සෞඛ්‍ය අංශයට වස්තියක් නොකර නිරෝගී රටක් හදන්න බෑ

0

වෛද්‍යවරු 2000ක් රට අත්හැරල ගිහිල්ල

විශේෂඥ වෛද්‍යවරු නැතුව රෝහල් ඒකක වසා දමාලා…

වෛද්‍යවරු ලෙස පුහුණුව ලැබු 300ක් පත්වීම භාරගන්න බැහැ කියලා…

ඖෂධ හිඟයක්, ඖෂධ ගේන්න රටේ සල්ලි නැහැ…

උපකරණ හිඟයි, ඇඳන් හිඟයි… ඖෂධ ගිනි ගණන්…

ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන අසන්නට ඇත්තේ මෙවැනි කතන්දරය. තවත් කාලෙකට දොස්තරලාගේ සහ හෙදියන්ගේ වැඩවර්ජනයන්ය. පසුගිය වසර දෙක තුන තුළදී උත්සන්න වූ ආර්ථික අර්බුදය නිසා මේ තත්වයන් වඩාත් බරපතලවීමට හේතු වී තිබිණි. නමුත් මෙවැනි ගැටලු‍ මේ ක්ෂේත්‍රයට අලු‍ත් දේවල් නොවේ. හැමදාමත් සෞඛ්‍ය ලෙඩින්ය. විටින් විට පත්වන ආණ්ඩු මේ ප්‍රශ්න විසඳා ගැනීමට යම් උත්සාහයන් ගත්තත් හිඟන්නාගේ තුවාලය මෙන් හැමදාමත් මේ ක්ෂේත්‍රයේ කුමක් හෝ අර්බුදයකි.

රටේ සෞඛ්‍ය අර්බුදයක් නොමැති විය යුතු බව කියන අයට අනුව නම් මේ රටේ රෝගීන් වන සෑම කෙනෙකුටම රෝග විනිශ්චයන් නිවැරදිව සිදුවී නියමාකාරයෙන් අවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි ප්‍රමාදයකින් තොරව එසැනින් සිදුවිය යුතුය. ඒ සඳහා රජය සියලු‍ පහසුකම් නොමිලයේම සලසා දිය යුතුය. එහෙත් රටේ එවැනි යුගයක් කිසිදා තිබුණේ නැත. ඉදිරියටත් තිබීම සිදු වෙනු ඇතැයි උපකල්පනවලට යෑමේ හැකියාවක් ප්‍රායෝගිකව නැත. එසේම ලෝකයේ සංවර්ධිතම රාජ්‍යයක හෝ එවැනි තත්වයක් නැත.

ඒ කොහොම වුණත් අද ලංකාවේ සෞඛ්‍ය ගැටලු‍ ගැන නිරන්තරයෙන් කතා බහට ලක් වූවත් ලෝකය හා සන්සන්දනය කර බැලීමේ දී ශ්‍රී ලංකාව යනු සෞඛ්‍ය අතින් පිරිහුණු රාජ්‍යයක් නොවේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර දර්ශක ගණනාවක් ඇති අතර ඒ සෑම එකක්ම පාහෙ ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ මධ්‍යස්ථ කාණ්ඩයටය. විශේෂයෙන්ම වාමාංශික දේශපාලන ප්‍රිය කරන්නන් පෙන්වා දෙන පරිදි ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යනවා කියන කියුබාව හා සැසඳීමේදී බොහෝ අංශවලින් කියුබාව අභිබවා යමින් ශ්‍රී ලංකාව පවතින බවත් මේ දර්ශක විසින් පෙන්නුම් කරයි. එසේම කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී ඉන්දියාවට පමණක් දෙවැනිව සිටින රටකි.

කියුබාවද ඔස්‌ට්‍රේලියාවද හොඳම

සමාජවාදී මතවාදයන් කරපින්නාගත් පිරිස් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන විට ගන්නා ජනප්‍රිය නිර්ණායක අතර සමාජවාදී කියුබාව මෙන්ම ධනවාදී සංවර්ධනයක් ඇති ඔස්ටේ්‍රලියාව වැනි රටවල් ගැන කතා කරති. පසුගියදා ඔස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනප්‍රිය ක්‍රියාධරයකු හා ප්‍රචාරක කටයුතු කරන්නකු වන කණිෂ්ක චාමින්ද ජයලත් ඔස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය සේවය ගැන අපූර්ව සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි දමා තිබිණි. එයට පදනම් වූයේ ජවිපෙ නායක අනුර දිසානායක ඔස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය සේවයේ විශිෂ්ට බව ගැන කළ ප්‍රකාශයකි.
ඒ මෙසේය.

“සහෝදර සහෝදරියනි
ඔස්ටේ්‍රලියාව කියන්නෙ ඔය කියන තරම් පට්ට රටක් නෙමෙයි. වැඩ කරන එකාට බදු ගහන ධනපතියට බදු සහන දෙන ආර්ථිකයක් තියෙන්න.
කෝල් කළාම ඇම්බුලන්ස් දෙකක් එන්නෙ නෑ. එන එකත් විනාඩි ගාණක් පරක්කුයි. ඒකෙ ගියහම තව පැය ගාණක් එළියෙ.
ඕකයි රජයෙ සෞඛ්‍යය සේවයෙ තත්වය. සල්ලි තියන එකා පෞද්ගලික රෝහලට යනවා. නැති එකා පෝලිමේ ඉන්නවා.
ලෝකයෙ දියුණු රටවල් අතරට එන්න මේකට තව අවුරුදු 100වත් යයි.
ජර්මනිය වගෙ පට්ට දියුණු රටක් ළඟටවත් ගිහිල්ලා නැති එකෙකුට මේක ෂෝක්.
අද වෙනකොට රටේ ආර්ථිකයට කෙළම වෙලා. මිනිස්සු නාන එකත් අඩු කරලා. රෑට ලයිට් දාන්නෙ නෑ. සංචාර 30% අඩු වෙලා.
සුපර් මාර්කට් එකට යන අපි දැන් බඩු ගන්න එක හොදටම අඩු කරලා.
මම ගෙදර ණය වාරිකය ඩොලර් 900 වැඩියෙන් ගෙවනවා. මට ඒ ගානට පඩි නෑ.
මේ රටේ ලේබර් ආණ්ඩුව නිසා මුට්ට කාසි වෘත්තීය සමිති වර්ජන, උද්ඝෝෂණ කැඳවන්නෙ නෑ.
ඇත්තම කියනවා නම් ඔස්ටේ්‍රලියාවෙ ජනයා ලක්ෂ ගණනින් පාරට බහින්නම ඕන.
ඒක ඉක්මනින් වෙයි. මේ පීඩනය දරා ගන්න බෑ.
ඒ නිසා බණ්ඩා කොළඹ ගියා වගෙ කට උල් කරලා ගහන මුචලින්ද පචවලට අහු වෙන්න එපා. ඒවා පට්ට බොරු. මේකෙ ජනතාවට කෙළවිලා තියෙන්නෙ.
අපි කන හැටි ලිපා දනි කිව්වලු‍.
යකෝ ඇම්බුලන්ස් දෙකක් නෙමෙයි අපි එකක් ගෙන්න ගන්නෙත් අමාරුවෙන්.
ඒකෙ ගියා කියමුකො. අඩේ ඇම්බුලන්ස් ඉන්ෂුරන්ස් එක නැත්නම් බඩ යනව. ඒකෙ ගිය එකා මැරෙන්නෙ හාර්ට් ඇටෑක් එකෙන්. බිල ඩොලර් 1000ක් වෙනවා.
මම කියන්නෙ සහෝදරයා, මම එදා උබව ගන්න එයාර් පෝර්ට් ආවා.
අද උබව ගන්න ආපු එකාලා උබව ඇන්දුවා.
උන්ගෙ මුළා කිරීම් අහලා උබ නයි ඇරලා නෝන්ඩි වෙන්න එපා බං.
ෆිට් එකට කියන්නෙ ඕං”

එම සටහනටම අදාල ඔහුගේ කොමෙන්ටුවක මෙසේද සඳහන් විය.

“යකෝ ලංකාවෙ හෙල්ත් සිස්ටම් එක මරු. මේ ළඟදිනෙ ඒකට කෙළවුනේ”
මේ අනුව වත්මන් අර්බුදකාරිත්වයන් හමුවේත් ලංකාවේ සෞඛ්‍ය සේවය දැනට තිබෙන තැන ගැන සතුටු විය හැකිය. ඔස්ටේ්‍රලියාවේ තරම් අවුලක් මෙහෙ පුරවැසියාට නැත.

ලංකාවේ අසමසම ජයග්‍රහණය

මෙරට ඉතිහාසය පිරික්සීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොඳම යුගය මේ යුගය යැයි කිව හැකිය. මන්ද එතරම්ම නරක තත්වයන් අප පසුකර පැමිණ ඇති බැවිනි. 1920 පමණ යුගය වන විට උපතේදී ආයු අපේක්ෂාව පැවැතියේ අවුරුදු 35ක සාමාන්‍ය අගයකි. එනම් බත බුලතින් සරුසාර වුණු රට ගැන, යෝධ බලවීර්ය තිබු මුතුන් මිත්තන් ගැන මොන කයිකතන්දර කියවුණත් රටේ බහුතරය වයස අවුරුදු 35 පමණ වන විට මරණයට පත්ව ඇත. ඊට විශාලම හේතුව වූයේ ලෙඩ රෝග සහ ප්‍රමාණවත් පෝෂණ ගුණයෙන් යුතු ආහාර නොලැබීම බව හඳුනාගෙන තිබිණි. අවශ්‍ය තරමින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම ලෙසින් මෙය තේරුම් ගත හැකි නමුත් ඇත්ත ගැටලු‍ව වූයේ මහජනයා සිය සෞඛ්‍යය හා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් නොවීමේ හෝ අවබෝධයක් නොතිබීමේ ගැටලු‍වය. 1900 වසරට ආසන්න කාලවල මෙරට සෞඛ්‍ය සම්බන්ධ වර්තා පිරික්සීමෙදි ලෙඩ රෝගවලට කෙතරම් නිරාවරණය වී තිබුණදැයි ඒ වාර්තා අනුව පැහැදිලිය. එවකට බි්‍රතාන්‍ය පාලනයටත් මෙය විසඳා ගැනීම අභියෝගයක්ව තිබිණි. විශේෂයෙන්ම සනීපාරක්ෂාව ගැන නොසැලකිල්ල බරපතල විය. මේ නිසා මහජනයාගේ සනීපාරක්ෂාව වෙනුවෙන් දැඩි නීතිරීති දැමීම මෙන්ම ග්‍රාමීය නාගරික බේදයකින් තොරව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සිදු විය. උදාහරණ ලෙස පානීය ජලය ලබා ගන්නා ළිඳ වටා සිමෙන්ති බැම්මක් බැදීම, එහි අපජලය ගලා යන කාණු සැකසීම ආදිය ගැනත් නීති දැමීමට සිදු විය. පිරිසිදුව ආහාර පිසීම, වැසිකිලි යෑමෙන් පසුව, කෑමට පෙර දෙඅත් පිරිසිදු කරගැනීම පුරුදු කරවන්නට වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදු විය. එමෙන්ම පෝෂ්‍ය ගුණයෙන් යුතු ආහාර හඳුන්වාදීමට සිදු විය. මේ ආකාරයෙන් සෞඛ්‍ය පුරුදු රැසක් ඇති කිරීමට සිදු වූ අතර එහි ප්‍රතිඵල ලෙස ලෙඩ රෝග අවම වී ආයු අපේක්ෂාව 1946 දී 44 දක්වා වැඩි විය. එයින් දශකයකට පමණ පසුව එය 60ක් දක්වා ඉහළ ගිය අතර, එම තත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සදහන් කළේ “අසමසම ජයග්‍රහණයක්” ලෙසය. මේ ජය්‍රහණය ලබාගන්නේ රෝගවලට ගොදුරුවීම වැලැක්වීම සහ පෝෂණීය ආහාරවලට පුරුදු කරවීමට ගත් පියවරයන් මඟිනි.

සෞඛ්‍යය හොඳයි, රට නරකයි

මේ කරුණු සඳහන් කළේ, රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ළඟා කර ගැනීම මනින නිර්ණායකයන් වන්නේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය, රටේ වෛද්‍යවරු හෙදියන්, රෝහල්, රෝහල් ඇඳන් ප්‍රමාණය හෝ ඖෂධ හෝ වෛද්‍ය උපකරණ, තාක්ෂණය ආදිය පවතින ප්‍රමාණවලින් නොවන බව කියන්නය. වැදගත්ම දේ මහජතාව රෝග පීඩාදියට, අනතුරු ආදියට ලක් නොවන තත්වයන් ගොඩගැනීමය.

එහෙත් අද මෙරට උපතේදී ආයු කාලය වසර් 76ට වඩා වැඩි අගයක් සටහන් වන්‌නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නිසා මිස රෝග, අනතුරු වලක්වා ගැනීමට ගත් පියවරයන් නිසා නොවෙන බව පෙන්වා දිය යුතුය. නිදහස ලබන යුගයට වඩා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වුවද රෝග හා අනතුරු කප්පරකින් අද පුරවැසියාට පීඩා විඳීමට සිදුව ඇත. නමුත් නොමැරී බේරී සිටීමේ මැජික් එක වෛද්‍ය විද්‍යාව මඟින් ලබා දී ඇත. ඒ අනුව යම් යම් අඩුපාඩු තිබුණත් සමස්තයක් වශයෙන් ඕනෑම රෝගයකට පෙති කරල් අහුරු පිටින් තිබේ. විවිධාකාර වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දී රෝග විනිශ්චයන් ටක්කෙටම කිරීමේ හැකියාව ඇත. ඕනෑම රෝගයක් සඳහා විශේෂඥ වෛද්‍යවරු සිටී. සුපිරිම වෛද්‍ය තාක්ෂණික පහසුකම් තිබේ. ඕනෑම අයකුට නොමිලයේම වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීමේ හැකියාවත් තිබේ. අද මේ සෞඛ්‍ය සේවයෙහි තව දුරටත් දියුණුවක් අවශ්‍ය බව කියන්නේ මේ කියන මැජික් එක අඩුපාඩු නැතිව තවදුරටත් සුපිරියට වර්ධනය වීම ගැනය. දශක ගණනාවක් තිස්සේ රටේ සෞඛ්‍යය දියුණු කරනවා කියමින් කළේත් ඒකය.

අද අර්බුදයක්ව ඇත්තේ ඒ ක්‍රමවේදයම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ගන්නා උත්සහය ව්‍යාකූල වීම තුළය. ඊටත් තවත් බාධකයක්ව ඇත්තේ රටේ සෞඛ්‍ය ගැන වෛද්‍ය සහ හෙද වෘත්තීය සමිතිවල බඩගෝස්තරවාදී ඉල්ලීම් හා පටු දේශපාලනික වුවමණාවන් මත එම තීන්දු ගැනීම සිදුව තිබීම නිසාය.

පසුගිය සියවස ආරම්භයෙදී රටේ තිබුණ පිරිහුණු සෞඛ්‍ය තත්වය වෙනස් කළේ ඊට ඇත්තටම හේතු වූ සාධක වෙනස් කිරීමට ගත් පියවරයන්ගේ සාර්ථකත්වයය. අද විය යුත්තේත් එවැනි ක්‍රියාමාර්ග වෙත යෑමය. පවතින ආර්ථික අර්බුදය විසින්ද ඒ සඳහා බල කිරීමක් කරමින් තිබේ. මන්ද මේ පවතින සෞඛ්‍ය සේවාව ඒ ආකාරයෙන්ම හෝ පවත්වාගෙන යෑම වෙනුවෙන් දැවැන්ත මුදලක් රටේ ආදායමෙන් වෙන් කරන්න සිදුව තිබෙන නිසාය.

මෑත වසරවල වාර්ෂිකව රාජ්‍ය අයවැයෙන් රුපියල් බිලියන 300කට වඩා මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරයි. ඖෂධ හා උපකරණ හිඟයන් ඇති වූයේ ඖෂධ මිළ අධික වූයෙත් ඩොලර් අර්බුදය උත්සන්න වීමෙනි. වෛද්‍යවරුන් රට හැර යන හේතු වන තැනට පත් වූයෙත් බදු සංශෝධනය නිසා තමන්ගේ ආදායමට පහරක් වැදීම නිසාය. රජයේ වෛද්‍ය වෘත්තිකයන් බිහි කරන්නට බදු ආදායම් විශාල වශයෙන් වැය කරමින් ඔවුන්ට වැටුප් හා වරප්‍රසාද ඇති පදම් දී තිබුණත් රටේ අර්බුදයට වඩා තමන්ගේ බඩගෝස්තර වුවමණාව ලොකු බව මේ වෛද්‍යවරුන් පෙන්වා තිබේ. ඒවා එහෙම වන්නේ රටේ සෞඛ්‍යය මේ වෘත්තිකයන්ගේ වුවමණාවට තීරණය කිරීමේ ආදීනව නිසාය. මේ ප්‍රශ්නවලට විසඳුම් රජය සොයා ගත යුතුය. බි්‍රතාන්‍ය යුගයේදී ඇතැම් ක්ෂේත්‍රවල වෛද්‍ය වෘත්තිකයන්ට පෞද්ගලික ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම තහනම් කර පූර්ණ කාලීනව රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීමේ පියවරයන් ගත්තේ රජය මහජනයා කෙරෙහි වන වගවීම වැදගත් නිසාය. අදත් එවැනි යම් නියාමනයක් රටට අවශ්‍යය.

දියුණුවට වෙනත් මාවතක්

රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග දැන් වෙනස් ඉමකට ගෙන ආ යුතුය. ලෙඩ වැඩි වෙන තරමට ඊට ප්‍රතිකාර කිරීමේ පහසුකම් වෙනුවට, ලෙඩ හැදීම වළක්වා ගැනීමේ පියවරයන්ට ප්‍රමුඛතාවය දිය යුතුය. අද රට වැඩියෙන්ම ලෙඩ කර තිබෙන්නේ බෝ නොවෙන රෝග කාණ්ඩය විසිනි. රටේ මරණ ගැන සහ වැඩිම ප්‍රතිකාරයන් සපයන්නේ මොනවාටදැයි දත්ත පරික්ෂා කිරීමේදී හෘද රෝග, දියවැඩියාව, පිළිකාව, අක්මා ආශ්‍රිත රෝග ආදිය ඉදිරියෙන්ම තිබේ. මේවා වළක්වා ගත හැකි ඒවාය. මේ තත්වයන් ඇති වීමට වැඩිම බලපෑමක් සිදුකර ඇත්තේ වැරදි ආහාර රටාවකට, අධි පාරිභෝජනයට කාලාන්තරයක් තිස්සේ හුරු වීමය. විශේෂයෙන්ම පිෂ්ඨය අධික පාන්, බනිස් වර්ග, බත් ආදිය විශාල වශයෙන් ගැනීම, පැණි රස, ලු‍ණු හා මේද වැඩි ආහාර ගැනීම මෙන්ම වඩාත් විනාශකාරීව කෘත්‍රිම ක්ෂණික ආහාර ගැනීම ප්‍රමුඛව තිබේ. ආහාරයක පෝෂණය වෙනුවට රස නහර පිනවීමට අද සමාජ පෙළඹී ඇත. එසේම ව්‍යායාමවලින් තොරවීම ද ඊට ඇතුළත් කළ යුතුය. මේ පුරුදුවලින් මහජනතාව ඈත් කර ගැනීමට අවශ්‍ය පියවර නොගන්නා තාක් කල් රටට සිදු වන්නේ වැඩි වැඩියෙන් වෛද්‍යවරු හෙද හෙදියන් බිහි කරන්නත්, ඖෂධ තොග පිටින් ගෙන්වන්නත්, තව තවත් රෝහල් හදන්නත්ය. මෙහි කෙළවරක් නොවනු ඇත. මේ වෙනුවෙන් වෙන් කරන රාජ්‍ය ආදායම් පංගුවත් වසරෙන් වසර වැඩි කිරීමට සිදු වෙනු ඇත.

ලෝකයේ සෞඛ්‍ය සේවාවන් දියුණුම රාජ්‍යයන් ගැන කතා කරද්දී ඒ ඉලක්කම්වල ලොකුකම උත්කර්ෂයට නැංවූවත් එහි වඩාත් සාධාරණ තේරුම ඒ රටවල මහජන සෞඛ්‍ය පිරිහි ඇති බවය. දිනෙන් දිනම පිරිහෙමින් ඇති බවය. අධි පාරිභෝජනය විසින් සංවර්ධිත රාජ්‍යවල වැසියන් ලෙඩුන් කර ඇත. කොටින්ම මේවා දැන් රටවල් නොව රෝහල්ය. ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන්නේද එතැනටය. නමුත් විය යුත්ත එය නොවේ. රටේ සෞඛ්‍ය සේවාවන් තිබෙන තත්වයට වඩා දියුණු වීම ගැන තර්කයක් නැත. එය විය යුතුය. නමුත් ඇත්ත රෝග නිධානයට නියමිත ප්‍රතිකාරය නොකර විය හැකි දියුණුවක් නම් නැත. හැමදාමත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කියන්න සිදුව තිබෙනවා සේම, මේ රටේ සෞඛ්‍ය සේවාවත් හැමදාම දියුණු කරන්න තිබෙනවාය යනුවෙන් කියන්න සිදු වෙනු ඇත.

කොහොම නමුත් දැනට ක්‍රියාත්මක 2015 – 2025 දක්වා සකස් කර ඇති ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළත් රෝග වැළැක්වීම ගැන ගත යුතු ක්‍රියා මාර්ග කප්පරක් දේ සඳහන්ව තිබෙන මුත් ගැටළුව වන්නේ මේවා හෝ නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවීමය. මෙවැනි ප්‍රතිපත්තිවල අනෙක් වැරැද්ද නම් රටේ සෞඛ්‍ය සේවය රජය විසින් නොමිලයේ ලබා දිය යුතුය කියන පදනමින්ම එම ප්‍රතිපත්තීන් තීරණය කිරීමය. සෞඛ්‍ය සේවාව රජයට අතිරේක පීඩනයක් ඇති වීම හැර මෙමඟින් සිදුව ඇති දෙයක් නැත.

අද පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවාවන් රැසක් ක්‍රියාත්මක වෙමින් තිබේ. බොහෝ විටම වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් පෞද්ගලික අංශයෙන් වැඩි දායකත්වක් ලබා දී ඇත. ඔවුන් සතුව නවීනතම තාක්ෂණික උපකරණ ඇත. එමෙන්ම ඒ වේගවත් සේවාවකි. මේ අනුව රජයේ රෝහල්වලින් එම පරීක්ෂණ කර ගැනීමකට වඩා පහසුවෙන් ඒවා කරගත හැකිය. ඒ අනුව රජය මෙම පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පිරිවැයක් දැරීම නතර කර එය පෞද්ගලික අංශයටම පැවැරීම රජයේ වියදමක් අඩු කර ගැනීමක් වෙයි. එවිට රෝගියාට එම බර පැන දැරීමට සිදුවීම වැළැක්වීම වෙනුවෙන් මේ රටේ සෑම පුරවැසියකුමටම වෛද්‍ය රක්ෂණාවරණයක් ලබාදීම මඟින් සිදු කළ හැකිය. එය රජයට ලාභදායක වනු ඇති මෙන්ම රෝගියාටද පහසුවක් වෙනු ඇත. සමාජවාදී චීනය වැනි රටවලද නොමිලයේ සෞඛ්‍ය සේවාවක් යනුවෙන් යමක් නැත. ඇත්තේ වෛද්‍ය රක්ෂණාවරණ ගණනාවකින් පුරවැසියාට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ අවස්ථාව තහවුරු කර දීමකි. මෙවැනි විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් රජයට අවම පීඩනයක් සහිතව රට තුළ දියුණු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇත. එසේම ඖෂධ හා උපකරණ ගෙන්වීමේදී අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ඒ යමක් ගෙන්වා ගැනීමට අවම මාස 9ක කාලයක්වත් බලා සිටීමට සිදුවේ. බඩු එන විට ලෙඩා මැරිලාය. ඒ ක්‍රමවේදය වෙනස් විය යුතුය. අනෙක රජයේ රෝහල්වල තදබදයට හේතුව මිලක් ගෙවා ප්‍රතිකාර ගැනීමට බහුතර ජනතාවකගේ ආදායම් වත්කම් හරස් වීමය. රක්ෂණාවරණයක් තිබේ නම් එය පෞද්ගලික අංශයෙන් කර ගත හැකිය. මේ නිසා දැන්වත් රජය කල්පනා කළ යුත්තේ ඒ විකල්ප ගැන මිස “නොමිලයේ සෞඛ්‍යය සේවාව” තවත් චිරාත්කාලයක් පවත්වා ගෙන යෑම ගැන නොවේ.

එමෙන්ම රටක සෞඛ්‍ය තත්වයන් යහපත් වන්නට නම් ඒ සඳහා වන වැඩසටහන් සකස් විය යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැති නම් වෛද්‍යවරුන්ගේ දැක්මෙන් හෝ ඒ පටු වුමණාවන් මත පමණක් නොවේ. රටක යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම කියන්නේම දේශපාලන ආර්ථික කාරණයකි. පුරවැසියාගේ සෞඛ්‍යය පිරිහෙනවා කියන්නේ රට කඩා වැටීමට නියමිතයි කියන එකය. මේ නිසා රටක් දේශපාලන තීන්දු ගන්නා විට එය රටේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේදැයි බැලිය යුතුය. ආර්ථිකමය තීන්දු ගන්නා විට එය එය රටේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේදැයි බැලිය යුතුය. රාජ්‍ය ආරක්ෂාව, අධ්‍යාපනය, කෘෂි, ධීවර, පශු කාර්මික කර්මාන්තය, මාර්ග වාරිමාර්ග සංවර්ධනය, මහා ඉදිකිරීම් ව්‍යාපෘති, ජල සම්පාදන ජලාපවහන, තොරතුරු තාක්ෂණ, ක්‍රීඩා ආදි වශයෙන් සෑම ක්ෂේත්‍රයක් ගැනම ගන්නා තීන්දු තීරණවල රටේ සෞඛ්‍යයට කරන බලපෑම් ගැන තක්සේරුවක් විය යුතුය. ඒ අනුව සෞඛ්‍ය ප්‍රතිපත්ති වැඩසටහන තීරණය විය යුතුය. රටේ සෞඛ්‍යය වඩා තිරසර ලෙස යහපත් කළ හැක්කේ එවිටය. ලෝකෙන්ම හොඳම එක විය හැක්කේ එවිටය.

  • ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *