පරණ අවතාර යළි කැඳවන වියත් කියත්

0

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනිකව භෞතීස්ම කරන වැඬේට බැහැලම හිටපු නඩ කිහිපයක්ම විය. වියත්මග, එළිය, ජාතික සංවිධාන එකමුතුව ඇතුළු නම් රැසකින් ඒ හරහා මැදිහත්වීම් සිදු කෙරිණි. එහිදී මූලික සටන් පාඨය වූයේ ජාතික ආරක්ෂාව අනතුරේ බැවින් රට, ජාතිය ආගම රකින විරුවෙකුගේ දේශපාලන ආගමනය ය. ඒ සටන් පාඨය පෙරමුණේ තැබුවන් රට වටා කතා සාප්පු විවර කර සිටියේ සම්ප‍්‍රදායික දේශපාලනය වෙනස් කරන, රට වියත්, දේශපේ‍්‍රමී, දේශමාමක පාලකයෙකු හරහා සුඛිත මුදිත කරන ආකාරය ගැන කියමින්ය. රට ජාතිය ආගම සියල්ලට පෙරමුණේ තබමින් ගහපු වචන තොරණ මෙතෙක් යැයි කිව නොහැක. එම ව්‍යාපෘතිය තීරණාත්මක ලක්ෂයක් වෙත පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරමින්ය. ඒ සඳහා ලැබුණු ජනවරම ලක්ෂ 69ක් ය. ඒ ජනවරම සින්නක්කරව ලියාගත් මේ පිරිසෙන් සැළකිය යුතු පිරිසක් පසුව පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු පැමිණියේ දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවල ද අංක එකට පැමිණෙමින් ය. එයින්ද පිරිසක් කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් බවටද පත්වූහ.

රටේ තාරුණ්‍යය බිත්ති හොය හොයා චිත‍්‍ර අඳින්න ගත්තේ, විරුවත් වියතුනුත් හදන රට ලස්සනට තිබිය යුතු බව පවසමින්ය. මේ ආකාරයට 69 ලක්ෂයක් මාරම රටක් ගැන සිහින දකින පසුබිමේ පාර්ලිමේන්තු පැමිණි, නොපැමිණි වියතුන් කියත් අතට ගත්තේ, එකී පාලනය ගන්නා අදුරදර්ශී, වැරදි දේශපාලන ආර්ථික තීන්දු තීරණවලට එරෙහිව අදහස් සුන් කිරීමටය. එකී වැරදි අදුරදර්ශී තීන්දු තීරණ රට ජාතිය ආගම රකින ”‍මාරම තීන්දු”‍ බව සමාජය හමුවේ තහවුරු කිරීමද මේ වියත් කියත්වල කාර්ය භාර්යය විය. රාජ්‍ය ආදායම නැත්තටම නැති කරන තැනට වැඩ සිද්ධ කළ වැට් බදු සංශෝධනය, රසායනික පොහොර තහනම, කාබනික වගා නාඩගම, අත්තනෝමතික මුදල් අච්චු ගැසීම, ඩොලරයේ අගය පවත්වාගෙන යාමට විදේශ සංචිත නාස්ති කිරීම, සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම කියන්නේ ඒ ගැන වන ප‍්‍රසිද්ධ නමුත් අවාසනාවන්ත මතකයන් කිහිපයක් පමණය.

කොහොම නමුත් මේ ”‍මාර”‍යි කියූ තීන්දු තීරණ කොච්චර නම් මාරාන්තිකද යන්න කාට කාටත් දැනගන්න ලැබුණේ කාලයක් ගතවෙලාය. රසායනික පොහොර තහනම මෙරට කෘෂිකර්මාන්තය උස්සා පොළවේ ගැසුවක්ම වුවත් මේ වියත් කියත්, ඒ කිසිවක් තැකුවේ නැත. ඔවුන් දිගින් දිගටම සිදුකළේ රසායනික යෙදවුම්වල අහිතකර බව මෙන්ම කාබනික වගාවේ හිතකර බව ගැන දේශනා පැවැත්වීමය. නමුත් සීමාව ඉක්මවා ගිය තැන, කයිවාරු නැතුව කුමන හෝ පොහොරක් ඉල්ලා පළමුව පාරට බැස්සේ ගොවීන් ය. දරුණු සාගත තත්වයක් ඇතිවීමක් ගැන ජාත්‍යන්තරව පවා අනතුරු ඇඟවීම් සිදුවුවත් මේ වියත් කියත් ඒ කිසිවක් මායිම් කළේ නැත. ඔය අතරේ රට තුළ පෝලිම් යුගයක්ද ඇතිවිය. විදුලි කප්පාදුව පැය 12 ඉක්මවා යන තැනට පැමිණි අතර එය ඒ වන විටත් කොරෝනා නිසා අර්බුදයට ගිය කර්මාන්ත වෙත වැදුණු මරු පහරක් විය. නමුත් වියත් කියත්වල ඊනියා කකියන ලේවලට මේ කිසිවක් සංවේදී වුයේ නැත. පීඩනය දරාගන්න නොහැකිම තැන, කවදාවත් නැති ආකාරයට රටේ මධ්‍යම පන්තිය ද පාරට බැස්සේය. ඒ පාරට බැහිල්ල අවසන් වුණේ රට බේරගන්න කියා පැමිණි ජනාධිපති ගෝඨාභයට තමන්ගේ පණ බේරගන්න රටින් පිටවීමට බලකෙරෙමින්ය.

 එක් පසෙකින් ආර්ථික අර්බුදය උග‍්‍රව, අනෙක් පසින් අරගලය ප‍්‍රචණ්ඩව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත රට ඇද වැටෙමින් තිබූ ඒ අවස්ථාවේ නම් මේ වියත් කියත් රට ජාතිය ආගම රකින්න සිටින ජනතාව අනතුරේ කියා පෙරට ආවේ නැත.

ඒ වෙනුවට සිදුවූයේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටි වියත් කියත් නම් ඔලූ‍ව පොළවේ ඔබාගෙන සැඟවිණ. පාර්ලිමේන්තුව ඇතුළේ සිටි වියත් කියත් ද ස්වාධීන වෙස් ගෙන රාජපක්ෂ කඳවුර අත්හැරියේ, ගිලෙන්න යන නැවෙන් පළමුව පනින මීයන් සිහිකරමින්ය. ආර්ථික අර්බුදයත්, සාමකාමී අරගලයත්, අනතුරුව පැමිණි ප‍්‍රචණ්ඩ සහ අරාජික දේශපාලන තත්වයත් විසින් මේ වියත් කියත් ඊට හිමි නියම තැන තැබිණ. එනම් ඉතිහාසයේ කුණු බක්කියටම තල්ලූ‍ කර දැමුණි.

සැබවින්ම ජාතික සමඟිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංවර්ධනය සහ නොබැඳි විදෙස් ප‍්‍රතිපත්තියක් මත ගොඩනැගිය යුතු නූතන රාජ්‍යය, ඉතිහාසයේ මළ කෑ ශාපයන්ගේ ග‍්‍රහණයට නතුකරේ මේ වියත් කියත් ය. ඔවුන් කැපූ මාවතේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අඝාදයට වැටෙන්න දී ජනතාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අන්තරාවෙන් ගලවා ගන්න ඉදිරිපත් නොවීම ගැන පිටවූ සමාජ ප‍්‍රතිචාරය නම් ඉතිහාසයේ කුණු බක්කිය පවා උන්ට හොඳ වැඩි බවය.

එදා ජනතාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අන්තරාවෙන් ගලවා ගන්න ඉදිරිපත් වු එකම නායකයා වූයේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ය. ඒ පාර්ලිමේන්තුවේ සිටි තනි මන්ත‍්‍රීවරයෙක් ලෙසය. ඔහුට තිබුණු එකම බලය වූයේ, වැටුණු රට ගොඩනගන දැක්ම සහ වැඩපිළිවෙල පමණය. තම ඓතිහාසික ප‍්‍රතිවාදී කඳවුරේ සහය ගෙන වසරක් වැනි කෙටි කලක් තුළ රට දෙපයින් සිටුවීමට ඔහු දැක්වූ සමර්ථභාවය කියා පාන්නේ ඒ අවියේ තිබු බලගතු බවය. එහි වූ නිවැරදි බවය. මේ ගෙවෙන්නේ ඒ ගැන ජීවමාන සාක්ෂි දරන සමයක් ය. මේ යුගයේ වගකීම වියයුතුව තිබෙන්නේ තවදුරටත් අතීතයේ සොහොන්වල සිරවී සිටීම නොව නව ලොවක් ගොඩනැගීම වෙනුවෙන් ගෙන යන ක‍්‍රියාවලිය සමඟ එක්ව කටයුතු කිරීමය. ශාපලත් මේ බිම ආශීර්වාදලත් දේශයක් කරන මල් වට්ටියට විවේචන සහිතව වුවත් අතගැසීමය.

එවැනි පසුබිමක වුවත් දැන් නැවතත් වියත් කියත්වල කෙරුවාද සිහිපත් කරනට සිදුව ඇත. රට ජාතිය ආගම අනතුරේ කියාගෙන පැරණි අවතාර යළි කැඳවීමේ උත්සාහයක නිරත වන බවක් පෙන්නුම් කරන නිසාය. මේ ශාපලත් වියත් කියත් යළි නැගිටීමේ උත්සාහයේ නිමිත්ත නම් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ජාතික සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දරන ප‍්‍රයත්නය කඩාකප්පල් කිරීමය.

මේ මොහොතේ කවුරු බලයට පත්වූවද ඒ කාට වුවත් අනිවාර්යයෙන් සිදුකළ යුතුම කර්තව්‍යයක් ඇත. ඒ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගන අතර ජාතික සංහිඳියාව ඇතිකර ගැනීමය. පසුගිය වසරේ කන්න බොන්නවත් නැති රටක මොන සංහිඳියාවක් ද කියා කීමට අවස්ථාවක් පැවතියත්, දෙපයින් නැගී සිටි මේ පසුබිමේ ඒවා තවදුරටත් උත්තර නොවේය. ඒ මෙරට දේශපාලනය සංවිධානය වන්නේ, තවදුරටත් ජාතික දේශසීමා තුළ පමණක්ම නොවන නිසාය. පසුගිය අර්බුදය විසින් එය  ඕනෑවටත් වඩා තහවුරු කර සිටියේය. එසේ තිබියදී පවා මේ ජාතිවාදී ආගම්වාදී වියත් කියත් කියන්නේ කුමක්ද?

ඔවුන්ට අනුව, 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම රටේ ස්වාධිපත්‍ය අහිමි කිරීමක්ය. බෙදුම්වාදය ශක්තිමත් කිරීමක්ය. ජාතික සංහිඳියාව ඇති කිරීමට අදාළ කිසිම ප‍්‍රයත්නයක් ගැනීමට වත්මන් ජනපති රනිල් වික‍්‍රමසිංහට කිසිම ජනවරමක් නැත. සැබවින්ම මේ ඔවුන් කාලයක් තිස්සේ වැයූ ශාපලත් මරණීය වීණාවම නොවේද? රටට ඩොලර් මිලියන හාරසිය ගණනක ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඵක්‍ක්‍ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ හොත් අටමස්ථානය වඳින්න යන්න ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම් කිරීමට සිදුවන බවට කී කතාවම නොවේද? වඳ කොත්තු, වඳ බ‍්‍රා, වඳ සැත්කම් ගැන කී පැරණි ප‍්‍රලාපයන්ගේ ප‍්‍රති දෝංකාරයක් නොවේද?

කවදත් සමාජය ඉරූ වියත් කියත් ආයෙත් කොහොම පන්නරය තැබුණත්, 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම පළාත් සභා ක‍්‍රමය මෙරට දේශපාලන ක‍්‍රමයෙන් කොහෙත්ම ඉවත්කළ හැක්කක් නොවේය. එසේම 13 වන සංශෝධනය බලාත්මක නොකර එය මේ තිබෙන තත්වයට තවදුරටත් පවත්වා ගෙන යාමද අර්ථ විරහිතය. ඒ පළාත් සභා හරහා අපේක්ෂිත ප‍්‍රතිඵලය මේ පවතින තත්වය හරහා නොලැබෙන නිසාය. 2017 දී උතුරු නැගෙනහිර නොවන සෙසු පළාත් සභා 7 හිම ප‍්‍රධාන අමාත්‍යවරුන් පළාත් සභා සඳහා මීට වඩා බලය බෙදීමක්, එනම් 13 හරහා ප‍්‍රකාශිත බලය පැවරීමවත් සිදුකරන ලෙසත්, නොඑසේ නම් පළාත් සභාවලින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙන බවත් පැහැදිළිව සඳහන් කර සිටියේද ඒ නිසාය. ඒ අනුව 13 බලාත්මක කිරීම සහ මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ බලතල පැහැදිළිව දැක්වීම යන්න උතුරේ හෝ නැගෙනහිරට හුදෙකලා යෝජනාවක් නොවේය. සැබවින්ම මෙහිදී උතුරු නැගෙනහිර 13 බලාත්මක කිරීම ඉල්ලා සිටින්නේ එය එම ජනතාවගේ දේශපාලන ගැටලූ‍ව විසඳීම පිණිස ඉදිරිපත් කළ ඓතිහාසික රැවටිල්ලක්, නැතිනම් කඩවුණු පොරොන්දුවක් ලෙස මේ මොහොතේ පවතින නිසාය. එසේ නම් ජාතික සංහිඳියාව ඇතිකිරීමට දරන ප‍්‍රයත්නය තුළ 13 බලාත්මක කිරීම යන්න දමිළ ජනතාවගේ හදවත් දිනා ගැනීමක් මිස ඊට වඩා දෙයක් නොවේය. 13 බලාත්මක කිරීම හරහා බලය බෙදීම නිසි ආකාරයට සිදුවුවහොත් පළාත් සභා ඇතිකිරීම ප‍්‍රතිඵලදායි වන අතර එහි ප‍්‍රයෝජනය මිලියන 22ක ජනතාව ජීවත්වන පළාත් හතටමය.

වියත් කියත් විසින් පැරණි අවතාර යළි කැඳවීමට යන්නේ ඒ සත්‍ය වසං කරන්නටය. ඒ වෙනුවෙන් වන ඔවුන්ගේ යෝජනාව වන්නේ, ”‍දැන් ඔය කවුරු කවුරුත් පොදුවේ අත්විඳි ආර්ථික අර්බුදයෙන් පණ ගසා නැගිටිමින් ඇති බැවින්, මේ රටේ යළිත් ජාතිකත්ව, ආගමිකත්ව පසමිතුරුතාවට මුල්තැන දෙන්න”‍ යන්න නොවේද? වැටුණු තැනින් නැගීසිට වැරදි පාරේම ඉදිරියට යන්න කියා නොවේද? ශිෂ්ට සම්පන්න රටක පුරවැසියන්වීම වෙනුවට ගෝත‍්‍රික දේශයක බලවත් ගෝත‍්‍රයක් දක්වා නැවත පසුබසින්න කියා නොවේද? මෙය අද දරන අලූ‍ත් උත්සාහයක් නොවන අතර සමාජය ජාතිවාදයෙන් ආගම්වාදයෙන් අන්තවාදයෙන් ඉරාදැමුණු කොයි කියතත් ඉදිරිපත් කළ යෝජනාවය. මේවායේ ඇත්තේ වචන රචනා කරන ආකාරයේ වෙනස පමණය. ශිෂ්ඨ මිනිසුන්ගේ සිතට වඩා ම්ලේච්චයන්ගේ සිතට අදහස් ආරුඪ කළ විට, ඉන් ඔවුන්ට ලෙඩරෝග ඇති කිරීමට මෙන්ම, ඔවුන්ගේම ක‍්‍රමයට සුවපත් කිරීමටද පහසු බව ඉතිහාසය පුරා උන් අත්හදා බලා සාර්ථක කරගත්තක් ය.

එදා සහ මෙදා අතර දැනට ඇති වෙනස නම්, අර්බුදය සහ අරගලය විසින් ඔවුන් එක්සත් කළ කඳවුර අහිමිව යාම පමණය. නිදසුනක් ලෙස එදා වියත්මග හදා 69 ලක්ෂයේ ජනවරමේ නියමුවා කෙසේ වුවත් රට බංකොලොත් කළ ආණ්ඩුවේ ප‍්‍රධාන උපදේශකයා වූ නාලක ගොඩහේවා අද විපක්ෂ නායක සජිත්ගේ උපදේශකයා වී ඇත. ඒ සජිත්‍ට ඇති ආදරේකටද නැත්නම් පසුගිය අවස්ථාවේ මෙන් අවසන් මොහොතේ සජිත් නන්නත්තාර කර ඩලස්ට අපේක්ෂකත්වය අරගෙන දෙන්න දැයි අප දන්නේ නැත. අපට එය අදාලත් නැත.

අප පෙන්නුවේ එකම එක වියත් කියතක වත්මන් හැසිරීම පමණය. ඔය වැනි වියත් කියත් ගණනාවක්ම මේ මොහොතේ වැඩය. එය දකුණේ සමාජයට පමණක් සීමා වී නැති අතර උතුරට අදාළව ද ක‍්‍රියාත්මක ය. ඊට කදිම නිදර්ශනය ලෙස එම්. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා අප හමුවේ සිටින අතර ඔහු කරන කියන දේ ගැන සැලකිල්ලට ගැනීම වැදගත් ය. මන්ද 13 බලාත්මක කර ජාතික සංහිඳියාව වෙනුවෙන් වන ප‍්‍රයත්නය සාර්ථක කර ගෙන ඉදිරියට යාම තුළ එවැන්නන්ගේ දේශපාලනය ද අර්බුදයට යන නිසාය. සමාජය ශිෂ්ට කරන, ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න විසඳන කළ මේ කාටත් එක වේදිකාවක තම තමන්ගේ රංගන ඉදිරිපත් කිරීමට සිදුවීම අනිවාර්යයක් ය. බලන්න ජාතික සංහිඳියාව වෙනුවෙන් දැරෙන ප‍්‍රයත්නය සමග පවා ඔවුන්ට ඇති ක්‍රෝධය! තුවාලය ජීවිකාව කරගත් කවුරුත් ප‍්‍රතිකාරයට පෙම් බැඳලා නැත.

කල්ප අනුත්තර ලියනගේ         

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *