ජනතාවගේ කැපකිරීම්වල ප්‍රතිඵල ලැබෙමින් තිබේ

0

සාමාන්‍යයෙන් යමකුට තමන් සතුව නොමැති යම් දෙයක් අත්පත් කර ගත යුතු නම් ඒ වෙනුවෙන් යම් උත්සාහයක් දරන්නට සිදුවෙයි. එහි දුෂ්කරතාවය අනුව ධෛර්ය සම්පන්න විය යුතුය, අධිෂ්ඨානශීලී විය යුතුය. එපමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා අඩුම තරමින් කාලය ශ්‍රමය වැය කළ යුතු වෙයි. සමහර විට මුදල් වැය කළ යුතු වෙයි, නැතිනම් තමන් සතු අනෙක් දෙයක් වස්තුවක් දේපළක් හෝ කුමන හෝ වටිනාකක් සහිත දෙයක් අහිමි කර ගත යුතු වෙයි. තමන් සතුව පැවැති කීර්තියක් අභිමානයක් තනතුරක් වැනි දෙයක්ද විය හැකිය. මේ අනුව යමක් වෙනුවෙන් තමන්ගේ තියෙන දෙයක් වැය කිරීමට සිදුවීම කැපකිරීමක් ලෙස හැඳින්විය හැකිය. ලබා ගන්නා දෙය හෝ ඒ ලබා ගන්නා ආකාරය හොඳ හෝ නරක වුවත් ඒ වෙනුවෙන් තවත් යමක් කැපකිරීමට සිදු වේ නම් එය කළ යුතුය.

රටක ආර්ථිකය සම්බන්ධයෙනුත් එසේමය. ගොඩ එන්න නම් කැපකිරීම් කළ යුතුය. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්වන්නේ බොහෝ දේවල් අහිමි කරගැනීම තුළය. මෙම අහිමි කරගැනීමට බොහෝ විටම හේතු වූයේ හුදු පාර්ශ්වික අවස්ථාවාදී දේශපාලනය හෝ ජාවාරම්කාරී වුවමණාවන් ජයග්‍රහණ කරගැනීම වෙනුවෙන් ගත් මුග්ධ තීරණ ය. ඒ නිසා එම අහිමි කර ගැනීම් රට වෙනුවෙන් කළ කැපකිරීම් ලෙස අර්ථ දැක්විය නොහැක.

කොහොම නමුත් රට වැටී තිබුණු තැනින් යළි ගොඩ ඒම වෙනුවෙන් ගැනීමට තිබු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න ගැන වැටහීමක් වැඩපිළිවෙලක් තිබුණේ රනිල් වික්‍රමසිංහට පමණය. එහෙත් ඔහුට තිබූ අභියෝගය වූයේ ඒ වෙනුවෙන් එතෙක් ඉතුරුව තිබුණ දෑ කැපකරන්නට සිදුව තිබීමය. සියල්ල අහිමි වන තරමට වැටී තිබුණු තත්වයන් හමුවේ රජයට මෙන්ම ජනතාවටත් යළි සුපුරුදු තත්වයට හෝ ගොඩ නැගීම සඳහා කළ යුතු කැපකිරීම් ගණනාවක් විය. රජයට එදිනෙදා කළ වියදම් අවම කිරීමට සිදු විය, සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර කිරීමට සිදුවිය, ආනයනයන් තහනම් කරමින් පාරිභෝජනය සීමා කරන්නට සිදු විය, ඉන්ධන බෙදාහැරීම සීමා කරන්නට සිදු විය, විදුලි කප්පාදුවකට යෑමට සිදු විය. මේ ආදී වශයෙන් වෙනදා රට භුක්ති විඳි බොහෝ දේවල් අවම කරමින් අලු‍ත් ප්‍රතිපත්ති සලසුම් වැඩපිළිවෙල සමඟ වන නව ක්‍රමවේදයකට සමස්තයම සකසන්නට සිදුව තිබිණි. මෙම කැපකිරීම කළ නොහැකි නම් ඒ අලු‍ත් ගමන යෑමට නොහැකි බව ජනාධිපති රනිල් මීට වසරකට පෙර සිටම නිතර නිතර පැවසුවේ වෙන විකල්ප නොමැති බැවිනි. එම කැපකිරීමවල ප්‍රතිලාභයන් 2024 වසර වන විට රටේ ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමෙන් පසුව ලැබීමට නියමිත බවත් පෙන්වා දී තිබිණි. ඒ අනුව 2023 වසරත් දුෂ්කර කැපකිරීම් කළ යුතු කාලයක් වන බව අවධාරණය කර තිබිණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් ගත යුතු පියවර සහ ලබාගත හැකි සහනයන් සම්බන්ධයෙන් එකඟතාවයකට රජය ආවේ ඉතිරිව තිබු එකම ක්‍රමවේදය එය බැවිනි. ඒ අනුව රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු විය. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකාව ගොඩනැංවීම වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්නට ඒ ණය හිමියන් එකඟ විය. එනම් මේ රට වෙනුවෙන් යම් පාඩුවක් දරාගැනීමට එකඟවීමය. නමුත් ඒ වෙනුවෙන් රජය දේශීය ණය සම්බන්ධයෙනුත් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බව කිව්වේ තමන් කරන කැපකිරීමෙන් රටට යහපතක් වන්නට නම් එය විය යුතු බව පෙන්වා දෙමිනි. එනම් රජය දේශීයව බරපතල ණය කන්දකට යට වී සිටියදී විදේශීය ණය හිමියන්ගෙන්
සහනයක් ලැබුණාට ණය කන්දෙන් නිදහස් නොවී නැගිටින්නට බැරි බවය. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් රජය දේශීය ණය හිමියන්ට පසුගිදා යෝජනා කර තිබිණි. ඒ අනුව මේ වන විට ඊට එකඟතාවයන් ලැබී තිබේ. එනම් රට වෙනුවෙන් දේශීය ණය හිමියන් යම් කැපකිරීමක්ට සූදානම්වීමය. එනම් යම් පාඩුවක් දරාගැනීමට එකඟවීමකි. රජයෙන් පරිබාහිර විදේශ ණය හිමියනුත් දේශීය ණය හිමියනුත් රට වෙනුවෙන් දැන් සිය කැපවීම ක්‍රියාත්මක කරන තත්වයන් යටතේ යළි රට ගොඩනැංවීම වෙනුවෙන් රජයටත් ජනතාවටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පහසු වෙනු ඇත. එහෙත් වැදගත්ම දේ රජයත් ජනතාවත් රට වෙනුවෙන් තවදුරටත් කැපකිරීම් රැසක් කිරීමට සූදානම් විය යුතු වීමය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහනයක් ලැබීම හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හෝ රට ගොඩයන්නේ නැත. එමගින් සිදු වූයේ රටේ ආර්ථික වර්ධනයට තිබූ බාධාවක් යම් පමණකට ලිහිල්වීම පමණය. ඒ විවර වුණු තැනින්, උපරිම ශක්තිය හැකියාවන් යොදවා අලු‍ත් ගමනට සුදානම්වීම විය යුතුය. ජනාධිපතිවරයා රජය වෙනුවෙන් වන අලු‍ත් සංවර්ධන ගමන් මග නැතිනම් මාර්ග සිතියම පසුගියදා ඉදිරිත් කරනු ලැබූ අතර ඊට අදාල ජාතික සැලසුම මේ වසර අවසන් වීමට පෙර ජනතාවට හෙළි කරනු ඇත. ඒ කොහොම වෙතත් රජයත් ජනතාවත් රට ගොඩගැනීම වෙනුවෙන් කළ කැපකිරීම්වල ප්‍රතිපල සිතුවාට වඩා සාර්ථකව සහ පුරෝකථනය කළ කාලවේලාවන්ටත් කළින් සිදු වන ලකුණුත් පෙනෙන්නට තිබේ. රටේ ආර්ථිකය මෙතරම් ඉක්මනින් ස්ථාවර කරගැනීමට හැකි වෙනු ඇතැයි කිසිදු පාර්ශ්වයක් පුරෝකථනයක සිටියේ නැත. වසර තුන හතරක් දහයක් දොළහක් යනු ඇතැයි බොහෝ විටම කියවුණු දෙයය. එහෙත් මෙරට විපක්ෂය නම් හිටියේ තමන්ට බලය දුන්නොත් ඒ සැනින් රට ගොඩදැමීමේ විශ්මකර්මය කර පෙන්වනවා බව කියමිනි. සජබයේ සජිත් ප්‍රේමදාස කිව්වෙ අවුරුද්දකින් ගොඩදාලා පෙන්වන බවය, ජවිපෙ අනුර කුමාර කිව්වෙ මාස 6න් රට ගොඩදාන බවය. නමුත් එය කරන්නේ කොහොමදැයි ප්‍රශ්න කළ විට නිරුත්තර විය. එවැනි සැලැස්මක් තියෙනවා නම් ඊට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම් බව රනිල් ප්‍රසිද්ධියේම කිව්වේය.

එහෙත් ඒ සඳහා සැලසුමක් වැඩපිලිවෙලක් තබා රට මුහුණ දී තිබෙන අර්බුදය කුමක්ද යැයි හෝ පිළිවෙලකට පැහැදිලිව නිශ්චිතව කියන්නට හෝ මේ අයට නොහැකි විය. මේ නිසා මාස හයෙන් අවුරුද්දෙන් ගොඩ දාන කතා නිකම් විහිළු බවට පත් වූ අතර අපි එහෙම කිව්වෙ නැතැයි කියන තැනටද මේ විපක්ෂ නායකයන් පත්විය.

කොහොම නමුත් ජනාධිපති රනිල් තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ අදාල කාලවකවානු සහිතව අදියරෙන් අදියරට පැහැදිලිව නිශ්චිතවම සිය අදහස ප්‍රකාශ කරමිනි. රට මුහුණ දෙමින් තිබෙන ඇත්ත අර්බුදයේ තරම නොසඟවා හෙළිකරමිනි. ඉදිරියට සිදු වන දුෂ්කරතා ගැන ඔහු වේලාසනම කියන්න බිය නොවීය. රජයට මෙන්ම ජනතාවටත් කරන වන කැපකිරීම් ගැන කියන්න ඔහු අදිමදි කළේ නැත. විටෙක බදු වැඩි කළේ, ඉන්ධන මිල වැඩි කළේ, විදුලි බිල් වැඩි කළේ, ඒ මොහොතේ ඒ දේවල් නොකළා නම් අනාගතය ජය ගැනීම නොහැකි නිසාය. එමෙන්ම ජාතික සම්පත් කියා තුරුළු‍ කරගෙන බදාගෙන, බදු ආදායම් නාස්ති කරමින් පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යාපාරවලින් රජය නිදහස් විය යුතු බව කිව්වේ රටේ අනාගත ජයග්‍රහණ වෙනුවෙනි. එනම් මේ රටට විණ කරන ඊනියා ජාතික සම්පත් ටික රට වෙනුවෙන් කැප කළ යුතු බවය.

මේ වන විට රට යම් පමණකට ස්ථාවර ආර්ථික තත්වයක් කරා පැමිණ ඇත්තේ පසුගිය කාලය තුළ කළ ඒ කැපකිරීමවල ප්‍රතිපල ලෙසය. උද්ධමන අනුපාතිකයන් අඩුවීම, පොලී අනුපාතිකයන් අඩුවීම, ඉන්ධන, විදුලි බිල්, ගෑස් මිල අඩුවීම ආදිය ඒ ප්‍රතිපලයන්ය. යම් බදු සහනයක්ද ඉදිරියේදී ලැබීමට නියමිත බව ප්‍රකාශ වෙයි. එසේම රාජ්‍ය සේවකයන්ට යම් වැ‍ටුප් හෝ දීමනා වැඩි වීමද සිදුවීමට නියමිතය. ආනයන තහංචි බොහොමයක් ඉවත් කිරීමද සිදු කර ඇත. ආහාර හිඟය මුලු‍මනින්ම අහෝසි කර ඇති අතර ඖෂධ හිඟයටද පිළියම් කර ඇත. දරිද්‍රතාවයට පත්වූවන්ටද විසඳුමක් දී ඇත. ඒ අනුව බංකොලොත් භාවයෙන් මිදී, 2019 වසරට පෙර රට තිබූ තත්වයට හෝ දැන් රට ආසන්න වෙමින් පවතී.

ජනාධිපති රනිල් අඩුම තරමින් මේ තත්වයට හෝ රට ගෙන ආවේ නිකම් නොවේ. විපක්ෂයේ අතිශය නරුම බාධා කිරීම විරෝධතා මඩ අවලාද කප්පරක් මධ්‍යයේය. ගෝඨා පාලනය හමුවේ රට බංකොලොත්වීම සමඟ රටේ අර්බුදය විසඳීමට සමත්කමක් හා ඒ වැඩපිලිවෙල කලින්ම ඉදිරිපත් කළ, එය සිදු කළ හැකි බවට විශ්වාසය තහවුරු කරමින් සිටි රනිල් වික්‍රමසිංහව හිටපු ජනාධිපති ගෝඨාභය විසින් අගමැතිවරයා ලෙස පත් කිරීම වැලැක්වීමට ගත් ක්‍රියාමාර්ගවල සිට විපක්ෂය අද මේ මොහොත වන තුරු කරමින් සිටින්නේ රනිල්ට බාධා කිරීමය. නමුත් ඒ කිසිවකින් රනිල් නොසැලු‍න අතර සිය වැඩපිලිවෙල අකුළා ගත්තේද නැත. අද එහි සාර්ථකත්වය ඇස් පනා පිටම පෙන්වාද තිබේ. පසුගිය සතිය වන විට මේ සමස්ත විපක්ෂයම එකාවන්ව පෙළ ගැසී සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු පද්ධතිය බිඳ වැටෙනවාය, සේවක අර්ථ සාධකය බිල්ලට ගන්නවාය, ඒ නිසා තැන්පත්කරුවන්ට සිය ඉතුරුම් අහිමි වෙනවාය, අර්ථ සාධකේ සල්ලි ගන්න බැරිවෙනවාය කියමින් පට්ටපල් බොරු බේගල් පතුරුවමිනි. විපක්ෂය බලාපොරොත්තු වුයේ ඔවුන්ගේ බොරු බේගල් ජනතාව විශ්වාස කර බැංකු තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව කටයුතු කිරිමෙන් බැංකු පද්ධතිය මුළුමනින්ම බිඳ වට්ටවා රට යළි බරපතල අර්බුදයකට වැටෙනු ඇති කියාය. අර්ථ සාධකය රැකගන්න කියා වැඩකරන ජනතාව වීදි බස්සවා, වැඩවර්ජනය කර, අරගල කර රනිල්ව පන්නන තෙක් විපක්ෂය දත කට මැදගෙන බලා සිටියේය. නමුත් ජනතාව මේ විපක්ෂයේ ජෝකර්ලාගේ විකාර විශ්වාස කළේ නැත. ජනතාව සිහි බුද්ධියෙන් සිටීම නිසා මේ ජෝකර්ලාගේ කතා තුට්‍ටුවකට මායිම් කළේ නැත. ජනතාව ජනාධිපතිවරයා විශ්වාස කළේය. රජය විශ්වාස කළේය. රනිල් පසුගිය වසරක කාලය තුළ කටයුතු කළ පරිණත ආකාරය ජනතාව ඇස් දෙකෙන් දැක්කේය. එහි ඇති විශ්වාසනීය බව, අවංක බව, නිශ්චිත බව, නිවැරදි බව, අධිෂ්ඨානශීලි බව, ශත්කිමත් බව ජනතාව දැක්කේය. එසේම තමන් වසරක පෙර අත්විඳි පීඩාකාරිත්වයෙන් තමන් දැන් අත්මිදී සිටින බව ජනතාවට අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නොවීය. ඒ අනුව විපක්ෂ ජෝකර්ලාගේ කතා ජෝක් ලෙසම තිබෙන්නට හැර ජනතාව තමන්ගේ අනාගත අපේක්ෂා වෙනුවෙන් සූදානම් විය.

දින පහක නිවාඩුවකින් පසු යළි බැංකු හා කොටස් වෙළඳපොල ක්‍රියාත්මක වන විට රටේ ආර්ථිකය ලොකු පිම්මකින් ඉදිරියට පැන්න බව කොටස් වෙළඳපොල වේගවත් වර්ධනය මඟින් පෙන්නුම් කළේ ජනතාව අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් සූදානම්ව සිටින බවය. ජනතාව කොටස් මිළ දී ගැනීම්වල සක්‍රීය වුවේ ඒ නිසාය. විශේෂයෙන්ම බැංකු කොටස් මිල දර්ශකයන් ඉහළ යෑමෙන් රටේ ආර්ථිකය සවිමත් බවත් ඉදිරි වර්ධනයන් සිදුවීමට නියමිත බවත් ජනතාව තුළ ඇති අපේක්ෂාව මොනවට පෙන්නුම් කරනු ලැබූවක්ය.

එසේම මේ වන විට ලෝක බැංකුවේ සහ අනෙක් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල සහය රටට හිමිවෙමින් පවතී. විශේෂයෙන්ම පසුගියදා ජපානය විසින් යළි සැහැල්ලු‍ දුම්රිය ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට එකඟවීම රට ලැබූ විශාල ජයග්‍රහණයක් විය. මෑත කාලයේ වන අති දැවන්තම විදේශ ආයෝජනය වූ මෙම ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට ජපානය එකඟවීම තුළ වැදගත්ම දෙය නම් මෙරට ආර්ථිකය ස්ථාවර බවට ලෝකයට ලැබෙන පණිවිඩය නිසාය. මේ අනුව විදේශ ආයෝජකයන්ට තිබු සැක සංකා දුරු වෙනු ඇත. එසේම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‍ෆිච් රෙටින්ග්ස් ආයතනය රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව නිවේදනය කර තිබිණි. එසේම ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවියද ශ්‍රි ලංකාව ආර්ථිකය අභියෝග ජයගැනීම විශ්මය දනවන්නක් සේ හැඟෙන ලෙස වාර්ථා කර වැදගත් පණිවිඩයක් ලොවට ලබා දී ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව රට වෙනුවෙන් පෙනි සිටින විට රටේ විපක්ෂය තවමත් කරමින් සිටින්නේ රට යළි බංකොලොත් කරවීමේ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතීන්ය. තමන්ට බලය ලබා ගත හැක්කේ එමඟින් පමණක් මේ අය සියළුදෙනා දැඩිව විශ්වාස කරයි. ඒ වෙනත් දේශපාලන වැඩපිළිවෙලක් ඇත්තටම ඔවුන් සතුව නොමැති නිසාය. රට බිඳවැට්ටීම වෙනුවෙන් තමන්ගේ සියළු දේ කැපකරමින් සිටින බවත් මේ අය පෙන්වමින් ඇත. විපක්ෂ දේශපාලන පක්ෂ ලෙස ජනතාවට ඇති වගවීම ඔවුන් මුලින්ම සහ මුළුමනින්ම මේ වන විට කැප කර ඇත්තේ රටට ජනතාවට හෙණ ගහල ගියත් තමන් බලයට පත්වීම විය යුතු බව තහවුරු කරමිණි. විපක්ෂ පක්ෂ ලෙස කුමක් හෝ කීර්තියක් වටිනාකමක් ඉතුරුව තිබුණා නම් එයත් මුග්ධ ත්‍රාඩ ජඩ ක්‍රියාමාර්ග හරහා අවසන් කරගෙන තිබේ. තමන්ට දැනුමක් අවබෝධයක් බුද්ධියක් වැනි දෙයක් තිබුණා නම් ඒ සියල්ලත්, කරන තකතීරු විහිළු සහගත වැඩ නිසා ඉවරටම ඉවර කරගෙන තිබේ. එසේම තමන්ගේ පාක්ෂිකයාවත් දැන් වේගයෙන් අහිමි කරගනිමින් තිබේ. හෙට අනිද්දා වන විට මේ විපක්ෂ නායකයන්ට තමන්ගේ මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරිකයන්ද බුරුතු පිටින් අහිමි නොවුනොත් පුදුමයකි. විපක්ෂ නායකයන්ගේ වියරු නරුම බල පෙරේතකම නිසා තමන්ට තමන්වම අහිමි වෙන බව තවම පෙනී ගොස් නැත. පසුගියදා ජනාධිපතිවරයා තනතුරු මේනියාවෙන් පෙළෙන විපක්ෂ නායක සජිත්ට ප්‍රසිද්ධියේම කියා සිටියේ ඒ ඇත්ත ගැනය. ඔය තියෙන විපක්ෂ නායකකම රැක දෙන්නම්., අවශ්‍ය නම් මිළඟ ජනාධිපති වෙන්නත් උදව් කරන්නම් කියා කිව්වේ සජිත් කරමින් සිටින මරිමෝඩ තක්තීරු විගඩම් වැඩ නවතා, රජයේ ක්‍රියාමාර්ග කඩාකප්පල් කරන ජඩ වැඩ නවත්තා, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයට අවශ්‍ය සහය දී තමන්ගේ ජාම බේරාගැනීමට කටයුතු කරගන ලෙස ඉල්ලීමක් කළේ මේ අඳබාල පුතාණෝ ගැන උපන් අනුකම්පාවෙන් විය හැකිය. දැනට සිදුවෙන දේශපාලන වර්ධනයන් තුළ විපක්ෂයේ ඊනියා රැළි අවසන් වෙමින් සියළු ශක්තීන් ජනාධිපතිවරයා වටා පෙළ ගැසෙමින් තිබෙන බව පැහැදිලිව පෙනේනට තිබෙන අතර ඒ ගැන කළ විධිමත් සමීක්ෂණ වාර්තාවලින්ද පෙන්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ කැපකිරීම්වල ප්‍රතිපල ඔහුට ලැබෙමින් පවති.

  • ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *