ආණ්ඩුවක් පෙරළන්න රට බිල්ලට ගැනීම

රට කරවන්න තමන්ට තිබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් කොන්දක්, දැක්මක් නොතිබුනු විපක්ෂය, රනිල් වික්‍රමසිංහ රට බංකොළොත්භාවයෙන් මුදවාගෙන ඒ සියලු‍ අභියෝග ජය ගනිමින් රට සංවර්ධනයේ දිශාවට තල්ලු‍ කරගෙන යෑම ඉවසා ගත නොහැකිව සිටින බව ඇත්තකි. රනිල් මේ ගේම එක ගහයි කියා විපක්ෂය හිතුවේ නැත. ඒ නිසා මේ මොහොත වන විටත් විපක්ෂය උත්සහ ගනිමින් සිටින්නේ කවර හෝ අංචියක් ඇද රනිල්ව පන්නා දැමීමටය. තමන්ගේ දේශපාලනික ප්‍රතිවාදියාව දේශපාලනිකව පරාජය කිරීම දේශපාලනයේ ශිෂ්ඨ මුලධර්මයයි. නමුත් ඒ වෙනුවෙන් රටත් ජනතාවත් බිල්ලට දී තමන්ගේ පටු වුවමණාවන් වෙනුවෙන් බලය පැහැර ගැනිමට උත්සහ කිරීම ශිෂ්ඨ දේශපාලනයක් වන්නේ නැත. එය නරුම අවස්ථාවාදිකමකි. අද මේ රටේ විපක්ෂ කණ්ඩායම් සියල්ලම එක පෙළට පැමිණ තිබෙන්නේ රටත් ජනතාවත් බිල්ලට දී හෝ තමන්ට බලය අත්පත් කරගත යුතුය කියන තැනටය. රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලනිකව ගැටෙන්නට නොහැකිවීම, ඊට අභියෝග කරන්නට නොහැකිවීම, ඒ සඳහා ශක්තියක් නොමැතිවීම සහ එවැනනක් හිතා ගන්න තරම් දේශපාලනික අවබෝධයක් නොමැතිවීම විසින් මේ කණ්ඩායම් සියල්ල සමානයෝ වන අතර අද ඒ සියලු‍ දෙනාට එක පෙළට සිට ගැනීමට සිදුව ඇත්තේ එහෙම හෝ ආණ්ඩුව පෙරළා දැමීම කර ගත යුතු බැවිනි.

පසුගිය කාලයේ මේ අය වෙන වෙනම එක එක සටන් පාඨ ඔසවාගෙන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග රැසකට ගොස් තිබිණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑම වළක්වන්නට නොකරපු හරියක් නැත. මේ රටට සංචාරකයන් පැමිණිම, ආයෝජකයන් පැමිණිම වළක්වන්න දිනපතා වැඩවර්ජන වීදි උද්ඝෝෂණ, ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්වල නියැලිනි. ආර්ථික ප්‍රතිසංස්කරණයක් වැළැක්වීම වෙනුවෙන් එලෙසම කටයුතු කරනු ලැබීය. එහෙත් ඒ සියල්ල අසාර්ථක විය. මන්ද එම ක්‍රියාමාර්ග සාධාරණීය කරන්නට තරම් ශක්තිමත් හේතුවක් නොතිබුණ බැවිනි. රට ගොඩනැගුමට අත්‍යාවශ්‍ය අනිවාර්ය හා නිවැරදිම පියවරයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වේගවත්ව ගනිමින් ක්‍රියාත්මකවීම තුළ විපක්ෂයට කටඋත්තර නැති විය. මේ නිසා රටේ නැති, ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති, අභූත, පදනමක් නැති චෝදනා පිට චෝදනා ගොනුකරමින් තමන් දන්නා සෙල්ලම් සියල්ල දමමින් සිටියත් වැඩක් වූයේ නැත. විපක්ෂයේ මේ හිස්කම, බැරිකම, පජාතකම රටේ ජනතාවට දැන් හෙළිදරව් වී අවසන්ය. ‍රැල්ල තියෙන්නෙ අපිටයි කියමින් දඟලපු විපක්ෂ කණ්ඩායම්වලට අන්තිමට ඉතුරුව ඇත්තේ බඩේ ‍රැළි පමණක් යන්න සැක නැත.
එහෙත් බලයට ඇති අසීමිත කෑදරකම හමුවේ කෙසේ හෝ බලය අත්පත් කරගැනීම වෙනුවෙන් මොන විනාශයක් හෝ සිදුකර එය දිනා ගත යුතුය කියන තැනට විපක්ෂ කණ්ඩායම් නිල නොවන එකඟත්වයකට පැමිණ ඇති බව මේ දිනවල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව මෙම පිරිස පතුරුවමින් යන බොරු බේගල්වලින්ම සනාත වෙයි. කට්ටියම එකම බේගලය අත්හරිමින් යන්නේ මේ එකඟත්වය නිසාය.

දැන් මේ අයට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා රට මහා විනාශයකට ගොදුරුවීමට නියමිතය. ජවිපෙ වසන්ත සමරසිංහ පහුගිය සතිය දෙක පුරාම කිව්වේ බැංකු කඩා වැටෙනවා තැනපත්කරුවන්ගේ ඉතුරුම් අහිමි වෙනවා, සේවක අර්ථ සාධකය නැතිවෙනවා වගේ පට්ට බේගල් ගොඩකි. එපමණක් නොව ජුනි මස 30 වෙනදා වෙන විට බැංකු කඩාවැටෙන බවට දින වකවානු පවා කීවේය. ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්තිද කියමින් ගියේ මේ බේගල් ටිකම ටිකක් රවුම් කරමිනි. මෙය ජනතා විමුක්ති පෙරමුණේ සහ ඔවුන්ගේම වියතුන් නඩය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මතයත් මෙයම විය. මෙම වැඩපිළිවෙල වලක්වන්න ජවිපෙ අධිකරණයට හමුවටද ගොස් තිබේ. සමගි ජන බලවේගය කියන්නෙත් මේකමය. සජිත් ප්‍රේමදාස පසුගිය මැයි මාසයේ සිටම කීවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මට ඉඩ නොදෙන බවය. මැයි 18 වනදා ලංකා බැංකු සේවකයන් සමඟ කිව්වේ දේශිය ණයවලට අත තියන්න ඉඩ දෙන්නේ නෑ… යනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියෙ කාහල නාදය නගන බවය. අපි මේකට විරුද්දයි කියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කණේ ඇඟිලි ගහගන්න දෙකක් කියන බවය. මෙම ණය ප්‍රතිව්‍යුගත කිරීමේ සැලසුම මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති නමුත් සජිත් තවමත් පරණ බණේ කියමින් නන්දොඩවන තත්වයකුත් පෙනෙන්නට තිබේ. එසේම පොහොට්‍ටුවෙන් විතැන් වූ කණ්ඩායම්ද සජිත් සමඟ සිටගෙන සිටියේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නැතැයි කියමිනි. මෙහි වියත්මග ආර්ථික ඔස්තාර්ලා අමුතු අමුතු ගණන් හදමින් රට කඩා වැටෙන බව පෙන්වා දෙමින් තිබිණි. ඒ වගේම ආර්ථික ඔස්තාර්වරයකු ලෙස පෙනි සිටින මහ උගත් සුජාත පුත්‍රයා ලෙස පෙනී සිටින පාඨලී චම්පික රණවකද අවසානයේ ගිහින් වැ‍ටුණෙත් මේ බොරු බේගල් අතාරිමින් කරන ජඩ දේශපාලනයටමය. තමන්ට දේශපාලනිකව යන එනමන් නැති වුණා කියා එයට ජනතාව අමාරුවේ දමා වන්දි ගැනීම නිවැරදි නැත. පාටලීලාගේ ලස්සනට සකසන බොරු බේගල් නිසා සිදු විය හැකිව තිබුණේ රටේ නැති අර්බුද ඇතිවෙන එකය. බැංකු පද්ධතිය කඩා වැටී තැන්පත්කරුවෝ අමාරුවේ වැටෙනවා කියන බොරුව සමාජ ගත කළ විට, මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා තන්පත්කරුවෝ තමන්ගෙ තැන්පතු බැංකුවලින් එළියට අදින්න ගත්තා නම් බැංකු පද්ධතියම එක රැයෙන් අවසන්ය. රට අවසන්ය. මේ අනතුර මේ වගකිව යුතු නායකයන් අවසන් මොහොතේදී නොතකා හැර තිබිණි. එම විනාශයම ප්‍රාර්ථනා කිරීම නිසා විය හැකිය. මන්ද එසේ නොමැතිව රනිල් විනාශ කර තමන්ට බලය අත්පත් කරගැනීමට වෙන දේශපාලනික මාවතක් සකසා ගැනීමේ සවිමත් භාවයක් නොමැති වීම නිසාය. පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පෙරටුගාමි සමාජවාදී පක්ෂයද හරි හරියටම මේ බොරු බේගල් ටිකම පුනරුච්චාරණය කරමින් සිටියේය. නමුත් මේ බොරු බේගල් ජනතාව විශ්වාස කරන තැනක තිබුණේ නැත. විපක්ෂයේ රැළි ඉවරයි කියන්නේ මේ නිසාය.

ජනාධිපතිවරයාත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරුත්, මහ බැංකු අධිපතිවරයාත් දිගින් දිගටම මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් බැංකු පද්ධතියට හානියක් නොවන බවත්, තැන්පත්කරුවන්ගේ ධනයට හෝ පොළි ආදායම්වලට හෝ හානියක් නොවන බවත් සේවක අර්ථසාධක අරමුදලට හානියක් නොවන බවටත් සහතික පිට සහතික දී තිබිණි. එමෙන්ම මෙම ක්‍රියාමාර්ගවලට යන්නෙම බැංකු පද්ධතිය රැකගෙන රටේ ආර්ථිකය ගොඩනඟාගෙන රටේ අනාගතය සුරක්ෂිත කරගන්න අවශ්‍ය වන අනිවාර්ය ප්‍රතිසංස්කරණයක් බව ඔවුන් දන්නා හැම ආකාරයකින්ම පැහැදිලිව කියා තිබිණි. විපක්ෂයට එය නොතේරුණාට ජනතාව එය විශ්වාස කර තිබේ. මෙම පියවර සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත් රට ගොඩනැඟීම වෙනුවෙන් වෙනත් කිසිදු විකල්පයක් රට හමුවේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යන්නට සිදු වන්නෙත් මෙම වැඩපිළිවෙල දියත් කිරීම වෙනුවෙන් වන සහය ලබා ගැනීමටය. ඒ නොවෙන්න අද රටක් ඉතුරුව තිබෙන්න විදිහක් තිබුණේ නැත.

කොහොම නමුත් මෙරට මෙන්ම විදේශීය ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික කටයුතු පිළිබද විශේෂඥ ආයතන පවා ජනාධිපති රනිල් විසින් ක්‍රියාවට නගා ඇති වැඩපිළිවෙලෙහි නිරවද්‍යතාවය සහ එහි සාර්ථකත්වය ගැන පසුගිය සති කිහිපය තුළම ඇගයීම් සහිතව කරුණු කාරණා ප්‍රසිද්ධ කර තිබිණි. මේ අතර සජබය නියෝජනය කරන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පවා දේශීය ණය ප්‍රතිව්‍යහගත කිරීමෙහි වැදගත්කම අවධාරණය කර තිබිණි. තමන්ගේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මොන ගොබ්බ කතා කිව්වත් සජිත්ගෙ ගෝල බාල අඳබාල මන්ත්‍රීවරු මොන ගොබ්බ කතා කිව්වත් හර්ෂ ඇත්ත ඇති සැටියෙන් පැවසීමට ධෛර්යවන්තවීම ගැන අගය කළ යුතුය.

හර්ෂ පසුගියදා වෙබ අඩවියකට දී තිබු සාකච්ඡාවක දී, ප්‍රධාන විපක්ෂය ලෙස සජබය මේ කාලය තුළ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, මූල්‍ය වෙළඳපොලවල් අවුල් නොවන අයුරින් සහ තැන්පතු හිමියන්ට ඍණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යහගත කළමනාකරණය කළ හැකි බවත් පවසා තිබිණි. මෙම විෂය පිළිබඳව සජබයට පූර්ණ දින සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ප්‍රශ්නය දෙස බලන ආකාරය පිළිබඳව තමන් පක්ෂ නායකත්වයට පැහැදිලි කළ බවත් ඔහු පවසා තිබිණි. සජබය අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් ඒ දෙස බැලිය යුතු බවත්, රටට නැවතත් වර්ධන අවධියක් ලබා ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු බවත් තමන් කණ්ඩායමට ද පැහැදිලි කළ බවත් එසේම මේක තනිකරම දේශපාලන කෝණයකට වඩා ජාතික කෝණයකින් සලකා බැලිය යුතු බවත් ඔහු පවසා තිබිණි. නමුත් සජිත්ට තවම එය අවබෝධ වී නැති බව තවමත් කරන මොන්ගල් කතා අනුව පැහැදිලිය. මේ නිසාම දෝ හර්ෂටත් තමන් එක තැනක පවසන දේට පරස්පර අදහස් සජිත්ගේ ජාම බේරා ගැනීම වෙනුවෙන් කියන්නට සිදුව තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

කොහොම නමුත් මන්ත්‍රීවරයා තවත් වැදගත් කතාවත් මෙහිදී අවධාරණය කර තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කඩාකප්පල් නොකළ අවංක, සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස ජනතාව, සජබය දෙස බලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු… යනුවෙන් ඔහු පවසා තිබුණු අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියට යනු ඇති බවත් පවසා තිබිණි. එනම් මෙහි තේරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරම්භ ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මෙපිට විපක්ෂයට වෙනත් වැඩසටහනක් නොමැති බවත් එයට සජබය සහය වූ බව ජනතාවට අවධාරණ කර පැවැසීම මත තමන්ගේ දේශපාලනික පැවැත්ම සහතික වන බවය. විපක්ෂය ඇත්තටම ඇද වැටී සිටින් තැන එතැනය. මේ අනුව තවත් කරුණක් සහතික කර කිව හැකිය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රට ගොඩගත් ජාතික නායකයා වී ඇති බවය.

කොහොම නමුත් මේ වන විට දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව රජයේ වැඩපිළිවෙල ප්‍රසිද්ධ කර තිබේ. ජනාධිපතිවරයා පෙර දැනුම් දී තිබූ පරිදිම එය පසුගිය 28 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගෙන තිබිණි.
ඉන් පසුව ආණ්ඩු පක්ෂ කණ්ඩායම මෙන්ම විපක්ෂ පක්ෂ දැනුවත් කිරීම සිදුවෙනු ඇත. එසේම බැංකු ප්‍රධානීන්, වාණිජ සංගම් සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයින් මේ සියලු‍දෙනාම දැනුවත් කරන බවත් තමන්ට අවශ්‍යව තිබෙන්නේ සියලු‍ පාර්ශ්ව එක්කර ගෙන මෙම කටයුත්ත සිදු කිරීමට බවත් ජනාධිපතිවරයා පවසා තිබිණි. ජනාධිපති රනිල් රට භාර ගැනීමෙන් පසුව සියළු ආර්ථික හා දේශපාලනික් ප්‍රතිසංස්කරණයන් සිදුකරනු ලැබුවේ ඔහු සතුව තිබෙන විධායක බලය පාවිච්චි කර හිතුවක්කාර තීන්දු තිරණ අරගෙන නොවේ. සෑම විටම සත්‍ය තත්වයන් හෙළිකරමින් ඒ සඳහා පාර්ලිමේන්තු විවාද පවත්වමින් අඩු පාඩු සකසමින් ඔහු ගත යුතු නිවැරදිම තීන්දු අරගෙන තිබේ. මේ අනුව මෙම වැඩසටහන සම්මත කර ගැනීමට පෙර පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කමිටුවට මෙය භාරදීම් සිදුවෙනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අදහස් සමඟ අවශ්‍ය සංශෝධනයක් කර මෙය අනුමත කරගනු ඇත.

“ඇතැමුන්ට දැන් අවශ්‍ය වී තිබෙනවා අධිකරණයට ගොස් මෙම වැඩපිළිවෙළ නවත්වන්න. අපි බංකොළොත්භාවයෙන් මිදීමට කටයුතු කිරීම නවත්වන්න ඇයි මොවුන් උත්සාහ කරන්නේ කියා තේරුම් ගන්න බැහැ. මේ කටයුත්ත අපි කරන්නේ සැප්තැම්බර් මාසයේ නම් ඔවුන් අපිට දොස් කියන්න ඕන මෙම කටයුත්ත අගෝස්තු මාසයේ නොකිරීම සම්බන්ධවයි. හරි විපක්ෂයක් නම් කටයුතු කළ යුත්තේ ඒ ආකාරයටයි. මම විපක්ෂයේ සිටියා නම් මෙම කටයුත්ත නවත්වන්න යන්නේ නැහැ… අපි සියලු‍දෙනා එකතුවෙලා මේ තත්ත්වයෙන් රට ගොඩගනිමු. පැරණි දේශපාලනයේ නිරත වෙලා කෑ ගහලා, උසාවි ගොස් මෙය දේශපාලන අවියක් කර ගැනීම තේරුමක් නැහැ. මේ කාරණයේ දී බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ නිසා එම නීතිය අනුව අපි මෙය සම්මත කර ක්‍රියාත්මක කරනවා. අපිට හැමදාම යාචක ජාතියක් වෙන්න බැහැ. අපි මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණ රට දියුණු කළ යුතුයි. අපි අපේ රටේ ගෞරවය රැකගත යුතුයි. කිසිවෙකු බියට පත්විය යුතු නැහැ. අපි උත්සාහ කරන්නේ අපේ ණය බර අඩු කර මෙම සැප්තැම්බර් මාසය වන විට මෙම බංකොළොත්භාවයෙන් නිදහස්වීමට බව ප්‍රකාශ කළ යුතුයි…” ජනාධිපතිවරයා මේ දැඩි විශ්වාසයකින් කියන කාරණාව පැහැදිලිව තේරුම් නොගන්නවා නම් රටට අබ සරණය.

  • ඝෝෂක