දරුවන්ට පෙර විපක්ෂයට අධ්‍යාපනය ලබාදිය යුතුව තිබේ

0

පසුගිය සතියේ UNICEF ආයතනය, ශ‍්‍රී ලංකාවේ විපක්ෂයට උස්සගෙන දුවන්න මාතෘකාවක් හදා දී තිබිණි. ඒ, මෙම කලාපයේ අධ්‍යාපනයට අඩුවෙන්ම මුදල් වෙන්කරන රට ශ‍්‍රී ලංකාව බව ඔවුන්ගේ වාර්තාවක සඳහන් කිරීම නිසාය. ඒ අනුව දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස එය 2%ට ආසන්නය. සාමාන්‍යයෙන් මෙම අගය 4ත් 6ත් අතර තිබීම වියයුතු බවට මතයක් තිබේ. කොහොම නමුත් කාලාන්තරයක් මුළුල්ලේම මෙරට තත්වය 3%වත් ඉක්මවා ගිය නැත. කලාපයේ සෙසු රටවල් සම්බන්ධයෙන් වාර්තා වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ඉන්දියාව 4.5%, මාලදිවයින 5.8%, භූතානය 5.9%, නේපාලය 4.2%, ඇෆ්ඝනිස්තානය 2.9% ආදී ලෙසය. මේ අනුව කලාපයේ සෙසු රටවල වියදම් කරන විදිහට මෙරටට වඩා ඉහළ අධ්‍යාපනයක් සහ ඉහළ ප‍්‍රතිඵලයක් එම රටවල් තිබිය යුතුය. නමුත් එවැනි විශේෂ තත්වයක් ඇතැයි පෙනෙන්නට නැත.

අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප‍්‍රමාණය අනුව රටක අධ්‍යාපනයේ තත්වය මනින්නේ නම් එතැනම බරපතල වැරදීමකි. මුදල් වෙන් කළ පලියට මුදල් වියදම් කළ පලියට රටක අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට එසැවෙන්නේ නැත. එසැවුණත් එහි ප‍්‍රතිපළයක් නැත. ලංකාව දැන් තිබෙන්නේ එතැනය. අඩු වැය බරක් යෙදෙවූවද ඒ අධ්‍යාපනයේ ප‍්‍රතිපළ රටට අතපත් කරගැනීමටවත් නොහැකි තැනක තිබේ. ඊට හේතුවන වෙනත් ගැටළු තිබේ. ඒවා තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් පිටතය. ඒ හේතුවලට පිළියම් යොදන තෙක් අධ්‍යාපනයට වැය කරන තරමට ප‍්‍රතිපල අත්නොවේ.

ඒ කොහොම නමුත් ”ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමු” මැයෙන් 2021 වසරේ, ලෝක බැංකු ප‍්‍රකාශනයක මෙරට ගැන සඳහන්ව තිබුණේ මෙසේය.

”මානව සංවර්ධනය පිළිබඳ සැලකීමේදී ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ඉහළම කාර්ය සාධනය සහිත රට වන අතර, මානව සංවර්ධන පිළිබඳ අගයන් පහළ මධ්‍යම ආදායම් ලබන රටවල (ඛඵෂක්‍ි* සාමාන්‍ය අගයන්ට වඩා ඉතා ඉහළ මට්ටමක පවතියි. මෙය සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශයන් කෙරෙහි රටෙහි කැපවීම සහ දිගු කාලීනව ළඟා කරගත් ජයග‍්‍රහණයන්හි ප‍්‍රතිඵලයක් වන අතර, රට පුරා විහිදුණු පාසල් ජාලය, ප‍්‍රාථමික හා ද්විතීයික පාසල් වලට ඇතුළත් වන ඉහළ සිසුන් ගණන මෙන්ම, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් සඳහා රට පුරාම පාහේ වන පුළුල් ආවරණය මීට සාක්ෂි සපයයි. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂාව සඳහා ශ‍්‍රී ලංකාව දරණ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් කළ, කලාපයේ අනෙකුත් රට වලට මෙන්ම පහළ මධ්‍යම ආදායම ලබන සෙසු රට වලට ද වඩා අඩුවුවද, ශ‍්‍රී ලංකාව ආකර්ෂණීය ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි වී තිබේ.

ඉතිරිව පවතින මානව සංවර්ධන අභියෝගයන් කිහිපයක් මැඩපැවැත්වීමට හැකි නම් ශ‍්‍රී ලංකාවට ඵලදායිතාවයේ හා ආර්ථික වර්ධනයේ නව තලයන්ට ළඟා වෙමින් වඩාත් ඉහළ ඉලක්කයන්ට ළඟා වීමේ හැකියාව පවතියි…”

කතන්දරය දැන් පැහැදිලිය. මේ අනුව ශ‍්‍රී ලංකාව ජය ගතයුතු අනෙක් ක්ෂේත‍්‍ර කිහිපයක් ඇත. අධ්‍යාපනය නැංවීම වියයුත්තේ එම කලාප සමඟ වන සමගාමී සංවර්ධනයක් තුළිනි. එසේ නොමැතිව අධ්‍යාපනයට සියයට 6ක් නොව 60ක් වැය කළත් ප‍්‍රයෝජනයක් අත්පත් කරගැනීම ගැන සිතීමත් විකාරයකි.

ශ‍්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ බංකොලොත්භාවය දක්වා ඇදගෙන ආවේ සෑම සියළු ක්ෂෙත‍්‍රයක්ම අර්බුදයට යවමිනි. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයට කළ ප‍්‍රතිසංස්කරණයන්ට ඉඩක් නොලැබීම මත එකතැන පල්වන තත්වයක් ඇතිව තිබිණි. එසේම මෑත කාලීනව කොවිඞ් වසංගතය සමඟ මුළුමනින්ම අවුල් විය. එනමුත් එම අවුල නිසා වූ හානිය නැවත යථා තත්වයට පත්කරගැනීමේ හැකියාවද නොමැති විය. ඒ සමඟ ආර්ථික අර්බුදය විසින් එල්ල කළ පීඩනය අධ්‍යාපනයටද ඉතා අහිතකර ලෙස බලපෑවේය. එසේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වූ ගැටළු ආහාර හිඟය, ආදායම් අහිමිවීම ආදී ප‍්‍රශ්න සියල්ල එකට එකක් ගැට ගැසී අධ්‍යාපනයට බාධා කරතිබිණි. නමුත් මේ කිසි`දු ගැටළුවක් එකක් ඉවරකර අනෙකක් විසඳීමේ ක‍්‍රමයට කළ හැකි තත්වයක් දැන් නැත. නමුත් විපක්ෂ විවේචකයන් නිතරම එක් ගැටළුවක් අල්ලාගෙන ඒ විසඳීමට බලකරමින් නටන නාඩගම් නිසා එක`දු ගැටළුවක්වත් විසඳාගැනීමේ හැකියාව සීමා කරමින් තිබේ. යුනිසෙෆ් වාර්තාව අනුව දැන් විපක්ෂයට හෝ අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට හෝ අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන් කරනු! කියන සටන් පාඨ රැගෙන පාරට බැස පිස්සු කෙලීමේ හැකියාවක් තිබේ. නමුත් අධ්‍යාපනය සම්බන්ධ ඇත්ත ප‍්‍රශ්න ටික එලෙස විසඳිය නොහැක.

ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති සැලසුම වැඩපිළිවෙල සකස් වන්නේ සමස්ත පද්ධතියම අදාල කරගෙන වෙනසක් ඇතිකිරීම බව අප මීට පෙර  ඕනෑ තරම් මෙම තීරුව තුළිනුත් පෙන්වා දී ඇත. සිස්ටම් චෙන්ජ් එකක් කියන්නේ ඒකටය. තැන් තැන්වලට ඇති සිදුරුවලට පැලස්තර අලවමින් ලබාගත හැකි ප‍්‍රතිපලයක් නැති බව දශක කිහිපයක් තිස්සේ ලංකාවේ අත්දැකීම වී ඇත. ඒවායෙන් සිදුවූයේ ප‍්‍රශ්න තවදුරටත් අවුල් වියවුල් කරමින් ලෙහා ගැනීමට අපහසු ලෙස සංකීර්ණවීම පමණය. අද ප‍්‍රශ්නයේ අගක් මුලක් මැදක් සොයා ගැනීමත් අපහසුව ඇත්තේ ඒ නිසාය.

කොහොම නමුත් ජනාධිපතිවරයා රටේ ආර්ථික සංවර්ධනයට සමගාමීව සහ අනාගත අභියෝග ජය ගැනීම ඉලක්ක කරගත්, නවීන අධ්‍යාපන ක‍්‍රමයක් නංවාලීම වෙනුවෙන් ගත යුතු ප‍්‍රතිසංස්කරණ ගැන කිහිපවතාවක්ම යෝජනාකර ඇත. ඇතැම් පියවරයන් ක‍්‍රියාවට නංවා ඇත. පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඔහු මාතර රාහුල විද්‍යාලයේ උත්සව සභාවක් අමතමින් පැවැසූවේ,

”මම ජනාධිපතිවරයා ලෙස සෑම විටම විශ්වාස කරන්නේ රටේ තරුණ පරපුරට ලබාදිය හැකි හොඳම තිළිණය අධ්‍යාපනය කියලයි.

අපි 21 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් රටේ දරු පරපුරට තිළිණ කළ යුතුයි. රජය අද කටයුතු කරන්නේ 2048 සහ ඉන් ඉදිරිය ඉලක්ක කරගනිමින්. ඒ සමඟම 2035 වන විට රට තුළ හොඳ අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඊළග වසර දෙක තුන තුළදී නව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් අපි මුදල් යෙදවිය යුතුයි. ඉන්පසුව අපට ලැබෙන මුදල්වලින් විශාල කොටසක් අධ්‍යාපන නවීකරණ වැඩසටහන් සඳහා යෙදවීමට අපි අපේක්ෂා කරනවා. මොකද අපේ රටට තිබෙන එකම ජාතික සම්පත මේ තරුණ පිරිසයි. ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදී අනාගතය ගොඩනඟා දිය යුතුයි.

රටේ අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට හෝ බාධා කිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය නම් අපි ඒ සඳහා නීති ගෙන එනවා. මේ රටේ අනාගතය තීරණය කරන්නේ අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපන ක‍්‍රමවේදයක් ඇති කළහොත් අපේ රට ඉන්දියන් සාගරයේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකියි.

ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා සහ මම සාකච්ඡා කර අධ්‍යාපනය පිළිබඳ කැබිනට් කමිටුවක් පසුගිය අපේ‍්‍රල් 24 වැනි දින කැබිනට් මණ්ඩලයේ දී පත්කර ගත්තා. මමත්, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් එහි සිටිනවා.

ජාතික අධ්‍යාපන කොමිෂමෙන් අපිට වාර්තා ලබා දී තිබෙනවා. ඒවායේ හොඳ කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාරක සභා ඇතුළු අංශ ගණනාවකින් අපිට වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අපේ අරමුණ කරා ගමන් කරන්නේ කෙසේද යන්න අපි සොයා බැලිය යුතුයි.

2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලූ‍තින් ඇවිත් තිබෙන ක්‍ය්එඨඡඔ තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක‍්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රිය ක‍්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළ යුතුව තිබෙනවා.

අපේ රටේ දරුවෙක් අද වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි. අද ලෝකයේ සාර්ථකම අධ්‍යාපන ක‍්‍රමය තිබෙන රට අමෙරිකාව. එහි සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග නැහැ. සැට් විභාගයයි, පාසල් වාර්තාවයි තමයි සලකා බලන්නේ. අපිත් එතනට යා යුතුයි. එසේම නව විෂයයන් හඳුන්වා දිය යුතුයි.

අද රූපවාහිනියෙන් පමණක් නොවෙයි අතේ තිබෙන ජංගම දුරකථනයෙනුත් අධ්‍යාපනය ලබා ගත හැකියි. මේ සියල්ල වෙනස් වෙනවා. සියලූ‍ සිසුන් කලා විෂයයක් හැදෑරිය යුතුයි. ඉතිහාසය, භූගෝලය, සාහිත්‍ය දැනගත යුතුයි. ඒ වගේම විද්‍යා විෂයයන් පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි.

ඊළග වසර 10 වන විට සෑම පාසලකම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්විය යුතුයි. ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමේ දී ඉංග‍්‍රීසි අනිවාර්යය කිරීමට අපි කටයුතු කරනවා. උසස් පෙළ පැවැත්වෙන සියලූ‍ පාසල අන්තර්ජාලය සම`ග එක් කිරීමට දැනට අපි කටයුතු කර තිබෙන අතර පසුව සාමාන්‍ය පෙළ පාසල් දක්වා එය ව්‍යාප්ත කරනවා.

වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය යොවුන් සේනාංකය වැනි ආයතන ඒකාබද්ධකර වෘත්තීය පාසල් බවට පත්කර එම සිසුන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්වවිද්‍යාල පමණක් නොවෙයි, රජයේ නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවශ්‍ය අයට පළමු වසරදෙක තුනේදී පොලී රහිතව සහනදායි කොන්දේසි මත ණය ලබාදීම වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

රට ඉදිරියට ගෙන යාමේ දී ඉංජිනේරුවන් සංඛ්‍යාව ඉහළ නංවා ගත යුතුයි. අද වාර්ෂික පිට වන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. අපේ ඉලක්කය පළමු අදියරේදී එය 10,000ක් බවට පත්කර ගැනීමයි. අද වෛද්‍යවරුන් පිට වන්නේ 1500යි. එය 5,000ක් බවට පත්කළ යුතුයි. ඒ නිසා තරුණ තරුණියන්ට රුකියාවක නිරත වන අතරම උසස් අධ්‍යාපනයේ නිරත විය හැකි අන්දමින් නව විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ආයතනවලින් මෙම කටයුතු සඳහා සහාය ලබාගනිමින් නව ක‍්‍රමවේදයක් ඇතිකිරීම සදහා අපි සැලසුම් කරතිබෙනවා. ඒ ක‍්‍රමවේදය සම`ග රට දියුණු වෙනවා වගේම අනාගතයට මුහුණ දිය හැකි ශක්තිමත් අධ්‍යාපනයක් ගොඩනැගීමට හැකි වෙනවා…”

ජනාධිපතිවරයාගේ දැක්ම පැහැදිලිය. එමෙන්ම පසුගිය 17 වෙනිදා නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවැති උත්සවයකදී තවදුරටත් මෙම කරුණු පෙන්වා දුන් අතර ”මේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක‍්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කරගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක‍්‍රමයක් ඇතිකර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”‍ යැයි යළි අවධාරණය කළේය.

එහෙත් මේවා ජනාධිපතිවරයාට තනියෙම කළ හැකි වැඩ නොවේ. රටේ සියළු දේශපාලන පක්ෂවල, රාජ්‍ය නිලධාරීන්ගේ සහ ජනතාවගේ සහය අත්‍යාවශ්‍යය. ජනාධිපතිවරයා මේ වෙනුවෙන් සියළු දෙනාම එකාවන්ව එකතුවිය යුතු බව නිරන්තරයෙන් පැවැසූවත් විශේෂයෙන්ම විපක්ෂ දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටින්නේ මේ වැඩකටයුතු කඩාකප්පල් කරමින් රට ආගාධයටම වැටෙන තැනට තල්ලූ‍ කිරීමටය. රජය මෙතෙක් ගත් එක`දු පියවරකට සහය දුන්නේ නැති බව අවධාරණය කළ යුතුය. නමුත් ඒ බාධා නොතකා වැඩකිරීම තුළින් අද රටේ ජනතාවට යළි නැඟීසිටීමේ හැකියාව ඇති වෙමින් තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මත අද වන විට පුද්ගලිකව විපක්ෂයේ බොහෝ මන්ත‍්‍රීවරුවරු ජනපතිගේ වැඩපිළිිවෙල සමඟ එකඟව ඊට සහය දෙන තැනක සිටී. නමුත් පක්ෂ නායකයන්ගේ තිබෙන උද්ධච්ජකම, බලලෝබය හෝ වෙනත් පුද්ගලික එදිරිවාදිකම් මත කිසිදු පැහැදිලි සාධාරණ හේතුවක් තර්කයක් නොමැතිව සියළු දෙයට විරුද්ධයි විරුද්ධයි කියන්න ඉක්මන් වීම තුළ මෙම මන්ත‍්‍රීන්ට හෝ සිය හෘද සාක්ෂිය අනුව සහ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව නැතිකර තිබේ. එහෙත් පසුගියදා සජබයේ ඉහළ ක‍්‍රියාකාරිත්වයක් පෙන්නව මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න, රනිල් සහ සජිත් එක්විය යුතු බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ රටේ ඇත්ත තත්වයත් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලහිත් සාර්ථකත්වය අත්විදිමින් එය අවබෝධ කරගැනීම තුළය. තවදුරටත් බෙදී වෙන්වී සිටීම තුළ රටට ලබාගත හැකි ජයග‍්‍රහණයන් සීමාවන බව ඇයට වැටහීමක් තිබේ. නමුත් මෙයින් පරළ වු සජිත් පේ‍්‍රමදාස ඊට පසුදිනක විපක්ෂ පක්ෂ රැස්කර කෑමොර දුන්නේ කිසිසේත්ම ජනාධිපතිවරයාට සහය නොදෙනවා කියමිනි. එහිදි වැල්වටාරම් තොගයක් ඇද බෑවද ඒ කිසිවක්, කිසිවකුට තේරුම්ගත හැකි තත්වයක තිබුණේත් නැත. ජනාධිපතිවරයාට හෝ රජයට විරුද්ධ වියයුත්තේ කවර හේතුවක් මතද යන්නවත් සාධාරණ පැහැදිලි කිරිමක් කිරීමට ඔහු අපොහොසත්ව තිබිණි. එතරම්ම විහිළු සහගත බංකොලොත් තත්වයකට ඔහු ඇද වැටී තිබිණි. එමෙන්ම තමන්ගේ හිතෛශින් කිහිපදෙනෙකු ලවා රොහිණි කවිරත්ත මන්ත‍්‍රිවරියට මඩ ගැසීමට අවලාද අපහාස කිරීමටද පියවරගෙන තිබුණේ මන්ත‍්‍රීවරිය පවසා සිටි දේ ගැන කිසිදු වගවිභාගයක් නැතිවය. තමන්ගේම කඳවුරේ අයකුගේ වෙනස් අදහසක් ගැන සාකච්ඡාවටවත් සුදානම් නැති උද්ධච්ඡ, මුග්ධභාවයක් ඇති සජිත් වැන්නකුට තවදුරටත් පක්ෂපාත වියහැක්කේ එවැනිම මුග්ධයන්ට පමණක් බව ඔහු විසින්ම පෙන්වාදීම මේ අනුව සිදු කර ඇත. මේ තත්වයන් වෙනස් කරන්න නම් මේ අයට අධ්‍යාපනයක් ලබාදීම මූලිකව සිදු විය යුත්තක් බවද පෙනෙන්නට තිබේ.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *