හොඳම මිතුරන් අපව අත්හරින්නේ නැත. ජපන් අතහිත නැවතත්

අතීතයේ ලොව බොහෝ රටවල් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක සීමාවන් තුළ පැවතුණද පසුකාලීනව ගෝලීයව ඇති වී ඇති ජනගහන වර්ධනය හා ඊට සාපේක්ෂ මිනිස් අවශ්‍යතා සපුරාලීමේ සංකීර්ණතාවය හේතු කොට ගෙන රටවල් විසින් තවත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය. සම්පත්වල විවිධත්වය හා එක් එක් රටවල ආර්ථික තත්වයන් පදනම් කරගනිමින් රටවල් අතර සහයෝගීත්වය ඇති කර ගත් අතර, රටවල් අන්‍යෝන්‍ය සුහදතාවයෙන් කටයුතු කිරීම ආරම්භ විය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ පැවැත්මට ඉතා වැදගත් වූයේ මෙකී ජාත්‍යන්තර සබඳතාවයන් හේතු කොට ගෙන ශ්‍රී ලංකාවට තනිව සපුරා ගත නොහැකි අරමුණු සපුරා ගැනීමට හැකිවීමය. මෙකී ජාත්‍යන්තර සබඳතා අතර මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වඩාත් හිතකර සබඳතා පැවැත්වූ රාජ්‍යයක් වූයේ ජපානයයි.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර සබැඳියාව දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන්ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය හෙවත් ‘ජයිකා’ ආයතනය මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඉතා ඉහළ දායකත්වයක් සපයා ඇත. ඒ අනුව ඉතා අවම පොලී ගණනයක් හා දීර්ඝ කාලීන ගෙවීම් සහන කාලයක් මෙන්න දීර්ඝ කාලීන ගෙවීම් ක්‍රමයක් සහිත අති දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ජපාන රජය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබිණි. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල මෙන්ම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, ගුවන්තොටුපොළ යටිතල පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, මාර්ග, පාලම්, වාරිමාර්ග, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය, මානව සම්පත් සංවර්ධනය සහ ආරක්ෂක සහයෝගීතාව වැනි විවධ ක්ෂේත්‍රවල ගණනාවක අති දැවැන්ත ව්‍යාපෘති ජපාන රජය විසින් සිදු කිරීමට පසුගිය කාලයේ කටයුතු ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය බිහිවීමත් සමඟ ඒ වන විටත් ආරම්භ කිරීමට නියමිතව තිබු විශාල ව්‍යාපෘති ගණනාවක් කිසිදු වගවිභාගයකින්
තොරව ඒක පාර්ශ්වීයව අත්හිටුවීමට තීරණය කිරීම නිසා සිදු කෙරෙමින් පැවැති ජපාන රජයේ ව්‍යාපෘති සියල්ලම පාහේ අත්හිටුවීමට ජපාන රජය කටයුතු කළේය.

එලෙස අත්හිටවුනු ලැබු වැදගත්ම ව්‍යාපෘතියක් වන්නේ යහපාලන ආණ්ඩුව සැළසුම් කර තිබූ මාලඹේ සිට කොළඹ දක්වා දිවෙන සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතියය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.3කි. එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි. මෙම ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.1%ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01%ක් ද සහිතව ලබා දීමට නියමිතව තිබිණි. මෙම ණය මුදල පියවීමට අවුරුදු 40ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුලත්ව තිබිණි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් පත් කෙරුණු ඊනියා කමිටුවක් මඟින් මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස කරුණු ඉදිරිපත් කෙරිණි. ව්‍යාපෘති සමාලෝචන කමිටුවේ සභාපති ලෙස හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සහ හිටපු ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරුන් වන ඩී.එස්. ජයවීර හා ඉන්ජිනේරු ජානක කුරුකුලසූරිය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය එන්.ටී. සොහාන් විජේසේකර යන අය කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ගුණරුවන් වාර්තාව පදනම් කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒක පාර්ශ්වීය ලෙස 2022 සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අනුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවීය. එහෙත් මේ සම්බන්ධයෙන් 2022 නොවැම්බර් මස නිකුත් කළ විගණනකාධිපතිවරයාගේ වාර්ථාවේ ද කරුණු දක්වා ඇත්තේ සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අහිමිවීමට අමතරව එම විගණන වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබුනේ මෙනිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් රජයට සිදුවී ඇති බවයි.

මේ අතර ඩොලර් මිලියන 1400ක් වටිනා කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව අත්හිටවූයේය.

එවකට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ මෙය ජපන් රජයේ ණය උගුලක් බවයි. මේ අතර ජපන් ආධාර යටතේ ඉදිකිරීමට යෝජනා වූ ද්‍රව වායු බලාගාර ව්‍යාපෘතිය ද අතරමග අත්හිටුවීමට කටයුතු කෙරිනි. මේ සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමේදී බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුනේ එවක හිටපු අමාත්‍යවරයෙකු විසින් ජපන් ඉදිකිරීමේ සමාගමකින් කොමිස් මුදලක් ඉල්ලූ බවයි. ගෝඨාභය පාලන සමයේ ගත් මේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජපන් රජය ශ්‍රී ලංකාව සමඟ වන ගනුදෙනු අත් හැරියේය. මේ නිසා ශ්‍රී ලංකාවට සිටි හොඳම ජාත්‍යන්තර මිතුරෙක් අහිමි විය.

කෙසේ වෙතත් වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව මුලින්ම කළ ජාත්‍යන්තර කටයුත්තක් වූයේ නොහොඳ නොක්කාඩු වු ජපානය සමඟ යළි මිතුදම් ආරම්භ කිරීමට පියවර ගැනීමය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාලව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජපානයේ සහය ලබාගැනීම වැදගත්ම කරුණක් වී තිබිණි. එම සාකච්ඡා අතරතුරදී යළිත් මෙරට අත්හිටුවා ඇති ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපාන රජය කැමති කරවා ගැනීමට කටයුතු ආරම්භ කෙරිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් පසුගියදා ජපන් රජය සමඟ නැවත වතාවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර, එහි ප්‍රතිපලයක් ලෙස ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට තමන් ඉතා උනන්දුවෙන් පසුවන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ දකුනු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානී ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා කැපවන බවත්, ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතාවය තහවුරු කරන බවත් ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්තාරෝ ඔගාටා මහතා පවසා ඇත. මේ අතර මෙරට ජයිකා කාර්යාලය නැවත සක්‍රීය කිරීමට පසුගියදා පියවර ගෙන තිබිණි.

මෙය මුල්‍ය අරමුදලේ ණය සහන ලැබීම සේම රටක් ලෙස නැවත වරක් අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ ජපානයට වෛර නොකරන්නැයි එවක මුදල් ඇමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1952 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු වූ ජපානය සෑම විටම ශ්‍රී ලංකාවට හිතෛෂීවන්තව මිත්‍රත්වයේ දෑත දිගු කළ රටකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මහරගම තරුණ සේවා සභාව මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහල ද ජපාන රජය ශ්‍රී ලාංකිකයන්ට ලබා දුන් අගනාම පරිත්‍යාග කිහිපයකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉදිරිගාමී හා තිරසර ආර්ථික හා දේශපාලනික ක්‍රියාමාර්ග හේතුවෙන් අහිමිව ගිය මෙවන් ව්‍යාපෘති නැවත වරක් ලබා ගැනීමේ භාග්‍ය අපට හිමිව ඇත. එය සුළුපටු අවස්ථාවක් නොවේ. අප විසින් මේ මොහොතේ කළ යුතු වන්නේ මෙවන් දුරදර්ශී දේශපාලන ක්‍රියාමාර්ග නැවත අඳබාලයන් අතට පත් නොවීමට කටයුතු කිරීමය