බංග්ලාදේශයේ කන්ටේනරයක නින්ද දරුවා මැලේසියාවේදී ඇහැරෙයි

බංග්ලාදේශයේ චිතගොං නුවර භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් පර්යන්තයක සිය මිතුරන් සමඟ ‘හොරා පොලිස්‘ සෙල්ලමේ නිරතවීමට කන්ටේනරයක් තුළ සැඟවුණු 15 හැවිරිදි දරුවකු දින පහකට පසු කිලෝමීටර් තුන්දහසකට වඩා දුරින් පිහිටි මැලේසියාවෙන් මතු වූ අපූරු විශ්මිත පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය සිදු වී ඇත්තේ එම දරුවා මිතුරන්ගෙන් සැඟවී සිටීමට එම කන්ටේනරය නොදැනුවත්වම අගුළුලෑම හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු සැඟවී ඇත්තේ මැලේසියාවට ප්‍රවාහනය කිරීමට නියමිත කන්ටේනර් තොගයකට අයත් එකක බව නොදැන සිටි දරුවා එම කන්ටේනර් තොගය මැලේසියාවේදී ගොඩබස්වන තුරු ආහාරපාන කිසිවක් නොමැතිව දුර්වල තත්ත්වයෙන් පසු වූ බව ද වාර්තා වේ.

භාණ්ඩ රැගත් කන්ටේනර් 1,337ක් සහ හිස් කන්ටේනර් කිහිපයක් සමඟ ජනවාරි 12 වැනිදා ගමන් ඇරඹූ එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මැලේසියාවේ ක්ලෑං වරායට සේන්දු වී ඇත්තේ 16 වැනිදාය.

දරුවා කන්ටේනරයක් තුළ සිටිනු සොයාගෙන ඇත්තේ මැලේසියාවේ වරායට ගොඩබාන ලද කන්ටේනර් තොගය පරීක්ෂා කරමින් සිටි සේවක පිරිසකි. ඔවුන් එම කන්ටේනරය පරීක්ෂා කර ඇත්තේ උදවු ඉල්ලා කෑගසමින් කිසිවකු ශබ්ද කරනු කන්ටේනරය තුළින් ඇසෙන්නට වූ බැවිනි. පසුව ඔවුන් ඒ පිළිබඳ වහාම අදාළ බලධාරීන්ට සහ පොලිසියට දන්වා ඇත. තමාට කන්ටේනරය තුළදී නින්ද ගිය බවත්, එය අගුළුලා තිබූ නිසා යළි ඇහැරීමෙන් පසු පිටතට පැමිණීමට නොහැකි වූ බවත් ඔහු පොලිස් නිලධාරීන්ට පවසා ඇතැයි වාර්තා වේ. බියෙන් සහ කුසගින්නෙන් දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි එම දරුවා විජලනයට ලක්ව සිටි බවත්, වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගත් බවත් මැලේසියාවේ පුවත්පත් වාර්තා කළේය.

ඔහු මිනිස් ජාවාරමට ගොදුරු වන්නට ඇතැයි බලධාරීන් මුලදී සැක කළත්, අපරාධයක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නොතිබූ බැවින් ඔහු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කිරීමට පොලිසිය තීරණය කර ඇත. මැලේසියාවේ බලධාරීන් පසුව බංග්ලාදේශයේ විදේශ අමාත්‍යාංශයට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර, එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන්ම නැවත බංග්ලාදේශයට පිටත් කිරීමට තීරණය කර තිබේ.