ජනාධිපතිවරණයට නාමල්ගෙනුත් අපේක්ෂකයෙක්!

0

2024 ජනාධිපතිවරණය සඳහා තම කඳවුර සහ රට ජයග‍්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබුණේ මීට මාස දෙකකට ඉහත දී මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කරමින්ය. ඉන් පසුව ද අවස්ථා ගණනාවකදී නාමල් විසින් එසේ පවසා තිබිණි. මෙම ප‍්‍රකාශයේ දිග, පළල, ගැඹුර ගැන මනා අවබෝධයක් සහිතව නාමල් එසේ කියන්නට ඇතැයි සැකයක් නැත. නාමල්ගේ ජනාධිපති අපේක්ෂකයාට පැවරෙන වගකීම් සහ සුදුසුකම් පෙළ ගැස්ම හරි පැහැදිලිය. අංක එක තම කඳවුර ජයග‍්‍රහණය කරවීමය. දෙක රට ජයග‍්‍රහණය කරවීමය. තෙවැන්න රටට ආදරය කිරිමය. ඒ අනුව ඔහු කියන ජනපති අපේක්ෂකයාගේ පළමු කාර්යභාරය විය යුත්තේ ”තම කඳවුර”‍ රැකීමය. ”‍තම කඳවුර”‍ ජයග‍්‍රහණය කරවීමය. ඒ අරමුණ සපථ කරනු ලබන අපේක්ෂකයකු මේ දිනවල යුහුසුළුව සොයමින් සිටින බව නාමල්ගේ වැඩ රටාව අනුව රටට පැහැදිලිය.

රාජපක්ෂවරු සහ පොහොට්ටුව

ඉතාම කෙටි කාලයක් තුළ දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘති ගණනාවක් හරහා වේගයෙන් ජනතාව අතරට ගෙන ගිය, ඒ ප‍්‍රචාරක ව්‍යාපෘතින්ගේ සාර්ථකත්වය නිසාම ඉහළම ජනප‍්‍රසාදයකින් විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කළ මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ ලාබාලතම වගේම සාර්ථකම පක්ෂය බවට පත් වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැතිනම් පොහොට්ටුව බවට විවාදයක් නැත. ආරම්භයේ පටන් පොහොට්ටුවට නායකත්වය දුන් රාජපක්ෂවරු වගේම ඔවුන් හා ගජමිතුරු සුහදත්වයකින් කටයුතු කළ ව්‍යාපාරිකයන් පිරිසකගේ ද ඇඞ්වර්ටයිසින්කරුවන්ගේ ද අනුහසින් ඉතාම ඉහළ ගණයේ ප‍්‍රචාරක වැඩපිළිවෙලක් දියත් වූ අතර ඒ හරහා රටවැසි ජන මනස තුළ කාවද්දන ලද අනාගතය පිළිබඳ විශ්වාසය, සාර්ථකත්වය පිළබඳ බලාපොරොත්තුව මෙතැකැයි කිව නොහැකි තරම්ය. අහස උසට නැගි බලාපොරොත්තු කන්දක් හිතේ දරාගෙන මේ රටේ අතිමහත් බහුතරයක් වූ ජනතාවක් සිය ඡන්දය 2019දී පොහොට්ටුවය ලබා දුන්නේ, ඒ සුන්දර බලාපොරොත්තු එකින් එක මහ පොලොවේ ඉෂ්ටවනු ඇතැයි කල්පනා කළ නිසාය. එහෙත් ඉතාම කෙටි කාලයක් තුළ සිය ප‍්‍රාර්ථනාවන් කිසිවක් ඉටුකිරීමට සිය ඡුන්දය ලබා බලයටපත් පාලකයන් අසමත් බව තේරුම් ගත් මෙරට පුරවැසියා අවසානයේ අවබෝධ කොට ගත් පැහැදිලි සත්‍යය නම් ඒ දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතිය තුළ අටෝප සාටෝප වියතුන්ගෙන් ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ට් කතා වගේම හිටිගමන් ප‍්‍රාතීර්භූත වූ නාගලෝක සර්පයන්ගෙන් මනාකොට ආවරණය කොට රට හමුවට ගෙනවිත් ඇත්තේ පරණ පුරුදු රාජපක්ෂවාදයම පමණක් බවය. එසේ තේරුම් ගෑනීමේ ප‍්‍රතිඵලය අති බිහිසුණු වගේම ප‍්‍රචණ්ඩකාරීව රට පුරා ඇවිලූ‍ණු ගිනිදැල් සහ ම්ලේච්ඡු මිනිස් ඝාතන මතින් අවසන් වූ බව නැවත නැවතත් සටහන් කරන්නට වීම ද අතිශය ඛේදජනකය.

ඒ බිහිසුණු ප‍්‍රතික‍්‍රියාව අවසානයේ එදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයේ නාමයෙන් බලයේ රැඳී සිටි රාජපක්ෂවරුන්ට තවදුරටත් බලය රැකගැනීමට නොහැකි වූවා පමණක් නොව එල්ල වූ මහජන විරෝධය හමුවේ බලය අතහැර පළායාමට ද සිදුවිය. කෙසේ වෙතත් පොහොට්ටුවට සිය ඡන්දය භාවිත කළ දස දහසක් පුරවැසියෝ ද එකී මහජන විරෝධයේ ප‍්‍රබල කොටස්කරුවන් වූ බව අමතක නොකළ යුතුය.

රනිල්ගේ වැල් පාලමෙන් ගොඩයාම

රාජපක්ෂවරුන් බලය අත්හැර යමින් සිටිය දී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී වූ රනිල් වික‍්‍රමසිංහ 2022 මැයි මස අගමැති ධුරය භාර ගත්තේය. ඉන්පසුව තමන් භාරගත් අභියෝගයේ බැරෑරුම්කම රට හමුවේ ප‍්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේය. ඒ මෙ‍සේය,

”මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ.”

අගමැති රනිල් එසේ කියා සිටියේ, ඔහු වඩාගත් දරුවා කිසිවකු නොව රාජපක්ෂවරු විසින් අර්බුදයකට ඇද දැමූ මේ රටේ ආර්ථිකය බවය. දරුවාගේ හිමිකරුවා අනෙකෙකු වූ නිසාම මේ ගමනේ වගකීම රනිල්ට ද අනතුරුදායක විය. ගරාවැටුණු වැල් පාලම කඩා වැටුණොත් රනිලූ‍ත්, රනිල්ගේ දේශපාලනයත් අවසන් වීමට නියමිතව තිබිණි. රටේ ආර්ථිකයත් අවසන් වෙනවා වගේම ආර්ථිකය කඩා වැටුණොත් රටත් රටවැසියාත් විනාශ මුඛයට යනවා සිකුරුය.

එසේ රටේ අභියෝගයට කරගැසූ අගමැති රනිල් දින කිහිපයක් ඇවෑමෙන් ජනපති බවට පත්විය. කොහොම වුණත් දරුවත් කැටුව ජනපති රනිල් ඉතාම කෙටි කාලයක් තුළ තුවාලයක් සීරීමක්වත් නොවී ඒ වැල් පාලමෙන් එගොඩ විය. දැන් දරුවා සිටින්නේ රනිල්ගේ හිමිකාරිත්වය යටතේය. දැන් දරුවා හදාවඩා ගන්නේ රනිල්ගේ පිය සෙනෙහසට යටත්වය.

නාමල් රාජපක්ෂගේ අර්බුදය පැන න`ගින්නේ මෙතැන් සිටය. මන්ද රනිල් වැල් පාලමේ කතාව කියද්දී රනිල් විරෝධීන් වගේම රාජපක්ෂ විරෝධීන් කියා සිටියේ, රනිල් මේ වැල්පාලමෙන් එගොඩ කරන්න හදන්නේ රාජපක්ෂ පුත‍්‍රයා බවය. ඒ අන් කිසිවකු නොව නාමල් රාජපක්ෂ බව කාටූන් ශිල්පීන් විසින් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන්නට ද විය. එකී චෝදනාව රනිල් වික‍්‍රමසිංහට වූ නමුත් ඒ මොහොතේ රාජපක්ෂවරුන්ට එය මහත් අස්වැසිල්ලක් වූ බව නිසැකය. මොකද රටපුරා නැගුණු ජනතා අප‍්‍රසාදය නිසාම බලය අත්හැර පළාගිය රාජපක්ෂවරුන්ට නැවත මේ රටේ බලය පිළිබඳ පුංචි හරි අවස්ථාවක් උදාවනු ඇතැයි සිතිය නොහැකි වටපිටාවක, නැවත බල සිහිනයක් ඉතිරි වුණා නම් ඒ වැල් පාලමේ දරුවා මෙන් රනිල් වික‍්‍රමසිංහයන්ගේ උරමත නැග සිය ගමන යා හැකි යැයි නාමල්ලා කල්පනා කිරීම තුළය.

එහෙත් නාමල්ලාගේ බල සිහින බිඳ වැටෙන්නට ගත වූයේ ඉතාම කෙටි කාලයකි. රනිල් තමන්ගේ වැල් පාලමේ ගමන සාර්ථක කරගත්තේ, රාජපක්ෂවාදී වැඩපිළිවෙළකින් මේ රට ගොඩගත නොහැකි යැයි රටට පවසා තමන්ගේම වූ වැඩපිළිවෙලක් ඔස්සේ යන ගමනට සහාය දක්වන පිරිසද කැටුව රට වෙනුවෙන් අසීරු පියවර සීරු මාරුවට තැබූ නිසාය. එසේම රාජපක්ෂවරුන්ගේ අඬෝවැඩියාව ද නෝක්කාඩුකම් ද විටින් විට බාධා කිරීම් ද නොසලකා කටයුතු කිරීම නිසාය. රාජපක්ෂලාට තවදුරටත් රනිල් සම`ග මේ ගමන යාමෙන් සිය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි බව තේරුම් ගත්තේ මේ අතරතුරය. මුලින්ම කැබිනට් ඇමතිකම් දහයක් රාජපක්ෂවරු නම් කරන කණ්ඩායමට ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ද, පසුව ප‍්‍රතිසංස්කරණ පනත් සහ යෝජනා සම්බන්ධයෙන් විවේචන එක් කරමින්ද, පනත්වලට සහාය ලබා නොදෙමින්ද, මගහැර සිටීමෙන් ද රාජපක්ෂවරු සහ ඔවුන්ගේ කණ්ඩායම ජනපති රනිල්ගේ ගමන තවදුරටත් අසීරු කරන්නට වෑයම් කළේය. නාමල්ගේ රාජපක්ෂවාදී ගමන නැවත ඇරඹුණේ ඒ මාවත දිගේය.

රාජපක්ෂවරු තනිවීම

එළැඹෙන ජනාධිපතිවරණයේ දී අවස්ථානුකූලව තමන් ඇතුළු කණ්ඩායම ඊට සුදුසු අපේක්ෂකයෙක් නම් කරනවා යැයි ද මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වන්නේ එසේ නම් කරන අපේක්ෂකයා යැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නමින් පෙනී සිටින නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මේ දිනවල රට හමුවේ කියමින් යයි. එවැනි ප‍්‍රකාශයක් මහත් වූ ස්වයං විශ්වාසයකින් පැවසුව ද ඊට අදාළ තර්කය ගොඩනගන්නේ ඔවුන්ගේම වූ උපකල්පනයක් මත වීම මෙහි ඇති හාස්‍යයයි. මන්ද රාජපක්ෂවාදී ඇතැමුන් මාධ්‍ය හමු අමතා එකී තර්කය පැහැදිලි කළේ, පොහොට්ටුවට ඡුන්දය දුන් හැටනම ලක්ෂයෙන් දහනව ලක්ෂයක් ඉවත්ව ගියත් තවමත් ඔවුන්ට පනස් ලක්ෂයක ඡුන්දදායකයන් සිටින බව කියමිනි.

නමුත් ”ගෝඨා ගෝ හෝම්” අරගලයත් සම`ග රාජපක්ෂවරු සහ රාජපක්ෂවාදය පිළිබඳ කළකිරුණු පොහොට්ටු ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට ජනපති රනිල් වික‍්‍රමසිංහට සහ ඔහුගේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් සිටී. තවද එදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයේ වැඩි කොටසකට උරදුන් වියත්මග ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ පිරිස ද ස්වාධීනව දේශපාලනය කරන බව පවසා විපක්ෂයේ කටයුතු කරමින් සිටී. එසේම තවත් ගම් මට්ටමේ සැලකිය යුතු පිරිසක් සම`ගි ජන බලවේගය සම`ග ද ජාතික ජන බලවේගය සම`ග ද ගොනුවෙමින් සිටින අතර අතිමහත් බහුතර පොහොට්ටු ඡුන්දදායකයන් නිශ්ක‍්‍රීයව, දේශපාලනයෙන් ඈත්ව සිටින බව නාමල් ඇතුළු රාජපක්ෂවාදී කණ්ඩායම ගණන් බලා නොමැති බව පැහැදිලිය. මේ අතර පොදුජන පෙරමුණ නමින්ම මේ දිනවල සිදු වන ඇතැම් ප‍්‍රදේශයක රැස්වීම් සඳහා නාමල් රාජපක්ෂට හෝ මේ රාජපක්ෂවාදී නියෝජිතයන්ට හෝ සහභාගී වීමට ඉඩ නොදීමේ ප‍්‍රවණතාවයක් ඇතිව තිබේ. පසුගියදා මීරිගම පැවැති පක්ෂ ආසන බල මණ්ඩලයේ රැස්වීමට නාමල්ට සහභාගී වීමට ඉඩ ලබා දී තිබුණේ නැත.

එසේම ”මයිනා ගෝ හෝම්” යන්න අරගලයට එක් වූයේ මහින්ද රාජපක්ෂ පිළිබඳ තිබූ ජනතා විරෝධය සංඛේතවත් කිරීම වෙනුවෙන් මිස නැවත සිංහයකු ලෙස පිළිගැනීමට නොවේ. නාමල් පසුගිය දවසක කියා සිටියේ වසරකට පෙර තමන් හැඳින්වූයේ පොඩි මයිනා යන්න දැන් පොඩි සිංහයා ලෙස වෙනස් කර කතා කරන බවය. ඇත්තම කතාව නාමල්ට පොඩි සිංහයා යනුවෙන් ආමන්ත‍්‍රණය කරනවාය කියන එක ප‍්‍රචාරක මෙහෙයුමක් මිසක් අනෙකක් නොවේ. තම කඳවුර තුළ හෝ තමන්ට එසේ නාමකරණයක් ගොඩනගා ගැනීමට නාමල් උත්සහ කළ ද පොදුවේ රටවැසියා ‘පොඩි මයිනා‘ යනුවෙන් නාමල්ට ආමන්ත‍්‍රණය නොකරනු ඇතැයි කල්පනා කිරීම විහිළු සහගතය.

එවන් තත්ත්වයක් රට තුළ ඇති මොහොතක නාමල් ඇතුළු කණ්ඩායමේ ගණන් බැලීම මොනතරම් ප‍්‍රමාණයකට වුවද මුළු රටම ආර්ථික අගාධයකට ඇද දැමූ රාජපක්ෂවාදී ප‍්‍රතිපත්ති වෙනස් නොකරගත් කණ්ඩායමකට කඳවුර රැකගැනීම වෙනුවෙන් නැවතත් රටවැසියා ඡුන්දය පාවිච්චි නොකරනු ඇත. මේ රටේ පාලන බලය අත්කර දීමට රටවැසියන් සිය කැමැත්ත පළ කරාවි යැයි විශ්වාස කිරීම යනු ඔවුන්ගේ අවමානසිකභාවය පිළිබඳ ප‍්‍රශ්නයකි. මේ තත්වයන් හමුවේ නාමල්ලාගේ දේශපාලන වුවමණාවන් තුළ සබුද්ධිකභාවයක් තිබේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී විය හැක්කේ නාමල් විසින්ම තම කඳවුර වෙනුවෙන් වෙනත් අපේක්ෂකයකු නම් කිරීමය. මන්ද තමන්ගේ ජාම යන්තමින් හෝ බේරාගැනීමට වෙන විකල්ප නැති බැවිනි. ඒ කවරක් වුවත් එදා පොහොට්ටුවට ඡුන්දය ලබාදුන් අතිබහුතරයක් අද රාජපක්ෂවරු ප‍්‍රතික්ෂේප කර ඇති තත්වයන් හමුවේ තවදුරටත් නාමල්ලා ගෙන යන මේ රාජපක්ෂවාදී පටු කඳවුරුකරණය නිසා රාජපක්ෂවරු දේශපාලනිකව හුදකලාභාවයට පත් වෙමින් ක්ෂය වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

නවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *