එයාලා දැන් හරි වෙනස් JVP වේදිකාවේ NPPලට ඉඩක් නෑ

0

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, ඔවුන්ගේම හඳුන්වා දීමට අනුව මේ රටේ සමාජවාදය පිහිටුවා ඒ හරහා කොමියුනිස්ට් සමාජයක් ගොඩ නැගීම අරමුණු කොටගත් වාමාංශික පක්ෂයකි. ඒ සඳහා ඔවුන්ගේ උපක‍්‍රමික දේශපාලන භාවිතාව ගොඩනැගී ඇත්තේ, ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදය යන පදනම මතය. ජවිපෙ දේශපාලන භාවිතාවේ න්‍යාය සකසා ගෙන ඇත්තේ ඒ අනුවය.

කෙසේ නමුත් ජවිපෙ උපක‍්‍රමික දේශපාලනය වෙනුවෙන් අධිරාජ්‍යවාදය, ජාත්‍යාලය, දේශපේ‍්‍රමය නැමැති වෛරයේ බිජු මෙරට සංවර්ධනයට එරෙහිව ජනතාව තුළ පැල කරමින් පෝෂණය කරමින් සිටිනු දැකිය හැකිය. එය එදා මෙන්ම අදටත් නොකඩවා  නොපිරිහෙලා  සිදුකිරීම ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන උපක‍්‍රමයේ අදීන පියවරකි. ඒ වෙනුවෙන් ජවිපෙ සැමවිටම භාවිත කළ අවස්ථාවාදී මාදිලිය වූයේ, බහුජන දේශපාලනයයි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙම බහුජන දේශපාලන උපක‍්‍රමය ඉදිරියේ මෙරට සිවිල් සංවිධාන, දේශපාලන කණ්ඩායම්, රටේ නම ගිය සිවිල් පුද්ගල චරිත වගේම උගත් වියත් යැයි ප‍්‍රචලිත යතිවරු, ආචාර්ය, මහාචාර්යවරු ද ගොදුරු වූ බව ගෙවුණු දේශපාලන ඉතිහාසය තුළ දැකගත හැකි සුලභ ලක්ෂණයකි. එය විටෙක ස්වයං කැමැත්තෙන් ද තවත් විටෙක එකී ගමනේ අවසානය කෙසේ නිමාවන්නේ දැයි නොදැන වුවද අවස්ථානුකූල දේශපාලන අරමුණු දිනාගත හැකි පහසුම මග ලෙස සලකා ඔවුහු ජවිපෙ දේශපාලන දැලට හසු වී කටයුතු කර සිට තිබිණි. අදටත් සක‍්‍රීයව කටයුතු කරමින් සිටිනු දැකිය හැකිය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන උපක‍්‍රමික තීන්දු තීරණවල න්‍යාය හෝ නෛතික පසුබිම සැකසී ඇත්තේ හැමවිටම වී.අයි. ලෙනින්ගේ දේශපාලන ලියවිලි මතය. බොහෝ විට එකී න්‍යාය පුස්තකවල උපුටන හරහා ය. මේ එවැන්නකි.

”අපට මෙහිදී සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ, පෙරමුණු සටන්කරු කාර්යභාරය ඉටුකිරීමට හැක්කේ ඉතාමත් දියුණු න්‍යායකින් මගපෙන්වනු ලබන පක්‍ෂයට පමණක්ය යන්න පමණකි” (ලෙනින් කෘති, පළමු වෙළුම)

මෙකී න්‍යායට යටත්ව බහුජන ව්‍යාපාරයන්ට මග කියන ජනතා විමුක්ති පෙරමුණ සැමවිටම ක‍්‍රියාකර ඇත්තේ, තමන් විසින් ගොඩනගා ජනප‍්‍රසාදය දිනාගත් බහුජන ව්‍යාපාරයන්ගේ සැබෑ අරමුණ ජයග‍්‍රහණය කිරීමට නොව ස්වකීය පක්ෂයේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. 1994දී ජවිපෙ සන්නද්ධ දේශපාලනයට සමුදී පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි දා පටන් ගොඩනැගූ සෑම බහුජන ව්‍යාපාරයකටම අවසානයේ අත්වූ එකම ඉරණම එයයි. මෙකී කරුණ වඩාත් පැහැදිලි කරගත හැකි ජවිපෙ බහුජන සංවිධාන කිහිපයක් මෙසේය. මුළු රටම ප‍්‍රපාතයට ඇද දැමීමට තරම් සවිමත් වූ ”මව්බිම සුරැකීමේ ව්‍යාපාරය”, ”දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය” ඉන් ප‍්‍රධානය.

මව්බිම සුරැුකීමේ ජාතික ව්‍යාපාරය (දෙවන) යනු 2001 – 2004 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා පැවැති රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව ගොඩනගන ලද බහුජන ව්‍යාපාරය විය. ඒ සඳහා මාඳුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රමුඛ සිවිල් චරිත ගණනාවක් සක‍්‍රීයව සහභාගි විය. කෙසේ වෙතත් මෙම බහුජන ව්‍යාපාරය හරහා එකී සිවිල් චරිත සමාජය තුළ අතිශය ජනප‍්‍රසාදයට පත්වෙමින් තිබිය දී ජනතා විමුක්ති පෙරමුණ සිදුකළේ, එකී බහුජන ව්‍යාපාරයට තිත තබා, එහිම දිගුවක් ලෙස දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයට පණ පෙවීමය. ශ‍්‍රී ලංකාව තුළ ජාතිකවාදයෙන් බැහැරව ජාතික විමුක්ති අරගලය තුළින් සමාජවාදයට යන ගමන යා නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කළා විය හැකිය.  

අවසානයේ මෑතකාලීන මෙරට ජාතිකවාදයේ පරමාදර්ශී ප‍්‍රසූතාගාරය බවට ජවිපෙ උපක‍්‍රමික දේශපාලනය විසින් පෝෂණය කළ බහුජන ව්‍යාපාරය වූයේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයයි.  ඒ සඳහා මෙරට අන්ත ජාතිවාදී ප‍්‍රවනතාවන් පෝෂණය කිරීම වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ ඇතැම් සිවිල් පුරවැසියන්ට එකී  ව්‍යාපාරයේ මුල්පෙළෙ ආසන වෙන්කර දීමට තරම් ජවිපෙ දේශපේ‍්‍රමය උපක‍්‍රමශීලි විය. තවද  ”මුරගල” වැනි ප‍්‍රකාශන ද ”අපේ දේ ගන්න” වැනි ව්‍යපාරික මාදිලි ද ”මානෙල් මල් ව්‍යාපාරය” වැනි යුදවාදය පෝෂණය කළ උපක‍්‍රමික සංවිධානයන්ද නොමද පිටුවහලක් කරගත්තේය. කෙසේ වෙතත් 2008 වර්ෂයේ මුල් කාර්තුවේ අකමැත්තෙන් වුවද සිය පක්ෂයේ ජනප‍්‍රසාදය හිනි පෙත්තටම ඔසවා තැබූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය අත්හැර දැමීමට සිදු වූ නමුත්, පක්ෂයක් ලෙස ජවිපෙ අන්ත ජාතිකවාදී බහුජන ප‍්‍රසාදය පහසුවෙන් අත්හැර දැමීමට සූදානම් නොවීය. ඒ වෙනුවෙන් අනුර දිසානායක, දඹර අමිල හිමි යන අයගේ  ප‍්‍රධානත්වයෙන් ”දේශ හිතෛෂී ජාතික මධ්‍යස්ථානය” ගොඩනැගුවේය. එහි ප‍්‍රකාශනය බවට පත් වූයේ ”මාලිමාව” ය.

ජනතා විමුක්ති පෙරමුණේ උපක‍්‍රමික දේශපාලනයේ ”වැරදුණු කුරුමාණම”ට අදාළ ලෙනින්ගේ න්‍යායික පැහැදිලි කිරීම මෙසේය,

”මාක්ස්වාදයේ මූලික පදනම එනම්, පංති අරගලය බැහැර කොට කටයුතු කිරීම සංශෝධනවාදයේ මූලික ලක්ෂණයයි. එය ධනපති ක‍්‍රමය පරාජය කොට සමාජවාදය ගොඩ නැගීම මඟහැර ධනේෂ්වර ක‍්‍රමයට පැලැස්තර ගෙන එයි.” (ලෙනින් කෘති පළමු වෙළුම)

එදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ගෙන ආ ‘රීගේනිං ශ‍්‍රී ලංකා‘ වැඩපිළිවෙල පරාජය කිරීම හරහා අද මේ රට නරාවල තෙක් ගරා වැටුණේ ද, උතුරේ යුද්ධයක් නිමකරන්න බර අවි සැපයූ පසුබිම විසින්ම පසුකාලයේ දකුණේ ජාතිවාදී ගිනි ඇවිළවූයේද  ද එදා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගූ බහුජන ව්‍යාපාර උපක‍්‍රමික දේශපාලනයේ අනුහසිනි.

කෙසේ වෙතත් අද ජනතා විමුක්ති පෙරමුණ එදා දේශපේ‍්‍රමය වෙනුවට දූෂණ විරෝධයට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව තිබීම යම් විදිහකට ජාතිකවාදී බහුජන ව්‍යපාර දේශපාලනය සම්බන්ධයෙන් උගත් පාඩම් නිසා විය හැකිය. ඒ අනුව සිය පක්ෂයට සිදුවූ හානිය අවම කරගැනීම වෙනුවෙන් යම් යම් වෙනස්කම් අලූ‍ත් කිරිම් සිදුකර ගැනීමට ඔවුන් යුහුසුළුව කටයුතු කර ඇති බව පැහැදිලිය. එයාලා දැන් හරි වෙනස් යැයි බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ද ‘නවීන සමාජවාදය‘ යනුවෙන් නව න්‍යය ගත කිරීමක් හරහා  ධනවාදී මායිමට ආසන්නයේ පියවර තබමින් සිටීම නිසා විය හැකිය. එය එක්තරා ආකාරය සාපරාධී මුලා කිරීමක් බව නොකියාම බැරිය. මන්ද ජවිපෙ දේශපාලන උපක‍්‍රමික ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස රටට සිදුවූ හානිය ඔවුන් විසින් දැනුවත්ව මගහැර ඇති බැවිනි. ඔවුන්ගේ තෝරාගැනීමක් වූ දේශපේ‍්‍රමය, ජාතිකවාදය සමාජගත කිරීම විසින් රට තුළ නිර්මාණය  වූ ගැටුම්කාරී තත්ත්වයන් වගේම විනාශ වූ මිනිස් ජීවිත ගැන ද එසේම නිවැරදි ආර්ථික දැක්මක් හෝ වැඩපිළිවෙලක් යෝජනා නොකළේය. ආණඩු විසින් සිදුකිරීමට උත්සාහ ගත්, විශේෂයෙන් දශක දෙකකට ඉහතදී රීගේනිං ශ‍්‍රී ලංකා වැනි සංවර්ධනීය ආර්ථික වැඩපිළිවෙලවලට හුදු විරෝධය පමණක් දක්වා සිටීම නිසාම රටට අත් වූ ආර්ථික පරිහාණිය, ගරා වැටීම, බංකොලොත්භාවය පිළිබඳ කිසිදු වගකීමක් ඔවුන්ට නැතැයි ජවිපෙ විසින් කල්පනා කළේය. එසේම මේ ප‍්‍රශ්නය ඔවුන් විසින් නිර්මාණය කළ එකක් නොවේ යැයි ජවිපෙ න්‍යාය පුස්තක උපුටන ඇසුරින් හිත හදාගෙන සුදනෝ සේ පෙනී සිටියේය. එපමණක් නොව ජවිපෙ අද දේශපාලන භාවිතාව විසින් ද රටේ දේශපාලන ආර්ථික කියවීම සම්බන්ධයෙන් එදා අද කියා කිසිදු වෙනසක් නොපෙන්වා කටයුතු කරමින් සිටියි.  අදටත් රට විකුණනවා යැයි ද සිරිලක දේ සිරි සැපදේ යැයි ද හන්දි ගානේ රැස්කකා බෝඞ් ලෑලී දේශපාලනය විසින් එදා වගේම පෙන්නුම් කරමින් සිටින්නේ එයමය. පරණ පුරුදු දේශපාලන විගඩම නටන ජවිපෙ කල්පනා කරන්නේ මේ රටේ මිනිසුන් මෙලෝ හසරක් නොදන්නා තොත්ත බබාලා කියාය. එය ඔවුන්ගේ ම ඔවුන්ගේම ප‍්‍රකාශයකින් වඩාත් තහවුරු කරගැනීම වැදගත්ය.

”‍ඉතාමත් පහසුවෙන් රවටා ලිය හැකි ජනතාවක් වෙසෙන මේ රටේ, විවිධ පුද්ගලයින්ගේ සිත් ඇදගන්නා සුළු අනුවේදනීය කතා වස්තුන් ඉදිරියේ තමන්ගේ ප‍්‍රතිරුප දියකර හරී. ඉතා වේගයෙන් පවත්වන රැුඩිකල් කතා, දේශපේ‍්‍රමීත්වයෙන්  ඇඟ කිළිපොලා යන ප‍්‍රතාපවත්  ගෝරනාඩුවලින් ඔවුන් මේ රටේ හසරක් නොදත් ජනතාවගේ අපේක්ෂා  සමග ඔට්ටු වේ.”‍  (JVP Australia- facebook)

මේ රටේ ජනතාව හැමදාම මුලා කොට සිය දේශපාලන වෘත්තීයභාවය සුරක්ෂිත කරගැනීම සිය දේශපාලන උපාය මාර්ගයේම කොටසක් ලෙස සලකා ජවිපෙ කටයුතු කරනවා සේය. මන්ද එදා දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථාන උපාය මාර්ගික දේශපාලනයෙන් අත්හැරුණු බහුජන දේශපාලන ප‍්‍රවාහය නැවතත් මාලිමාව ඉදිරියට ගෙන ”ජාතික ජන බලවේගය” ලෙස කරළිගත කරමින් සිටින්නේද සිය පක්ෂයේ තීන්දු තීරණ නිසා රට මෙතරම් අශුද්ධ වුවා යැයි නොකියා දැන් පක්ෂෙ සුද්දයැයි හඬගා කියන ජනතා විමුක්ති පෙරමුණම වන බැවිනි.

අද මාලිමා දේශපාලනය ඇතුළේ ජවිපෙ පෙර කළ වැරදි අත්හළ බව පැහැදිලිය. ඒ රටේ උන්නතිය සම්බන්ධයෙන් සිදු වූ වැරදි නොව සිය පක්ෂයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවූ වැරදි ය. එනම් එදා දේශ හිතෛෂී ජාතික ව්‍යපාරයේ පෙරමුණේ රාළලා වූ ජාතිවාදයට නෑකම් කී ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර වැනි අයවලූ‍න්ට සිය වේදිකාවේ, සංවාද මණ්ඩපයන්හි සිය ව්‍යාපාරයේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමට වුවමනාවටත් වඩා අවස්ථා සලසා දුන්න ද අද ජාතික ජන බලවේගයේ කිසිදු සිවිල් සාමාජිකයෙකුට ඒ අවස්ථාව අහිමි කිරීම හරහා ය. මෑත කාලයේ එකදු රූපවාහිනී සංවාදයකට ජනතා විමුක්ති පෙරමුණේ තෝරාගත් නිත්‍ය කාඩර්වරයන් කිහිප දෙනෙකු හැර ජාතික ජන බලවේගයේ විධායක සභාවේ යැයි නම් කියවෙන් කිසිදු සිවිල් සාමාජිකයෙකුට අවස්ථාව උදා කර දී නැත. එතකොට අර චතුරංග අබේසිංහ යැයි අයෙකුට ප‍්‍රශ්නයක් ඇත්නම් කියන්න තියෙන්නේ ඔහුගේ පියා ජාජබයේ සභාපති වන්නේ ද ඒ අර්ථයෙන්ම තමයි කියාය. එතකොට හරිනි ගැන මොකද කියන්නෙ? පළල් සමාජ කියවීමක් සහිත කාන්තා නියෝජනයක් නොමැතිකම විසින් ජවිපෙට හැමදාම තිබුණු අඩුපාඩුවක් පිරිමසා ගැනීම වෙනුවෙන් ඇයව යොදවා ගෙන සිටින බව පමණි.  ඇය විසින් කරනු ලැබූ ඇතැම් ප‍්‍රකාශ ජවිපෙට පරාවළල්ලක් වෙමින් ඇත්තේ ද එනිසාමය. එපමණක් නොව පසුගිය දා ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික ලාල් කාන්ත පවසා සිටියේ ද සිය පක්ෂය විසින් අවශ්‍ය තීන්දු ගෙන පසුව ජාජබ (NPP) විධායක සභාවට දාලා අනුමත කරගන්නා බවයි. එයින් කියවෙන්නේ ද ජවිපෙ නොවන ජාජබ වූ කිසිවකුට එහි ඇත්ත අයිතිවාසිකමක් හිමිකර දීමට පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් අහිමි කර ඇති බවය. ජාජබය බලයට පත් වූ කලෙක ඒ ආණ්ඩුව යටතේ දූෂණ සිදු නොවේවි යැයි සහතික දෙන්න බෑ යැයි හරිනි වරෙක ප‍්‍රකාශ කළා සේ, අපට කීමට ඇත්තේ, ජාජබය බලයට පැමිණියත් නැතත් භඡුඡුලාට ජවිපෙ සහතිකයක් නොදෙන බවය.  එය ජවිපෙ තාවකාලික ව්‍යාජ බහුජන ව්‍යාපාරයක් පමණක් බවය.

නවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *