“අද ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඔක්කොම එකතු වෙලා අපි තීරණයක් අරන් තියෙන්නෙ හෙට දවසේ කළු විරෝධතාවයක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විරෝධතාවයක් ගෙනියන්න. සියලූ ගුරු විදුහල්පතිවරු කලූ පටි පැළඳ හෝ කළු ඇඳුම් ඇඳගෙන අපි සේවයට වාර්තා කරනවා. පාසල් ඉදිරිපිට කළු කොඩියක් දානවා”

මෙහෙම කියන්නේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්. ඔහු මේ අදහස් දක්වන්නෙ පසුගියදා පැවැතිච්ච බදු පැනවීමට එරෙහි එක් දින වැඩවර්ජනයට ගුරු විදුහල්පතිවරුන්ගේ සහයෝගය දක්වන බව පවසමින්. මේ අතරම මීට පෙර දවසක මේ ජෝසප් ස්ටාලින්ම කියනවා “මේ පවතින ආර්ථික අපහසුතාවයත් එක්ක ගුරුවරුන්ට ප්‍රවාහන වියදම දරාගන්න බෑ. ගුරුවරුන් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා ගුරුවරුන්ට ප්‍රවාහන දීමනාවක් ලබා දෙන්න” කියලා. ඒක නොදුන්නොත් ඒකටත් වර්ජනය කරන්න තියෙන සූදානම තමයි මේ ප්‍රකාශ කළේ. හැබැයි මේ ඉල්ලන දීමනා දෙන්න වෙන්නේ රාජ්‍ය බදු ආදායමින් කියන එක මෙතනදි අමතක කරනවා.

දැන් මේ ආර්ථික අපහසුතා ගැන කතා කරන ජෝසප් ස්ටාලින් අර මුලින් කියපු ප්‍රකාශය කරල තමන්ගේ සහයෝගය දැක්වුවේ රජයේ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීමක්. ඒ කියන්නෙ මේ රටේ මාසික ආදායම ලක්ෂයට වඩා වැඩියෙන් උපයන අයගෙන් බදු අය කර ගන්න එපා කියල මාසෙකට ලක්ෂයටත් වඩා අඩුවෙන් පඩි ගන්න පිරිසක් පාරට බස්සවන එක තමයි ජෝසප් ස්ටාලින් මේ කළේ.

මේ වගේම වැඩක් තමයි දොස්තර මහත්තුරුත් එකතු වෙලා සිද්ධ කළේ. පහුගිය කාලය පුරාම මේ කියන දොස්තර මහත්තුරු, එහෙමත් නැත්තං රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය දවස ගානේ රූපවාහිනී නාලිකාවලට එබිල බෙරිහන් දුන්නේ “බෙහෙත් නෑ… සේලයින් නෑ… තුවාල පිහිදාන්න පුළුන් නෑ… සැත්කම් කරන්න නූල් නෑ…” වගේ කතා.

එහෙම කියපු දොස්තර මහත්තුරු මේ අලු‍ත් බදු පනතට එරෙහිව පාරට බැහැල, ලෙඞ්ඩු බිල්ලට තියල තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න උත්සාහ කරනවා. අර බෙහෙත් නැති වෙනකොට, පුළුං නැති වෙන කොට, සැත්කම් නූල් නැති වෙනකොට කම්පනයට පත් වෙච්ච දොස්තර මහත්තුරුන්ට අමතක වෙලා, බදු ගහන එකට විරුද්ධව පාරට බහින කොට අපහසුතාවයට පත් වෙන්නෙත් ඒ රෝගී ජනතාවම තමයි කියලා. බෙහෙත් ගන්න ඇවිත් වැඩවර්ජනය නිසා බෙහෙත් නැතුව ආපහු හැරිල යනකොට අපහසුතාවට පත් වෙන රෝගීන් ගැන මේ අයට කම්පනයක් නෑ. හැබැයි දොස්තර මහත්වරුන්ගේ බදු අය කරන්න එපා කියලා වැඩ වර්ජනය කරන්නෙත් රජයේ රෝහල් වලින් නොමිළයේ බෙහෙත් ගන්න එන පිරිස.

තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්නව වගේ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිතිත් මේ වර්ජකයොත් එක්ක එකතු වෙලා අසරණ රෝගීන් බිල්ලට දීලා තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න වෑයම් කරපු බවක් තමයි අපිට නං පේන්න තිබ්බේ. මේ වැඩවර්ජනයට සහය දක්වපු එක් කණිෂ්ඨ සේවකයෙක් මාධ්‍ය හමුවේ කියල තිබුණේ තමන්ගේ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා 15%කින් කප්පාදු කරල. මේකට විරෝධය දක්වල ඔවුන් වැඩවර්ජනයට සහය දක්වනව කියලයි. තමන්ට අතිකාල ගෙවන්නේ රාජ්‍ය බදු ආදායම් වලින් කියලා මෙයාල දන්නේ නෑ.

බදුවලට එරෙහිව ලොකුවටම පෙනී ඉන්න පිරිසක් තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරු. ඊයේ පෙරේදා එයාල කරපු වෘත්තීය ඉල්ලීම වල තියෙනවා අධ්‍යාපන කටයුතු වලට විදේශ ගත වෙන කොට තමන්ගේ පවුලේ සාමාජිකයනුත් අරන් යන්න ඕනය, ඒ ගුවන් ටිකට්පත් මිළ රජයෙන් දරන්න ඕන කියලා. ඒ කියන්නේ තමන් බදු ගෙවන්නේ නෑ, අනිත් වුන්ගේ බදු වලින් අපිට සහන දියව් කියන එකය.

මේ අයත් එක්ක කරට කර වැඩවර්ජනයට එකතු වෙච්ච පිරිසක් තමයි වරාය, විදුලිය, ඛනිජ තෙල් වෘත්තීය සමිති. ඇත්තටම මේ පිරිස් මේ වැඩවර්ජනය කරන්නෙ මොන අරමුණින්ද කියන එක හොඳටම පැහැදිලි වුණේ පහුගිය පළමුවැනිදා පැවතිච්ච වැඩවර්ජනය අවස්ථාවේදී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝශන් ගොරකානගේ මාධ්‍ය සාකච්ඡාවකදි කියපු කතාව ඇහුවමයි.

“අපි අත්‍යවශ්‍ය නිවේදන පිළිගන්නෙ නෑ. අත්‍යවශ්‍ය නියෝග අපි කඩනවා. අද දවසේ නෞකා අටක් වරායට සේන්දු වෙන්න තිබ්බා. ඒ වගේම නෞකා කිහිපයක් පිටවෙන්න තිබ්බා. මේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මේවට දැඩි බලපෑම් එල්ල වෙනවා. ඒ බලපෑම් හේතුකොට ගෙන නෞකා ගෙන්වන සමාගම්වලටත්, ව්‍යාපාරිකයින්ටත් අපේ කණගාටුව පළ කරනවා. වරාය වෘත්තීය සමිති 40ක්, වරාය සේවකයෝ 9,000ක් මේ ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද දවසේ කෝටි ගාණක පාඩුවක් වරායට සිද්ධ වෙනවා. අදින් පස්සෙ එළඹෙන සතිය කියල කියන්නෙ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන සතියක්”
මේ ප්‍රකාශය ඇතුළෙ තියෙන්නෙ ඇත්තටම රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී අදහසක්. එකක් තමයි ඔවුන් නීතිය පිළිපදින්නෙ නැහැ, නීතිය කඩනවා කියන තර්ජනය. මේක අතිශය බරපතල තත්වයක්. මේ අදහස් අනුව ඔවුන්ට අණ පනත්, චක්‍රලේක, නියෝග, ආයතන සංග්‍රහ, මුදල් රෙගුලාසි මේ කිසිවක් අදාල නැහැ. ඔවුන් මේවා මායිම් කරන්නෙත් නැහැ. මේ තත්වය ඉදිරියේදී කොතනින් නතර වෙයිද කියල කාටවත් කියන්න පුළුවන්කමක් නෑ.

අනික තමයි මේ වැඩවර්ජනය නිසා සිද්ධ වෙච්ච පාඩුව සම්බන්ධයෙන් තියෙන තෘප්තිය. මේ වැඩවර්ජනය හේතුවෙන් පාඩු සිද්ධ වුණේ වරාය අධිකාරියට. ඒ කියන්නේ රජයට. මේ පාඩුව දරාගන්න ඕනේ රජය මිසක් ආණ්ඩුව නෙමෙයි. රජයේ ආදායම් කියන්නේ බදු. බදු ආදායම් නැතිව මේ පාඩු පියවන්නත් බැහැ.

මේ හැමෝම මේ වෙලාවේ වැඩවර්ජනය කරන්න මූලික අදහස තමයි රජයේ බදු ප්‍රතිපත්තිය. ඔවුන් කියන විදියට නම් මේක මේ රජයේ නව බදු ප්‍රතිපත්තියක්. නමුත් හැමෝම දන්න මේ වැඩවර්ජකයෝ නොකියා මගහරින කතාව තමයි මේ බදු ක්‍රමය මීට පෙර පැවති ක්‍රමයක් කියන එක. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අත්තනෝමතික විදියට මේ බදු ක්‍රමය අහෝසි කළා. මෙයින් රජයට ලැබිය යුතු ආදායම් අහිමි වුණා. වර්තමානයේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට මේ කියන බදු කපා හැරීම තදින් බලපෑව කියන එක අපි මීට පෙර අවස්ථා ගණනාවකදී මේ පුවත්පත හරහාම තොරතුරු සමාජගත කළා. ඒ නිසා ඒ ගැන නැවත නැවත පුනරුච්ඡාරණය කරන්න දෙයක් නෑ.

මේ වැඩවර්ජනය ඇතුළෙ ගැබ් වෙලා තියෙන නරුමකම සහ මේ වෘත්තීය ක්‍රියාමාර්ග වල තියෙන පරස්පරය හෙළිදරව් කළ යුතුමයි. රජයෙන් සැපයිය යුතු පහසුකම්, වැ‍ටුප්, දීමනා,සහනාධාර, වරප්‍රසාද ගැන ඉල්ලීම කප්පරක් ඉදිරිපත් කරන අතරේම තමයි මේ වෘත්තිකයින් කියන්නේ ඒ වෙනුවෙන් රජය දරන්න ඕනෙ වැය බර වෙනුවෙන් තමන්ගෙ දායකත්වය දෙන්න බෑ කියන එක. නමුත් ඔවුන්ගේ ඉල්ලීම් රජය ඉටු කරන්න නම් වෙන කවුරු හරි බදු ගෙවලා තිබිය යුතුයි. මෙතන තියෙන්නේ තනිකරම ආත්මාර්ථකාමීත්වය. නැතිනම් නරුමකම.

ඒ වගේමයි මේ වැඩවර්ජනය තුළ ලංකාවේ දැවැන්තව පාඩු ලබන ආයතන නියෝජනය කරන පිරිස බහුල වීම. ආයතන පාඩු පිට පාඩු ලැබුවත් වාර්ෂිකව අති දැවැන්ත බෝනස් ලබා ගන්න පිරිසත් මේ පිරිසමයි. ඒ බෝනස් මුදල ගෙවීම අත්හිටුවීමටත් මේ අය විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි අතිශයින්ම පාඩු ලබන මේ ආයතන යළි ලාබ ලබන තැනට පත්කිරීම වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග වලටත් මේ අය විරුද්ධයි. විදුලි බල මණ්ඩලය ගතහොත් ඔවුන් කියන්නේ විදුලි බිල වැඩි කරන්න එපා. තමන්ගේ බෝනස්, අතිකාල ඇතුළු වෙනත් දීමනා කප්පාදු කරන්නත් එපා. ඔවුන්ගෙන් බදු අය කරගන්නත් එපා. ඒ වගේම ප්‍රතිව්‍යුහගත කරන්නත් එපා කියන එක. මේ කතාව කොයි තරම් ප්‍රායෝගිකද කියන ගැටළුව මතු වෙනවා. මේ විදියට කටයුතු කරන්න නම් නැවත වතාවක් සිදු කරන්න තියෙන එකම ක්‍රමය තමයි රාජපක්ෂ පාලනයේ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම. ඒ කියන්නේ පාඩු පියවන්නත්, ඉහළ දීමනා හා වැටුප් ගෙවන්නත්, සේවාව අඩු මිලට දෙන්නත් සමස්ථ රාජ්‍ය ආදායමම යොදවන එක, ඒ මදි නම් කොහෙන් හරි ණය ගන්න එක. දැන් ඒ දෙකම කරන්න බැරි නිසා උදේ රෑ එළි වෙනකම් සල්ලි අච්චු ගසමින් නම් රජයට මේ ඉල්ලීම් සියල්ල ඉටු කළ හැකිය. ඒත් ඊට පස්සේ වෙන දේ ගැන සිම්බාබවේ වගේ රටකින් හොඳම උදාහරණ ගත හැකිය.

කොහොම නමුත් මේ ඉල්ලිම් ඉල්ලන කිසිදු වෘත්තීය සමිතියක් තමන්ගේ සේවාවේ ගුණාත්මකභාවය වෙනුවෙන් කවදාවත් වැඩවර්ජනයක් හෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගන්නව අපි දැකල නැහැ. පාඩු පියවන විදියක් ගැන කිසිදු යෝජනාවක් ගෙනල්ල නැහැ. ආයතනය ලාභ ලබන ක්‍රමයක් ගැන යෝජනා කරල නැහැ.

හැබැයි මේ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය කියන්නෙ නිල වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කරපු රාජ්‍යයක්. වර්මානයේ රට තුළ උද්ගතවෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තියෙන එකම අවස්ථාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ෂඵත්‍) සහය ලබාගැනීම පමණයි. හැබැයි ඒක ගන්න රාජ්‍යයක් ලෙස ඉටු කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ඉටු කරනා තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය හිමි වෙන්නේ නෑ. මොකද රට අනුගමනය කළේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති. වර්මානයේ ක්‍රියාත්මක කරල තියෙන බදු ක්‍රමය සහ අනෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ බව සත්‍යයක්. නමුත් ඒ අපේ වරද නිවැරදි කර ගැනීමට දුන්නු නිර්දේශ. මේ ක්‍රමවේදයන් අනුගමනය කරනවා හැර වෙනත් විකල්ප ක්‍රමයක් ඇත්තේ නැහැ. අර්බුදයෙන් ගොඩ ඒමට මලින් පිරි සුවපහසු මාවත් නැහැ. ඒ ගමන අසීරුයි. සමස්ත ජනතාව යම් කැපකිරීමක් කළ යුතුයි. නමුත් මේ වර්ජකයින් තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා පෙන්වමින් සිටින්නේ ඔවුන් කිසිම වෙලාවක මේ අර්බුදයෙන් ගොඩ එන්න කැපකිරීම් කරන්න සූදානම් නැහැ කියන ආත්මාර්ථකාමී අදහස පමණයි.

මේ අයට අපිට කියන්න තියෙන විශේෂ නාමය තමයි “දෙබිඩ්ඩෝ” කියන නාමය. හැම තැනකදීම සියලු‍ පහසුකම්, දීමනා ඉල්ලා සිටින මේ වෘත්තිකයින් කියාගන්න පිරිස කිසිදු අවස්ථාවක ඒ වෙනුවෙන් රජය, රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් තමන්ගේ දායකත්වය දක්වන්න සූදානම් නැහැ. ඒ කියන්නේ ‘අපි ඉල්ලන දේවල් දීපල්ලා. හැබැයි අපෙන් මුකුත්ම ඉල්ල එපා‘ කියන කතාව තමයි මෙතන තියෙන්නේ.

ඉතින් ඇත්තටම මේ විදියට බැලූවහම මේ අයට කියන්න තියෙන්නෙ දෙබිඩ්ඩෝ කියල මිසක් වෙනකක් නෙමෙයි. මේ දෙබිඩ්ඩොත් එක්ක මේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් සමස්ත ජනතාව මුදවා ගන්න එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි.

රිද්ම අනුරාධ ගමගේ