කළුවර ජූලියක අළුවුණ සිහිනය

0

කළුවර අවකාශය, බිය සංකා සැක ඇති කරන්නකි. මේ නිසා සාමාන්‍යයෙන් මිනිසුන් කළුවරට කැමති නැත. කළුවරට එරෙහිව කෘත්‍රිම ආලෝක ප්‍රභවයන් නිර්මාණය කරගත්තේ ඒ නිසාය. විදුලි බලයෙන් ආලෝකය සපයා ගැනීම ඒ නිර්මාණාත්මක බවේ ඉහළම ජයග්‍රහණයකි. නමුත් අද විදුලි බලය දේශපාලනික ප්‍රශ්නයකි. විදුලි බලය සහ කළුවර අතර සම්බන්ධය චිරාත් කාලයක් තිස්සේ දේශපාලන බලය සමඟ ගැට ගැසී පවතී. පාලනයක් පත් කිරීමට මෙන්ම පාලකයන් එළවා දැමීමටද විදුලි බලය බලපෑ අතීතයක් මෙරටද විය. “ලයිට් කපන්න නම් මොකටද ආණ්ඩුවක්?” යනුවෙන් ජනප්‍රිය සටන් පාඨ ගොඩ නැගෙන්නේ ඒ අනුවය.

සත්‍ය ලෙසම විසි හතර පැයෙන් වැඩි පංගුවක් විදුලිය විසන්ධි කරමින් ජනතාව පීඩාවට පත් කළ කාලයන් තිබිණි. ආසන්නම අත්දැකීම 2022 වසරේ දී විය. පැය දහයකට දොළහකට වඩා විදුලි බලය නැතිව සියළු පුරවැසියන් පීඩාවට පත්ව තිබිණි. ජනතාවගේ මූලික අත්‍යාවශ්‍ය පහසුකම් අතරට වැටෙන විදුලි බලය අඛණ්ඩව ලබා දීමට නොහැකි ආණ්ඩුවක් කුමටද යන්න සත්‍යයකි. ආණ්ඩුවකට පාලනය කළ නොහැකි තත්වයන් ඇතිවීම මත විදුලිය විසන්ධිවීම වෙනම කථාවකි. එහෙත් ආණ්ඩුවක් ගන්නා වැරදි තීන්දු තීරණ මත විදුලිය විසන්ධිවීම බරපතල කරුණකි. පසුගිය වසරේ විදුලි විසන්ධිවීම ගැන ගැටළුව එන්නේ ආණ්ඩුවේ වැරදි තීරණ මතය. ජනතාව පාරට බැස්සේ ඒ නිසාය. එය දේශපාලන ප්‍රශ්නයක් වන විට එම ගැටළුව යොදා ගනිමින් විපක්ෂ කණ්ඩායම් ආණ්ඩු පෙරළා දැමීම වෙනුවෙන් යොදා ගැනීම සිදු වෙයි. නැති ගැටළුද ඒ හරහා නිර්මාණය කරමින් අර්බුදය තිව්‍ර කිරීමට උත්සාහ ගැනීම කරති. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය හා සම්බන්ධ වෘත්තීය සමිති මේ අර්බුද මොහොතේ කටයුතු කළේම පවතින ආණ්ඩුව පෙරළා දැමීම වෙනුවෙනි. ඔවුන් හා සම්බන්ධ විපක්ෂ දේශපාලන පක්ෂ කණ්ඩායම්ද මේ වෘත්තීය සමිති තමන්ගේ දේශපාලන වුවමණාව වෙනුවෙන් පාවිච්චි කළේය. දිගින් දිගටම විරෝධතා උද්ඝෝෂණ, අකුරට වැඩකිරීම්, වැඩවර්ජන සිදු විය. එසේම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මැදිහත් විය. මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ජාවාරම්කාරී ඩීසල් බලාගාර මාෆියාවන්ද අර්බුදය තිව්‍ර කර එයින් අතිරේක ලාභ ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. මේවාට ඇතැම් වෘත්තීය සමිති නායකයන්ද තමන්ට ලැබෙන සංතෝසම් මත සහය වී තිබිණි.

මේ තත්වය ඇති කිරීම වෙනුවෙන් මේ වෘත්තීය සමිති ඉතා දැනුවත්ව විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තිබිණි. කළුවර සති, මාස නිවේදනය කරමින් ආණ්ඩුව සහ ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් කටයුතු කළේය. කොහොම නමුත් පසුගිය වසර අග භාගය වන විට මේ වෘත්තීය සමිති කියා සිටියේ මාර්තු මාසයෙන් පසුව යළි දවසෙන් අඩක් පමණ විදුලිය විසන්ධි කිරීමක් අනිවාර්යයෙන්ම සිදුවන බවත් ජූලි මාසය වන විට පැය විසි හතරම විදුලිය ලබා දීමට නොහැකි තරමට ආණ්ඩුව අසමත් වන බවය. ජුලිය, “කළුවර ජූලියක්” වන බවට අලංකාරෝක්ති වදනක්ද ඒ වෙනුවෙන් පාවිච්චි කළේය.
කළුවර ජූලි නිර්මාණය කරන්නට දත කෑ’ප්‍රමුඛතම කණ්ඩායම වූයේ විදුලි ඉන්ජිනේරු සංගමයේ පිරිස්ය. ඔවුන් ජූලි මාසය කළු වන බවට පුන පුනා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල් අඟු‍රු සපයා ගැනීමට නොහැකි වූවහොත් සහ ජල විදුලිය ප්‍රමාණාත්මකව නිපදවා ගැනීමට නොහැකි තත්වයන් හමුවේ 2023 වසරේ ජූලි මාසයෙන් පසුව දරුණු විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කියමිනි. ඒ කියන්නේ ජාවාරම්කාර ඩීසල් මා‌ෆියා විදුලිය ගැනීමට පෙළඹවීමක් ඇති කිරීමේ වුවමණාව මතය. ඔවුන්ට වාසියක් වන්නේ එවිටය. සුර්ය පැනල භාවිතයෙන් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිවලට මොවුන් බාධා කළෙත් ඒ අනුවය. සුළං විදුලි
බලාගාරවලට එරෙහි වූයෙත් ඒ නිසාය.

කොහොම නමුත් මේ ගෙවෙන්නේ වෘත්තීය සමිති කියන කළුවර ජුලි මාසයය. නමුත් විසි හතර පැයේම විදුලි බලය අඛණ්ඩව ලැබෙමින් පවතී. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය මේ ජඩ වෘත්තීය සමිතිවලට, ඩීසල් බලාගාර ජාවාරම්කාරයන්ට සහ විපක්ෂ දේශපාලන පක්ෂවලට රට අඳුරේ තැබීමට ඉඩ තැබුවේ නැත. අර්බුදය නිවැරදි පියවරයන් මතින් විසඳා ගැනීමට ජනාධිපති සමත් විය. එපමණක් නොව රට අර්බුදයක සිර කිරීමට දේශපාලනික මෙහෙයුමක යෙදුන එවකට මහජන උපයෝගිතා කොමිසමෙහි සභාපතිවරයා ගෙන ගිය කුමන්ත්‍රණකාරී මෙහෙයුමද පරාජය කළේය.

පසුගිය පෙබරවාරි මාසයේ දී වෘත්තීය සමිති කෑ’ගැසූවේ විදුලි බිල දරා ගැනීමට නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇති බව පවසමිනි. ඒ වන විටත් චැතම් ස්ටී්‍රට් අප පැහැදිලිව සඳහන් කොට සිටියේ මේ වෘත්තීය සමිතිකාරයන්ගේ බලාපොරොත්තු සඵල’නොවූ බවත් කෙටි කලක් තුළ මේ ප්‍රශ්නය විසඳෙන බවත්ය. පැවැති බංකොළොත් ආර්ථික තත්වයන්ගෙන් මිදෙන විට ජනතාවට විදුලි බිල පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවත් විදුලි සැපයුම අඛණ්ඩව ලැබීම සිදුවන බවත්ය. එය මේ වන විට සනාථ’කොට ඇත. ඒ අනුව ජුලි මස 01 වන දා සිටි ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව පහත හෙළීමට විදුලිබල මණ්ඩලය යෝජනා කළ අතර වත්මන් මහජන උපයෝගිතා කොමිසන් සභාව එය අනුමත කළේය.

මෙම විදුලි බිලේ සහනයට අනුව විදුලි ගාස්තුව 14.2%කින් පොදුවේ පහළ යයි. සවිස්තරව දැක් වුවොත් ඒකක 0-30 අතර කාණ්ඩට ගාස්තු අඩුවීම 65%ක්ද, ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා, ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වාද, ඒකක 31-60 අතර කාණ්ඩයට ගාස්තු අඩුවීම 51.5%ක්ද , ඒකකයක් රුපියල් 42 සිට 32 දක්වා, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වාද, ඒකක 61-90ත් අතර කාණ්ඩයට ගාස්තු අඩුවීම 24.5%ක්ද, ඒකක 91-120ත් කාණ්ඩයට ඒකකයක් රුපියල් 42 සිට රුපියල් 35 දක්වා, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වාද වන ලෙස බිල අඩුවේ. මීට අමතරව ආගමික ස්ථානවල ගාස්තු අඩුවීම 16%ක්ද, අඩු පරිභෝජනයක් ඇති ආගමික ස්ථානවලට ඒකකයක් රුපියල් 10 බැගින් ද, හෝටල් සඳහා ගාස්තු අඩුවීම 26.3%ක්ද, කර්මාන්ත සඳහා 9%ක් වාණිජ ගොඩනැගිලි සඳහා 5%ක්, රජයේ ගොඩනැගිලි සඳහා 1%ක් ලෙස ද විදුලි ගාස්තුව අඩුවේ. මේ අනුව විශේෂයෙන්ම අඩු ආදායම් ඇති නිවාසවලට තිබු විදුලි බිලේ බර සැහැල්ලු‍ කිරීමක් සිදු කර ඇත. එපමණක් නොව ලබන වසර මුලදී මීට වඩා දැනෙන මුදලකින් විදුලි බිල අඩු කරන බව විදුලිබල අමාත්‍යවරයා පොරොන්දුවක් දී තිබේ.

කළුවර ජූලියක් නිර්මාණය කිරීමට බලා සිටි වෘත්තීය සමිති මාෆියාව සිතා සිටියේ ජනතාවට උහුලන්න බැරි තැනට විදුලි බිල වැඩි වී, ආණ්ඩුව ජන පීඩක ආණ්ඩුවක් ලෙස හංවඩු ගසා යළි රට අර්බුදයකට තල්ලු‍ කර දැමීමටය. එහෙත් එය දැන් වලංගු වන්නේ නැත. රට මීටරේට කරකැවිය හැකි පරිනත නායකයෙකු මග පෙන්වීම යටතේ මේ පැරණි සටන් පාඨ පුස්සක් විය. බොරුවක් විය. ජනතාව මුලාවට පත් කරමින් වෘත්තීය සමිති නඩය නැටු පිස්සුව ජනතාවට හෙළිදරව් වී අවසන්ය.
කළුවර ජූලියේ තවත් වුවමණාවක් වූයේ තෙල්, ගෑස් අර්බුදය නැවත වටයකින් පැමිණ ජනතාවගේ බඩට තට්ටු වෙනු දැකීමය. එහෙත් තෙල් මිළ අඩු වූ අතර එය නියමාකාරයෙන් ඒ වෙනුවෙන් සැකසු මිල’සූත්‍රය අනුව සාධාරණව සිදුවෙමින් පවතී. පසුගිය සති‌යේ යළි ගෑස් මිළ අඩු කිරීමට ගෑස් සමාගම් පියවර ගත්තේය.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 204 කින් පහත දැම්මේය. ඒ අනුව දැන් එහි මිල රුපියල් 2,982කි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දැමූ අතර දැන් එහි මිල රුපියල් 1,198කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 37කින් පහත දමා ඇති අතර දැන් එහි මිල රුපියල් 561 කි. ඊට සමගාමීව ලාෆ් ගෑස් සමාගමද සිය මිළ ගනන් පහත දමා ඇත. මේ අනුව කළුවර ජූලිය නැමැති වෘත්තීය සමිත් මාෆියාකාරයින්ගේ මැව් සිහිනය මහ දවාලේම කුඩු පට්ටම් කරන්නට ජනාධිපතිවරයා සහ රජය සමත්ව වී ඇත.

සාමාන්‍යයෙන් විපක්ෂය හා විපක්ෂයට ආවඩන කල්ලි, ජනතාව නිරන්තරයෙන් ආණ්ඩුවට එරෙහිව තබා ගැනීමට කුමන හෝ උප්පර වැට්ටියක් යොදමින් අර්බුද නිර්මාණය කිරීමට කැස කවමින් සිටීම සිදුවෙයි. පිටිය ඔවුන්ගේ වන තැන ඔවුන් සියලු‍ රංගනයන් කිරීමට සූදානම්ය. එහෙත් දැන් පිටිය ඔවුන්ගේ නොවේය. පිටිය ජනාධිපතිවරයා අත්පත් කරගෙන තිබේ. 2048 සංවර්ධන ඉලක්කය තබා ගෙන දුවන රටක්, මොලෙන් ගහන ගේමක් දැන් පිටිය තුළ දැක ගත හැකිය.

මේ අතර විදුලි විෂය භාර අමාත්‍ය’කංචන විජේසේකර පසුගියදා සදහන් කොට සිටි‌යේ රටේ අනාගත ඉල්ලු‍මද සලකා බලා විදුලි බලය නිපදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. පාඩු ලබමින් සිටින විදුලි බල මණ්ඩලයේ පාඩුව අවම කිරීමට සමත් වී ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර වඩාත් කාර්යක්ෂම සහ ලාභදායක සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ද ගෙන තිබේ.

කෙසේ නමුත් ජූලිය කළුවර වුයේ නැති සේම රටේ අනාගතයත් කළුවර නොවෙන බව තහවුරු කිරීමට රජය සමත්ව තිබේ. තවදුරටත් කළු දින, කළු සති, කළු මාස යළි ප්‍රාර්ථනා කොට වැඩක් නැත. ආලෝකයේ දිසාවට දැන් රට පිවිස ඇත. ගමන් කළ යුතුව ඇත්තේ ඒ දිශාවටය.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *