පුද්ගලික භාවිතය සඳහා ගංජා නීතිගත කිරීමට ජර්මනිය නීති ගෙන එයි

0

ජර්මනිය ගංජා සම්බන්ධයෙන් සිය නීති වෙනස් කිරීමට සැලසුම් කරමින් පවති. ඒ අනුව වැඩිහිටියන්ට ගංජා ඖෂධයේ ග‍්‍රෑම් 25ක් දක්වා ළඟ තබාගැනීමට සහ පුද්ගලික භාවිතය සඳහා උපරිම වශයෙන් පැළ තුනක් වගා කිරීමට අවසර ඇත. බදාදා කැබිනට් මණ්ඩලය මෙම සැලැස්ම අනුමතකර අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබිණි.

සෞඛ්‍ය අමාත්‍ය Karl Lauterbach ඔහුගේ සැලැස්ම හඳුන්වන්නේ ”මේ දක්වා ගංජා නීතිගත කිරීමේ හොඳම උත්සාහය” ලෙසයි. ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට භාවිතය කිරීම සඳහා ගංජා සන්තකයේ තබාගැනීම මෙන්ම ප‍්‍රජා වගා සමාජ (Community Cultivation Clubs) නීත්‍යානුකූල කිරීමට ජර්මනියේ කැබිනට් මණ්ඩලය බදාදා  ඡන්දය ප‍්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය Karl Lauterbach  නිවේදනය කළේය. බර්ලිනයේ මාධ්‍ය වාර්තාකරුවන්ට තම සැලසුම් ඉදිරිපත් කරමින් Lauterbach පැවසුවේ ගිම්හාන විවේකයෙන් පසු නීතිය ෆෙඩරල් පාර්ලිමේන්තුව (Bundestag) විසින් සම්මත කර 2024 ආරම්භයේදීම බලාත්මක විය යුතු බවයි.

මෙම සැලැස්ම අනුව, ”ගංජා සමාජ” (Weed Club) වලට විනෝදාස්වාද අරමුණු සඳහා එහි සාමාජිකයින්ට ගංජා වගා කර විකිණීමට හැකි වනු ඇත. චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සමාජ ලිබරල් සභාගය විසින් යෝජනා කරන ලද පියවර දෙකක සැලැස්මේ පළමුවැන්න මෙයයි.

ගංජා නීතිගත කිරීම මගින් කළු කඩ වෙළදාම  අඩු කිරීමටත්, හානිකර නිෂ්පාදනවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අවම කිරීමටත් උපකාරී වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, සැලැස්මට විරුද්ධ වන  මධ්‍ය දක්ෂිණාංශික විපක්ෂය විශ්වාස කරන්නේ ගංජා නීතිගත කිරීම අවදානම් සහගත බවත් විශේෂඥ මතයට සහ යුරෝපීය නීතිමය බාධාවන්ට පටහැනි බවත්ය.

යෝජිත නීතිය අධිකරණ පද්ධතියට බර වැඩි කරන බව ජර්මානු විනිසුරුවන් නියෝජනය කරන සංවිධානයක් ද විශ්වාස කරයි. තෝරාගත් කලාපවල නියාමනය කරන ලද වාණිජ සැපයුම් දාම පිළිබඳ පස් අවුරුදු පරීක්ෂණයක් සමඟින් මෙම නව නීති සම්පාදනය අනුගමනය කිරීමට රජය සැලසුම් කරයි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *