ඉන්දියානු විරෝධය ලාබෙට ගත් සටන් පාඨයක්

0

දේශපාලනය කරන්න නිවැරදි සටන් පාඨ හිඟවීම මේ රටේ තිබෙන විශාල ප‍්‍රශ්නයක්. පටු පක්ෂ දේශපාලනයෙන් එපිට පවතින දේශපාලනයේ අරමුණ මොකක්ද කියන එක නොදන්නාකම මේ සටන් පාඨ හිඟයට හේතුවක්. රාජ්‍ය බලය අත්පත් කරගැනීම හෝ එය වෙනස් කිරීම සම්බන්ධයෙන් බලය පාවිච්චි කිරීම විය යුතු නමුත් ඒ බලය වෙනුවෙන් ගන්නා ක‍්‍රියාමාර්ග අවසානයේදී රාජ්‍යයට අවැඩක් වන්නේ නම් ඒ දේශපාලනයෙන් ඇති වැඩක් නැත. රටට හානිදායකය. එහෙත් රාජ්‍යයත් බේරාගෙන තමන්ගේ පක්ෂ දේශපාලනයත් බේරා ගැනීම අමාරු වැඩකි. මිල අධික වැඩකි. ඊට නිවැරදි සටන් පාඨ තිබිය යුතුයි. නමුත් රටේ දේශපාලනයේ තිබෙන දුප්පත්කම නිසා අල්ලා ගන්නේම ලාබෙට ගන්න පුළුවන් වැරදි සටන් පාඨයන්. ”ඉන්දියානු විරෝධය” කියන්නෙත් එහෙම එකක්. ඒ වගේම මෙය සෑහෙන පරණ කල් ඉකුත්ව තිබෙන නමුත් නිරන්තරයෙන් අලූ‍ත් අයිසින් දමා පෙන්වන පුස් කේක් ගෙඩියක්. මෙය පෙන්වා මිනිස්සු රැවැටීමට පුළුවන්. නමුත් දැන් මේවාට රැවටිලා බොහෝ අලාබ හානි සිදු කරගෙන මිනිස්සු පාඩම් ඉගෙනගෙන තිබෙනවා. එය තවම මේ රටේ ජාති(ක*වාදී සහ වාමාංශික පක්ෂ හෝ කුඩා කල්ලි කණ්ඩායම්වලට නොතේරෙන දෙයක්. ඒ දේශපාලනික දුප්පත්කම නිසයි.

මේ දිනවල ඊනියා ඉන්දියානු විරෝධය නඩත්තු කරගෙන යෑමට ඉදිරිපත්ව සිටින ප‍්‍රමුඛ කණ්ඩායමක් වන්නේ පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයයි. ඔවුන්ගේ පීතෘ උරුමය නැතිනම් ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබුණුු මේ දායාදය කිසි වග විභාගයක් නැතිව ආරක්ෂා කරගෙන යන්න ඔවුන්ට සිදුව තිබෙන බවත් පැහැදිලියි. පසුගිය

දිනවල ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිය ඉන්දියානු සංචාරය තුළදී අගමැති මෝදි සමඟ එකඟතා ගණනාවකට එළඹ තිබුණා. මෙය අතිශය වැදගත් එළැඹුමක් බව කිව යුතුයි. මොකද මේ එකඟතාවයට පිවිසීමට බොහෝ කාලයක් මෙරටට බලාගෙන සිටිනන්ට සිදුව තිබීම නිසයි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කලාපීය සහයෝගය, ඉන්දියානු සහයෝගය මෙරටට අත්‍යාවශ්‍යව තිබුණු නමුත් මෙරටේ ජාති(ක*වාදී වාමාංශික මුග්ධ දේශපාලනය විසින් එය වළකා තිබුණා.

කොහොම නමුත් මෙම එකඟතාවයට එරෙහිව පෙර‍ටුගාමි පක්ෂයත් එහි පතුරු සංවිධානයක් වන ජන අරගල ව්‍යාපාරයත් ප‍්‍රචාරක කටයුත්තක නියැලෙමින් තිබෙනවා. ඒ අනුව පසුගියදා නිකුත් කර තිබු අත්පති‍්‍රකාවක සදහන්ව තිබු කරුණු අනුව පැහැදිලි වන්නේ ඇත්ත වශයෙන්ම මෙම එකඟතාවයන්ට එරෙහිවන්නෙත්් ඒ පිළිිබඳ මෙලෝ අලබෝලයක් හෝ නොදැන බව පැහැදිලියි. එවගේම මෙම පිරිස නුතනයේ කි‍්‍රයාත්මක හා පිළිගන්නා ගෝලීය දේශපාලනය ආර්ථිකය ගැන අංශුමාත‍්‍රයක දෙයක් නොදන්නා ළිං මැඩියන් බවක් පෙන්නුම් කරනවා. ඒ තියා ලෝකය නිදහස් – විවෘත සහ වහල් – සංවෘත්ත ලෙස බෙදා වෙන් කළ බර්ලින් තාප්පය බි`ද දමා ඇති බවත් එය යළි ගොඩනැගීමට ජනතාව ඉඩ නොදෙන බවත් මේ අයට දේශපාලන අවබෝධයක් ද නැත.

මේ අනුව ඉන්දීය සහසම්බන්ධිත ආර්ථික මුලෝපාය ගැන මේ අය කියන්නේ ජනාධිපති රනිල් මුළු‍මහත් ජනතාවගේ ඉරණම, රටේ භූමිය හා සැලකිය යුතු සම්පත්වල අනාගතයත් බිල්ලට දෙමින්, බලශක්ති ස්වාධිපත්‍යය පාවා දෙමින්, ගිවිසුම් ගණනාවකට එළැඹුුණ බවයි. නමුත් මේ ගිවිසුම් අඩුම තරමින් රටේ ජනතාවගෙන් කිසිවකුට දකින්න ලැබී නැති බවත් කියයි. ඒ අනුව පෙර‍ටුගාමින්ද මෙම විරෝධය මතු කරන්නෙ මෙම ගිවිසුම් ගැන කිසිවක් නොදැන බවත් පැහැදිලියි. මේ අය තව දුරටත් කියන්නේ ජනපති රනිල් සියවසකටවත් ගැලවෙන්න බැරි ගිවිසුම්වලට අපි වගේම නූපන් පරපුරත් පටලමින් සිටින බවයි. නමුත් ඇත්ත කතාව මෙම ගිවිසුම්වල අප පැටලෙන්න තිබුණේ සියවසකට පෙරය. රාම සේතු පාලම ගැන යෝජනාව ආවේ ඒ කාලයේදීය. එසේ වූවා නම් අද රට තිබෙන්නේ මේ බංකොලොත් තැන නොවේ. ඉන්දියාවට සමගාමී හෝ ඊට ඉහළ සංවර්ධනයක් අත්පත් කරගන්න තිබුණා. ඊට අවශ්‍ය හැකියාවන් රටට තිබුණා.

දැන් මේ පෙරටුගාමීන්ගේ පත‍්‍රිකාව අනුව ගිවිසුම් මේවාය.

1. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රිකක්යේ ඉන්දීයානු ආර්ථික කලාපයක් පිහි‍ටුවීම, මෙම කලාපය කොළඹ දිස්ත‍්‍රික්කය තරම් විශාලය. ත‍්‍රි’මලේ වරාය තෙල් ටැංකි ඉඩම් සියල්ල අත්පත් කර ගන්නවා. ඒක තමයි අවසන් ඵලය.

2. ලංකාව හා ඉන්දියාව අතර විදුලි බලපද්ධතිය සම්බන්ධ කරමින් රටේ බලශක්ති ස්වාධිපතය ඉන්දියාව අතට ගන්නවා.

3. ලංකාව ඉන්දීයාව හා ගොඩබිමෙන් සම්බන්ධ කරනවා.

4. දෙරට තෙල් නලයකින් සම්බන්ධ කරනවා. ලංකවට ලාබ ඉපයිය හැකි නැව් තෙල් වෙළදාම ඉන්දියාව සතු කරගන්්නවා.

5. ලංකාව සතු හයිඩ්‍රෝකාබන් ගවේෂණය හා නිෂ්පාදනය, මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික සම්පත් කොල්ල කනවා.

6. ලංකාවේ වෙළඳ කටයුතු සඳහා ඉන්දීයානු රුපියල යොදා ගන්නවා. ඒකෙන් ලංකාවෙ මුදල් ඒකකය අර්බුදයට ගිහින් ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යයට තව ප‍්‍රබල වෙනවා.

7. ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ආර්ථික බිම් තීරුවක් සංවර්ධනය කරනවා. එම බිම් තීරුව කුමක් සඳහා ද යන්න අපැහැදිලියි.

8. සාම්පූර් සූර්ය බල ශක්ති මධ්‍යස්ථානයක් ඇති කරනවා.

9 ඒකාබද්ධ සත්ව පාලන වැඩසටහන.

මේ ලැයිස්තුව් තව දික් වෙන්නත් පුලූ‍වන් කියලත් මේ පෙරටුගමින් පවසනවා. නැගෙනහිර වරාය ජැටිය, මත්තල ගුවන් තො‍ටුපොල, ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාව දක්වාම දුම්රිය මාර්ගය, අනුරාධපුර පොස්පේට් නිධිය. ඒවත් ඉන්දියාවට යනවා කියනවා. බැලූ බැල්මටම මේවා කෙතරම් විහිළු සහගතද යන්න ළමයකුට වුවත් තේරුම් ගත හැකියි.

මේ කියන කාරණාවලට එරෙහි වෙන්න කියලා පෙර‍ටුගමින් තවත් වැල්වටාරම් ගොඩක් කියමින් මහා බිල්ලකු මැවීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව පැහැදිලියි. මේවා අලූ‍ත් දේවල් නොවේ. නිදහසට පෙර ඉතිහාසයෙත් ඉන් පසුව අඛණ්ඩවම දොඩවපු බොරු වැල්වටාරම්. ඉහත කී ගිවිසුම් අනුව විරුද්ධ විය හැකි කිසිවක් නැත. ඒ විය යුතුව තිබෙන්නක්. ඒ එකින් එක කරුණු දක්වමින් එයින් රටට ඇති ප‍්‍රතිලාභ ගැන කතා කළ හැකියි. ඉන්දියාව සමඟ මෙම ගනුදෙනුවට නොගිහින් පෙරටුගාමින් හෝ ඔවුන්ගේ පීතෘ පක්ෂය වන ජවිපෙ හෝ යෝජනා කරන්නේ වෙන කුමක් කළ යුතු බවද? මේ සංවර්ධන ව්‍යාපෘතීන් අත්හල යුතු බවද?

නැතිනම් සිය පක්ෂපාතිත්වය ඇති චීනය සම`ග මෙම ගනුදෙනුව කරමු කියලද? නැතිනම් රටේ ස්වාධිපත්‍ය සවෛරීභාවය රැකගෙන ලෝකෙන් උතුම් රට ශ‍්‍රී ලංකාවයි කියාගෙන මේ ජාතික සම්පත්වලට අත තියන්න කාටවත් දෙන්නේ නැතැයි කියමින් ස`ගවාගෙන බදාගෙන රැක ගැනීමද? මේ ජාතික සම්පත්ය කියන ඒවා රැක ගැනීමෙන් සිදු වුණේ මේච්චර කාලයකට වක්කඬේ හකුරු හැංගුවා වගේ දෙයක් නොවේද? අවසානයේ රොඩු ගොඩක් ඉතිරි කරගැනීම හැර වෙනකක් සිදුව තිබේද? අඩුම තරමින් රටේ භුමියේ පිහිටීම ම`ගින් ලැබිය හැකි අවස්ථා කෙතරම් රටට අහිමි කරගෙන තිබෙනවාද? ඉන්දියාව සම`ග මීට පෙර අවස්ථා ගණනාවකදී එළැඹෙන්නට උත්සහ කළ ගිවිසුම් වැලැක්වීම ම`ගින් රටට අත්පත් කරගත් අමුතු ලාබයක් තිබේද?

අද ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වන ආර්ථික යාන්ත‍්‍රණයට පි‍ටුපා රටට පැවැතිය නොහැකි බව පැහැදිලිම යථාර්තයක්. එමෙන්ම ගෝලිය භූ-දේශපාලනික සම්බන්ධතා ක‍්‍රියාත්මකවීම අනුව ලංකාවට එය ම`ග හැර පැවැතිය නොහැකියි. ඉන්දියාව ලෝකයේ ආර්ථික හා දේශපාලනික ප‍්‍රබලයකු ලෙස නැගී සිටින විට, දකුණු හා අග්නිදිග ආසියානු කලාපය ආර්‍තික වශයෙන් වේගවත්ම වර්ධනය අත්පත් කරගනිමින් සිටින විට ඒ සියල්ලෙන් හුදකලා පැවැත්මක් රටට නැත. ඉන්දියාව අද ලෝකයේ පස්වන ආර්ථික බලවතා ලෙස ජය ගෙන අවසන්ය. ස`ද ජයගත් සතරවැනි රාජ්‍යය බවට පත්ව තිබෙනවා. එමෙන්ම න්‍යෂ්ඨික බලවතෙක්. ලෝකයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාර බහුතරයක විධායකයන් වී ඇත්තෙත් ඉන්දියානුවන්ය. ක‍්‍රීඩාව, කලාව, තොරතුරු තාක්ෂණය, ආදියෙන් ඉන්දියානුවන් කිසිවකුට දෙවැනි නැත. ඉන්දියාව සහල් අපනයනය නැවැත්තුවොත් ලෝකයෙන් භාගයක් බඩගින්නේය. ඖෂධ අපනයනය නැවැත්තුවොත් ලොකයෙන් භාගයක් මරණ මංචකයේය. මේ හැකියාව නැතිනම් බලය පාවිච්චිකර දකුණු ආසියානු කලාපය වෙනම ආර්ථික හා දේශපාලනික කලාපයක් ලෙස ගොඩනැංවීම වෙනුවෙන් අද ඉන්දියාව මෙහෙයුමක සිටියි. ඒ තනියම රජවීමට නොවේ.

එවැනි රටක් අල්ලපු වැටේ තිබියදී ඊට එරෙහිව හෝ එය ම`ගහැර හෝ යනවා වෙනුවට එහි සහය රැකවරණය ලබා ගැනීම විය යුතු දෙයක්. ඒවගේම ඉන්දියාවේ වේගවත් සංවර්ධන කි‍්‍රයාදාමයේදී ශී‍්‍ර ලංකාව යනු ඉන්දියාවේ වැදගත්ම සහයක සගයෙක්. ඒ වටිනාකම ඉන්දියාව හැමදාම මේ රටට ලබාදීමට මැලි වී නැත. ආර්ථික අර්බුද සමයේදී මෙරටට සහය වූයේ මේ රට වැටුණොත් එය ඉන්දියාවටද බලපවත්වන නිසයි. ලංකාවේ සහය ඔවුන්ට අවශ්‍යයි. ඊයේ පෙරේදාත් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් කියා සිටියේ ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය, මුල්‍ය සහයෝගිතාව සහ දිගුකාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙන බවයි.

එම තත්වයන්ද මෙරට පුරවැසියා තේරුම් ගත යුතුයි. ඉන්දියානු විරෝධය ගොඩනැන්වීමෙන් සිදුවන්නේ යළිත් වතාවක් ඉන්දියාවෙන් මෙරට සංවර්ධනයට ඇවැසි සහය අහිමි කර ගැනීම පමණක් නොව රට තවදුරටත් මේ බංකොලොත්භාවයේම තබා ගැනීමයි. නමුත් ජවිපෙ, පෙරටුගාමී මෙන්ම ජාතිවාදී බලවේගවල ත‍්‍රාඩ, මුග්ධ දේශපාලනයට පැවැත්මක් ඇත්තේ රට බංකොලොත් භාවයේ පැවැතීම තුළ පමණයි. ඉන්දියානු විරෝධයේ එක් පදනමක් වන්නේ එයයි. අනෙක ජාත්‍යන්තර කූඨ දේශපාලනික වුවමණාවන්ය. ඉන්දියාව සම`ග රට නැ`ගී සිටීම වැලැක්වීමේ ජාත්‍යන්තර වුවමණාවන් කි‍්‍රයාත්මක වන බව රහසක් නොවෙයි. සමහර විට ජවිපෙ පෙරටුගාමී ආදී සුළු පක්ෂ මේවායේ කොන්ත‍්‍රාත් කරනවාද විය හැකියි.

එදා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කියමින් ඉන්දියානු විරෝධය තමන්ගේ දේශපාලනය බවට පත් කරගත්තේ හුදු ප‍්‍රචාරක උපක‍්‍රමයක් වශයෙන් මිස වෙන ඇත්ත පදනමක් ඇතිව නොවේ. විශේෂයෙන්ම දෙමළ විරෝධය සිංහල බෞද්ධ වර්ගවාදය පක්ෂයේ දේශපාලන අනන්‍යතාවය කරගැනීම අනුවයි. එයට විජෙවීරගේ චීනයේ සමාජවාදී දේශපාලන හිතවත් කමද බලපෑවා. අද ජවිපෙත් පෙරටුගාමීනුත් ඉන්නේ ඒ ආකල්පයේමයි. එසේ නොමැතිව මේ ගොඩනගන ඉන්දීය විරෝධය තුළ ගත යුත්තක් නැත. ජාතිවාදී ස්ථාවරයේම සිටින අයගේ පැවැත්ම සහතික වන්නේත් අන්‍ය ජාතීන්ට එරෙහිවීම තුළම පමණයි. ඔවුන්ට ඉන්දියාව සතුරු රාජ්‍යයක්. ඒ දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දු වන නිසයි. ඒ පැහැදිලි කරදීමට පරණ යුද්ධ කතාවල සිට හණ මිටි කතන්දර තොගයක් ඔවුන් සතුව ගොඩ ගහගෙන තිබෙනවා.

කොහොම වුණත් ඉන්දියානු විරෝධය නඩත්තු කිරීම වෙනුවෙන් ගෙන එන කිසිදු තර්කයක් සලකා බැලිය හැකි පදනමක් අද නැත. ඉන්දියාව සම`ග වන සහසම්බන්ධිත ආර්ථිකයක් හරහා රටට අත්පත් කරගත හැකි ප‍්‍රතිලාභ ගැන  ඕනෑ තරම් විද්වත් මත පළ වී තිබෙනවා. නේපාලය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් දැන් එහි ප‍්‍රතිපල භුක්ති වි`දිමිනුත් තිබෙනවා. නමුත් මේ රටවල් ඉන්දියානු ආධිපත්‍යයට යටවී නැත. ඒ රටවල් මේ සහසම්බන්ධයන් සම`ග තවදුරටත් ශක්තිමත් රාජ්‍යයන් බවට නම් පත්ව තිබෙනවා.

 ඉන්දියාව සම`ග එක`ගතාවයන්ට එළැඹීම ම`ගින් ඉන්දියාව මෙරට තුළ සිය ආධිපත්‍ය පතුරුවනවාය, එම`ගින් රටේ දේශපාලනික ආර්ථික අයිතිවාසිකම් අහිමි වෙනවාය, කියන කතන්දරය සියවස් ගණනාවකට පෙර කිව හැකිව තිබු දෙයක් විනා නූතනයට කිසිසේත් ගැලපෙනේනේ නැත. අද ඉන්දියාවේ භූ-දේශපාලනික උපාය මාර්ගය වන්නේ දකුණු ආසියාවම සම`ග වන සහසම්බන්ධිත දේශපාලන ආර්ථිකයකට යොමු වීමයි. එකිනෙකාගේ සහයෝගයෙන් එක්ව නැගී සිටීම විය යුතු බවයි. රටවල් වෙන් වෙන්ව එකට එකතුවීම, වඩා ශක්ති සම්පන්න කලාපීය එකතුවක් ගොඩ නැගීම විය යුතු වීම ඉන්දියාවේ දැක්මයි. එය අත්‍යාවශ්‍ය දෙයක්. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පෙනී සිටින්නේද ඒ වෙනුවෙන්. ඉන්දියාව ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන විට එහි ඵලප‍්‍රයෝජනය රටට ලැබෙන බව ජනාධිපතිවරයාගෙත් ස්ථාවරයයි. එවගේම එය ලබාගැනිමට රට සමත් කිරීම ඔහුගේ අභිප‍්‍රාය බවත් පැහැදිලියි. මේ අනුව

”ඉන්දියානු විරෝධය” රටට එරෙහි ලාබ සටන් පාඨයක් විනා, රටට වැඩක් ඇති දෙයක් නොවන බව නැවත කිව යුතුයි. මොකද ඊට වඩා ඇත්තක් නැති නිසාය.

ප්‍රභාත් ජයසුමන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *