දේශපාලඥයෝ අතීතයෙන් වර්තමානයට ගේන්න ඕන

0

I am doing well

ජනපති රනිල් ගෙවුනු සතිය ආරම්භ කළේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වෙනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි. උත්සවය අවසන් කර දරුවන් වෙත එනවිට ජනපති ඉදිරියට කිසි`දු චකිතයකින් තොරව පැමිණි කුඩා සිසුවෙකු ඉංග‍්‍රිසි බසින් සෘජුව විමසා සිටියේ How are you sir? කියාය.

ජනපතිද I am doing well ලෙස ඊට පිළිතුරු දෙමින් ඇරඹි සංවාදය එම සිසුවාගේ අනාගත බලාපොරොත්තුව දක්වාම විහිද ගියේය. සිසුවා අනාගතයේ විද්‍යාඥයෙකු වන බව පැවසීමත් සමඟ ජනපති ද ඊට අවශ්‍ය වටපිටාව ගැන පැහැදිලි කර දුන්නේය.

දරුවන් සමඟ සුහඳ පිළිසදරක නිරතවීමට ද අමතක නොකළ ජනපති රනිල් එහි ගුරුවරුන්, ආදි සිසුන් මෙන්ම ශිෂ්‍ය ප‍්‍රධානීන් සමඟ ද සමූහ ඡයාරූපවලට ද පෙනී සිටියෝය. මෙම කතා බහ ඒ අසල සිටි විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අසා සිටි අතර දරුවාගේ එඩිතර භාවයත් ජනපතිගේ සරල භාවයත් ගැන ඔහු අසල සිටියවුන් සමඟ කතා කළේ ජනපති උත්සව භූමියෙන් පිටත්වූ පසුවය.

 කොළඹ පැමිණි ජනපති තවත් සාකච්ඡාවන් කිහිපයකට එක්වූවේය. එදින ජනපති රනිල් විදේශ ඇමති අලි සබි‍්‍ර ඇතුළු විදේශ අමාත්‍යාංශ නිලධාරීන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක සමඟ ආරක්ෂක අමාත්‍යංශය වෙත ගියේ විදේශ ප‍්‍රත්පත්තිය සකස් කිරීම ගැන සාකච්ඡාවකට එක්වීමටය. මෙහිදි නව විදේශ ප‍්‍රතිපත්තිය ගැන සාකච්ඡා කළ අතර හැකි ඉක්මණින් එය සකස් කොට අවසන් කරන ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉන්දියාවට හා චීනයට නව තානාපතිවරුන් පත් කිරීම ගැන ද මෙහිදි සාකච්ඡා වූ අතර ජනපති කීවේ තමන් සමඟ සෘජු සබඳතා පැවැත්විය හැකි විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයන් ඊට පත් කරන බවය.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස් ලෙස විදේශ සේවයේ දක්ෂ නිලධාරිනියක වූ ෂෙනුකා සෙනවිරත්න පත් කිරීමට තීන්දු වූ අතර චිනයේ නව තානාපති ලෙස විදේශ සේවයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට ද තීන්දු විනි.

වෙනදා ස`දුදා සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුව මෙවර පැවැතියේ එදින පෙරවරුවේය.

ජාතික රූපවාහිනියේ ”අයි නාලිකාව” පෞද්ගලික අංශයට බදුදීම ගැන සාකච්ඡාවක් ඇදී ආ අතර බහුතරයකගේ විරොධය හමුවේ එය අවසන් වූවේ නැවත සංශෝධිත කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමිනි.

මරදමඩු මංගල්‍යයේ වෙනසක්

එදින සවස අනුරාධපුරයට ගිය ජනපති පසුදා පෙරවරුවේ මන්නාරමේ මඩු දේවස්ථානය වෙත ගියේ වාර්ෂික මඩු මංගල්‍යයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමටය. දෙවස්ථානයේ පියතුමන්ලා මෙන්ම වතිකානුවේ තානාපති පියතුමන්ද ජනපතිගේ පැමිණීම අගය කළ අතර විශාල ජනකායක් උත්සව භූමියට රැස්ව සිටියහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක මෙන්ම කතෝලික මැති ඇමතිවරු රැසක් සමඟ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයේ සමාරම්භක උත්සවයට රනිල් වික‍්‍රමසිංහ සහභාගී වූ පළමු අවස්ථාව මෙය නොවීය. ඔහු අගමැති පදවිය දරද්දී මෙන්ම විපක්ෂ නායක ලෙස සිටියදී ද මරදමඩු මංගල්‍යයට සහභාගී වූවේය. රනිල් වික‍්‍රමසිංහ හා මරදමඩු දේවස්ථානය අතර සම්බන්ධය ගොඩ නැගෙන්නේ අභාවප‍්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා හරහාය.

එදවස ඇතිවූ සම්බන්ධය වර්තමානය දක්වාම ගෙන එමින් මෙවර මරදමඩු මංගල්‍යයේ සමාරම්භක උත්සවයට ජනපති රනිල්ට ද ආරාධනා ලැබුණේය. ආරාධනා ලැබුවා පමණක් නොව ඉතිහාසයේ පළමු වතාවට මරදමඩු මංගල්‍යයකදි ජනපතිට කතාවක් කිරීමට ද අවස්ථාව හිමිවූවේය.

ඉන් නොනැවති ශ‍්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ‍්‍රයන් උඩයිග්වේ හිමියන් ජනපති කරනා සේවය අගය කරමින් අපූරු කතාවක් ද මෙහිදි පැවැත්වූහ. මන්නරාම බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරනා ආකාරය ගැන ජනපති ද පැහැදිලි කිරීමක් කළේ පැමිණ සිටි ජනතාවගේ සිතට බලාපොරොත්තුවක් ඇති කරමිනි.

මරදමඩු මංගල්‍යය අවසන් කොට ජනපති රනිල් කොළඹ පැමිණියේ එදින සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමට

සහභාගීවීමටය. පක්ෂ සම්මේලනයට අදාළව සාකච්ඡාව පැවැති අතර සම්මේලන කමිටුව ස`දුදා රැස්වී කළ සාකච්ඡාවේ විස්තර එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක ඉදිරිපත් කළේය.

එජාප සම්මේලනය ජයටම

ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් සම්මේලනය පවත්වන ආකාරය ගැන දීර්ඝ විස්තරයක් ජනපති හමුවේ තැබුවේය. අනාගත ශ‍්‍රී ලංකාව සැවොම එක්ව ගෙන ආ යුතු තැන පිළිබිඹු වන ආකාරයට වේදිකාව හා සම්මේලන භූමිය සකස් කරන බවද ඔහු ජනපති හමුවේ පෙන්වා දුන්නේය.

මෙහිදි ජනපති උපදෙස් දෙනු ලැබූවේ අවුරුදු පහෙන් පහට ලංකාව ක‍්‍රමයෙන් දියුණුව කරා ලගාවන ආකාරය ද පෙන්වා දෙන ලෙසටය. අවසානයේ පක්ෂ සම්මේලනය ලබන සැප්තැම්බර් 10 දා සවස ලේක්හවුස් ආයතන ඉදිරියේ පවතින භුමියේ පැවැත්වීමට තීන්දු කෙරිනි. එක්සත් ජාතික පක්ෂයට උසස් නිලතල මණ්ඩලයක් (High Post Committee) පත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගැන ද මෙහිදි සාකච්ඡා විනි.

මහලේකම් රංගේ බණ්ඩාර විසින් බලමණ්ඩල ගැන වාර්තාවක් පක්ෂ නායක ජනපති රනිල් වෙත ඉදිරිපත් කළේය. මේ සතිය වන විට රටපුරා බල මණ්ඩල 147 ක් පවත්වා අවසන් වන අතර 13ක් පැවැත්වීමට නොහැකි තත්ත්වයේ පසුවන බව වාර්තාව මගින් පෙන්වා දුන්නේය.

ඒ අතර කොළඹ ආසන 2ක්, උතුරේ 5ක්, කෑගල්ල හා බදුල්ල යනාදී දිස්ත‍්‍රික්කවල තවත් ආසන එසේ පැවැත්විය නොහැකි තත්ත්වයේ පවතින බව සඳහන් කළ ඔහු ආසන සංවිධායකවරුන් හා බලමණ්ඩල නියෝජිතයන් අතර විනයක් නොමැතිවීම මීට හේතුව බවද පෙන්වා දුන්නේය.

ආසන සංවිධායකවරුන් හා බලමණ්ඩල නියෝජිතයන් සම`ගියෙන් කටයුතු කළහොත් පමණක් ඒවා පැවැත්වීම ගැන යළි සලකා බලන ලෙස ජනපති මහලේකම්ට උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව සමගියෙන් කටයුතු කිරීම මත බදුල්ල හා කෑගල්ල දිස්ත‍්‍රික්කයන්හි ආසන 2ක බලමණ්ඩල පැවැත්වීමට මහලේකම් රංගේ බණ්ඩාර අවසර ලබා දුන්නේය.

ජනපති බ‍්‍රහස්පතින්දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත ගියේ පක්ෂ සම්මේලනය හා පක්ෂ නව ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගැනීමටය. එ‍හෙත් පක්ෂ සම්මේලනයට ආසන්න දිනක යළි රැස්වී අවසන් තීන්දුව ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය එකඟතාවයට පැමිණ ඇත.

කොළඹ තේ වෙ‍ළෙදුන්ගේ සංගමයේ 129 වැනි වාර්ෂික සම්මේලනයට සහභාගීවිම සඳහා ලද ආරාධනාවකට අනුව අ`ගහරුවාදා රාත‍්‍රියේ ජනපති රනිල් හා කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය වෙත පැමිණියහ.

උත්සවයෙන් අනතුරුව ජනපති හමුවූ තේ අපනයනකරුවන් වැටී තිබුණු රට නැවත ගොඩ නැගීම වෙනුවෙන් කළ කැප කිරීමට ජනපතිට ස්තූති කළෝය. එහිදි ඔවුන් පෙන්වා දුන්නේ ඉකුත් රජය සමයේ ඉරානයෙන් මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට මුදල් නොමැතිවීම නිසා ඊට හිළව්වට ඉරානයට තේ ලබා දෙන බව කීවත් මෙතෙක් එම පොරොන්දුව ඉටු කර නොමැති බවය.

ලංකාව අමාරු අවදියේ ඉරානය කළ උපකාරය වෙනුවෙන් එහි පැමිණ සිටි ඉරාන ප‍්‍රධානීන්ට ස්තූති කළ ජනපති රනිල් එම ප‍්‍රශ්නය විසදීමේ වගකීම කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක වෙත පැවරුවේය. ඔහු එය පසුදාම විසදා තිබුනි.

ජනපති උපදෙස් මත කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගියේ ඉන්දියාවෙන් ලද ඩෝනියර් සමුද්‍ර ආරක්ෂක යානය

පිළිගැනීමටය. එවැනි යානා 3 ක් ලංකාවට ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළ කර තිබූ අතර එහි පළමු ගුවන් යානය මීට මාස කිහිපයකට පෙර ලබා දුන්නේය. එය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් ඉන්දියාවට ගොස් ඇති අතර දෙවන ගුවන් යානය පිළිගත්තේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගලය.

බදාදා සවස ජනපති රනිල් නුගේගොඩ අනුලා විද්‍යාලය වෙත ගියේ එහි වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමටය. එහිදි ජනපති වත්මන් වැඩිහිටි දරු පරපුරේ (Generation Z) සහ කුඩා දරු පරපුරේ (Generation Alpha) වෙනස්කම් ගැන කළ ප‍්‍රකාශය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. දරුවන් අරඹයා කළ මෙම ප‍්‍රකාශය එහි සිටි ගුරු දෙමාපියන්ගේ ද ප‍්‍රශංසාවට ලක්වූහ.

බ‍්‍රහපතින්දා ජනපති පුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයට ආවේ පෙරදින එහි ඇතිවූ ගින්න ගැනද කතා කරමිනි. මුදල් ඇමතිගේ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යාලය පිහිටි දෙවන මහලේ මෙම ගින්න ඇතිව තිබූ අතර එය විදුලි බුබුළක ඇතිවූ විදුලි කාන්දුවක් බව මෙහිදි හෙළිදරව් විනි.

ජනපති සමඟ සතියකට වරක් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෙන්ම දේශපාලඥයන් කිහිප දෙනෙකු ද සහභාගී වන්නේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අමතරවය.

ජවිපෙ මෝල්ටා ප්‍රශ්නය

”ජනතා විමුක්ති පෙරමුණේ මුදල් මෝල්ටාවේ ආයෝජනය කරලා කියලා පෙරටුගාමීන් කියනවා. ඒක ගැන තමයි දැන් සමාජයේ කතා කරන්නේ.” ඇමති ශෙහාන් කතාව ආරම්භ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ ගැන හරි ප‍්‍රකාශයක් ජනතාවට කළා නම් මේ මුකුත් ප‍්‍රශ්න නෑ. ඇත්තටම සල්ලි දැම්මද?, දැම්මානම් ඒ කාගේ ඒවද? කියලා කිව්වා නම් මේ ප‍්‍රශ්නය විසදෙනවා. දාලා නැතිනම් නෑ කියලා කියන්න  ඕනේ. මේ මුකුත් නොකියන නිසා තමයි ප‍්‍රශ්නය තියෙන්නේ.” ඒ පිළිතුරු ඇමති සියඹලාපිටියගෙනි.

අනුලා විද්‍යාලයේ කළ කතාව ගැන සමාජය අගය කරනවා. මෙතනදි ජනාධිපතිතුමා ජෙන් ඉසෙඞ් ජෙන් ඇල්ෆා ගැන කියපු කතාව ළමයින්ට තේරුණාට වැඩිහිටියන් බොහෝමයකට තේරුණේ නෑ මම හිතන්නේ.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

නෑ මම කිව්වේ දේශපාලනඥයෝ තවම ඉන්නේ අතීතයේ. හැබැයි මේ දරුවෝ ටික ඉන්නේ වර්තමානයේ කියලා. මොකද ඉපදුන වර්ෂය අනුව දරුවන් ඉන්න තැන නම් කරලා තියෙනවා. මේ වන විට පාසලේ ඉහළ ශ්‍රේණියේ ඉන්න දරුවෝ තමයි ජෙන් ඉසෙඞ් කිව්වේ. පළමු ශ්‍රේණියට එන දරුවෝ තමයි ජෙන් ඇල්ෆා කිව්වේ. ජෙන් එම්, ජෙන් වයි ලෙසත් දරුවෝ වර්ගීකරණය කරලා තියෙනවා. මම මෙතනදි කිව්වේ දේශපාලනඥයෝ අතීතයේ ඉන්න නිසා එයාලව වර්තමානයට ගේන්න  ඕනේ. හැබැයි වාර්තමානයේ ඉන්න දරුවන්ට අනාගතයට යන්න පහසුයි කියන කාරණයයි.” ජනපති දීර්ඝ විස්තරයක් කරද්දි සැමගේ දෑස් නළලේ රැදිනි.

MEDIAMAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *