශපාලනය කියන්නේ මේ ඇත්ත හා බොරුව අතර සටනකි. සටනක් කිව්වාට මෙහි ඇති සටනකුත් නැත. මන්ද බොරුව බොරුවක්ම බව විපක්ෂය කට අරින විටම ජනතාවට පහසුවෙන් අවබෝධ කරගැනීමට තරම් ජනතාව පරිණතව ඇති නිසාය. ඒ නිසා මෙතැන වැඩකට ඇති දේශපාලන සටනක් නැත. නමුත් මේ බොරු පැතිරවීම නිසා රජයට වාසියක් තිබේ. ඒ රජය කරන කියන දේ යළි යළිත් පරික්ෂා කර එහි නිවැරදි බව තහවුරු කරගන්නත් ජනතාව හමුවේ තවදුරටත් ඇත්ත පැහැදිලි කර ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට අවස්ථාවක් උදාවීම නිසාය. ඒ අනුව ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙමින්, ඇත්ත ප්‍රශ්නවලට ඇත්ත උත්තර දෙමින්, කටකයිවාරුකම් නැතිව වැඩවලින්ම ආදර්ශයන් දෙමින් රට ගොඩගැනීමේ කටයුත්ත ජනාධිපතිවරයා සාර්ථකව කරගෙන යන අතර තුර ඒ හා ගැටෙන්නට තරම් වික්ලප අදහසක්, ව්‍යාපෘතියක් විපක්ෂය සතුව නොමැති බව පැහැදිලිය. එහෙත් විපක්ෂයේ මුග්ධ, විසුළුකාරී, ටොම් පච මළ ගෙවල්වල නිදි මැරීමට නම් ප්‍රයෝජනයක් තිබිය හැකිය.

  • ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *