සංවර්ධිත ශ්‍රී ලංකාවක් යෝජනා කරන්නේ රනිල් පමණය

0

”සංවර්ධිත රටක් දක්වා ශ‍්‍රී ලංකාව ගොඩනැංවීම” ඉලක්කය කරගත් දේශපාලන නායකත්වයක් දැන් රටට ලැබී තිබේ. මෙය විශේෂයෙන්ම අවධාරණයෙන් සඳහන් කළේ සංවර්ධිත රටක් ගොඩනැංවීමේ ඉලක්කය පසෙකලා වෙනත් බහුබූත වුවමණාවන් වෙනුවෙන් ආණ්ඩුකරණය සංවිධානය වීමේ මෑතකාලීන ප‍්‍රවණතා තිබීම නිසාය. මේ යුගයට පෙර අවසන් වරට මෙරටට ඇත්ත සංවර්ධන ඉලක්කයක් ගෙන ආවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. නමුත් ඔහුගේ එම ඉලක්කය ජයගැනීමට ඉඩ නොදෙමින් එල්ල වූ මාරාන්තික විරෝධයන් හමුවේ එය පූර්ණ සාර්ථකත්වය කරා ගෙන ගියේ නැත. අතර මඟ නැවතිනි. යළිත් ඒ සංවර්ධිත රටක ඉලක්කය ගෙන ආවේ රනිල් වික‍්‍රමසිංහ විසිනි. ඒ මුල් වරට යළි පුබුදමු ශ‍්‍රි ලංකා වැඩසටහන හරහා ප‍්‍රසිද්ධ කරනු ලැබු නමුත් එය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත. යහපාලන යුගයේදීද මෙම ඉලක්කය වෙත යැමට ගත් උත්සාහය ඇතුළතින් මෙන්ම පිටතින්ද එල්ල කළ බාධා කිරීම් හමුවේ අහවර විය. රටත් බංකොලොත් වෙන තැනට පත් කිරීමට ඒ බාධා කිරීම් දුර දිග ගොස් තිබිණි.

අද ජනාධිපතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ රට ඉහළ සංවර්ධිත තලයකට ගෙන ඒම ඉලක්ක කරගත් වැඩසටහනක් යළි ක‍්‍රියාත්මක කරමින් තිබේ. එය සිදු කළ හැක්කේ රනිල් පමණක් බවට වන විශ්වාසය ද අද ජනතාව තුළ ගොඩනැඟිම නිසා ඔහුගේ වැඩපිළිවෙලට ජනතා අනුමැතියද නිරායාසයෙන්ම ලැබී තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මීට පෙර සිටි බොහෝ පාලක කණ්ඩායම්වල වුවමණාව වූයේ රටේ සංවර්ධනය නොවේ. ඔවුන්ට තිබුණේ කෙසේ හෝ පැවැත්ම සහතික කරගැනීම වෙනුවෙන් ජනප‍්‍රිය සටන් පාඨ, සහන මළු දේශපාලනය, ඇස් ගිනි කන වැටෙන මල් වෙඩි සංදර්ශන මතින් ගෙන ගිය සිල්ලර දේශපාලනයකි. වරෙක සංවර්ධනය වෙනුවෙන් ගත යුතු උපාය උපක‍්‍රම පසෙකට දමා, ජේ.ආර්. ජයවර්ධන ගොඩනැගූ ආර්ථික වැඩපිළිවෙල 17 වසරක සාපය අවසන් කරනවාය කියමින් පසෙක දමා, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට ගොස් ඇන ගත්තේය. තවත් වරෙක බොරු දේශපේ‍්‍රමී ජාතිකවාදී සටන් පාඨ කරලියට ගෙන වර්ගවාදී වුවමණාවන් වෙනුවෙන් ආණ්ඩු කරන්නට ගියේය. සංවර්ධනයේ නාමයෙන් කොමිස් ජාවාරම් සිදු කළ අතර රට ණය උගුලකද සිරකරන ලදී. රට දූෂිතම හා ත‍්‍රාඩ රාජ්‍යයක් බවට පත් විය. ජාතීන් අතර වෛරය පතුරුවා රටම භේද බින්න කරන ලදී. ජාතික ආරක්ෂාව රකින්නට කියා ආණ්ඩු හැදු පිරිස් සිස්ටම් හදනවා කියමින්, සිය රට දේ සිරි සැප දේ සෙල්ලම කරන්න ගොස් අවසානයේ තමන්ටවත් ආරක්ෂාව සහතික කරගන්නට නොහැකිව ආණ්ඩු අතැරදමා රටෙනුත් පලා යන තැනට පත් විය. ආහාර ඖෂධ ඉන්ධන පොහොර හිඟයෙන් රට බැට කෑවේය. රාජ්‍ය ආදායම්, විදේශ විනිමය ආදායම් නැත්තටම නැති කර තිබිණි. රට බංකොලොත් කළේ නැවත ගොඩනැගීමක් ගැන හිතන්නටවත් බැරි තරම් ආගාධයකට තල්ලූ‍ කරමිනි.

රනිල් රට භාර ගත්තේ ඉන් පසුවය. එතැනට වට්ටවනු ලැබු රාජ්‍යයක් යළි සංවර්ධනයේ මාවතට ඇද දැමීම පහසු වුයේ නැත. සියල්ලට පෙර රට යළි හුස්ම ගන්නා තත්වයට පත්කිරීම විය යුතු තිබිණි. තුවාල සුවපත් කරගත යුතු විය. ඒ වෙනුවෙන් නිසි වෙද හෙදකම් රැසක් කිරීමට සිදු විය. මෙම අභියෝග ජය ගෙන අද යළි රට දෙපයින් සිටුවා සීග‍්‍ර සංවර්ධනයක් ඉලක්ක කරගත් මාවතට රට ගෙන ඒමට ජනාධිපති රනිල් සමත්ව තිබේ. ඔහුගේ දේශපාලනික සටන් පාඨ වල රටේ සංවර්ධනයෙන් මෙපිට සිල්ලර ජනප‍්‍රිය වුවමණාවන් සපුරාගැනීම ගැන කියවෙන්නේ නැත.

මීට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය පිළිබඳ විද්වත් සමුළුවට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ, ”… ශ‍්‍රී ලංකාව මුහුණ දුන් ණය අර්බුදයේ ප‍‍්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍‍්‍රතිව්‍යුහගත කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටිනවා. එහිදී තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් ගමන් කළ මාර්ගය අනුගමනය කිරීමට අප අපධානය යොමු කර තිබෙනවා. එහිදී අපට ඉහළ තරඟකාරී ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

අපට තවදුරටත් පෙර සිටි අන්දමින් කුඩා ආර්ථිකයක් ලෙස කටයුතු කළ නොහැකියි. අප අපේ ආර්ථිකය පුළුල් කරගත යුතුයි. එහිදී නව තාක්ෂණික ක‍්‍රමවේද භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය විදේශ ආයෝජන සහ ප‍්‍රාග්ධනය සපයා ගත යුතුව තිබෙනවා.

එසේම අප අනෙකුත් රටවලට බරක් නොවිය යුතුයි. අප රටක් ලෙස තවදුරටත් අන් රටවල් මතම රැ`දී නොසිටිය යුතුයි. අපේ රටේ දියුණුව අපම උදා කරගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය සිදු කර තිබෙන අතර යුද්ධයකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ වියට්නාමය ඒ සඳහා උදාහරණයට ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර ප‍්‍රදේශයකයි. එබැවින් අපට ආර්ථික වර්ධනය උදාකර ගැනිමේ බොහෝ අවස්ථා පවතිනවා. අප සිටින නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අද පුළුල් වර්ධනයක් සිදුවන බව ඔබ දකිනවා. ඉන්දියාව අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටිනවා. ඉන්දියන් සාගර කලාපය, ඉදිරියේ දී ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කලාපය බවට පත් වෙනවා.

දැන් අප සියලූදෙනාටම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම ගෝලීය ණය අර්බුදය පිළිබඳ සමාලෝචනය කිරීමට කාලය උදා වී තිබෙන බව කිවයුතුයි. අප එයින් බැහැර නොවිය යුතුයි. එහිදී සාමුහිකව සහ කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අප කණ්ඩායමක් ලෙස නව උපාය මාර්ග ඔස්සේ ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලූ‍දෙනාට ආරාධනා කරනවා…” යනුවෙනි. ජනපතිගේ දැක්ම පැහැදිලිය.

එසේම පසුගියදා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී ඔහු නව ඉසව්වකට පාසල් දරුවන් නැතිනම් රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුර කැඳවීම සිදු කළේය. මෙය අතිශය වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. මෙරට සංවර්ධන ඉලක්කය ජයගැනීමට නම් මෙරට තරුණ පරපුර ලෝකය සමඟ වන බරපතල ගනුදෙනුවකට යෑම සිදුවිය යුතුය. විශේෂයෙන්ම ගෝලීය ප‍්‍රාග්ධන වෙළඳ පොළට පිවිසිය යුතුය. එය කට වචනයෙන් දෙඩවීමකට සීමා නොකර ඒ සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙලක්ද සකස් කර ඊට දරුවන් යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. මෙහිදී පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් තෝරාගත් පාසල් 100ක ”ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ” පිහිටුවීමේ වැඩසටහන ආරම්භ කළේය. එහිදී සිසුන් සහ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව උදාකර දීමටත් පියවර ගෙන තිබේ.

එමෙන්ම මෙම වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙම වසර තුළදීම දිවයින පුරා තවත් පාසල් 200-300ක් අතර ප‍්‍රමාණයක ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර තිබෙන බවත් ප‍්‍රකාශයට පත්විය.

මෙම වැඩපිළිවෙල මඟින් අනාගත සංවර්ධිත ශ‍්‍රී ලංකාව යනු කවරාකාර මුහුණුවරක් ගන්නා රටක්ද යන්න ගැන ඉඟියක් සපයා ඇත. ලෝකය ජයගැනීම එහි ඉලක්කයය. ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව කිහිපවතාවක්ම අවධාරණය කර තිබු අතර ඒ සඳහා දැනටමත් පියවර ගෙන තිබේ. මේ අනුව ගෝලීය තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව (ජාත්‍යන්තර* වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම මෙම ඉලකක් සහගත වැඩපිළිවෙලෙහි ප‍්‍රමුඛම අංශ වේ. එමෙන්ම ලෝකය මුහුණ දෙමින් තිබෙන දේශගුණික විපර්යාස අර්බුදය මෙන්ම ගෝලීය ණය පිළිබඳ අර්බුදය රටට හිතකර ලෙස විසඳා ගැනීම වෙනුවෙන් බරපතල ජාත්‍යන්තර මෙහෙයුමකද ජනාධිපතිවරයා යෙදී සිටී. එම තත්වයන්ද රටේ සංවර්ධනය හා කෙලින්ම බැදී තිබෙන අතර ඒ වෙනුවෙන් රට සූදානම් කිරීමද ඔහු කරපිටට ගෙන ඇත.

රටේ දේශපාලන බලය අත්පත් කරගැනීමට, ජනාධිපති සිහිනවල වෙලී සිටින විපක්ෂ කණ්ඩායම් විසින් තමන්ගේ දේශපාලන ඉලක්ක ලෙස ඉදිරිපත් කරන කරුණු පෙළ ගස්වා බැලූ විට, රට සංවර්ධනය කරමින් ජනතාවගේ ඇත්ත අභිලාශයන් පූරණය කිරීමෙහි ඉලක්ක ඒ තුළ දකින්නට නැත. රට සංවර්ධනය කිරීම ගැන ඇතැමුන් කියන්නේ වංචාව දූෂණය නවත්වා, හොරකම් කළ ධනය මෙරටට රැගෙන ආ විට රට සංවර්ධනය වන බවය. ජනතාවට සහන මළු පිට මළු ලබා දීමෙන් රට සංවර්ධනය වන බවය. බදු සහන දුන් විට රටේ ආර්ථිකය මේම මේම වර්ධනය වන බවය. පාසලකට බස් රථයක් දුන් විට රටේ සංවර්ධනය වේගවත් වීම සිදුවෙන බවද ඇතමෙක් සිතා සිටිති. සමුපාකාරයේ බඩු විකුණා ලාභ අරන් පෙන්නුවාම ඒ වගේ රටේ ආර්ථිකයත් ලාභ කරන්න පුලූ‍වන් බව ද කියමින් තිබේ. නගර සභා මැතිවරණයක් දිනලා රටත් දිනවන්න පුලූ‍වන් බව කියති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ නැතුව තමන්ගේ යාලූ‍වන්ගෙන් ඩොලර් 500 ගානෙ ගෙන්වා ගත්තාම රට දියුණු කළ හැකි බව කියති. මේ ආකාර නන්දෙඩවිලි රැසක් මේ විපක්ෂය කරමින් සිටී. මේවා රටක් සංවර්ධනය කිරීම සමඟ සම්බන්ධයක් නැත. නමුත් මේ සිල්ලර වැඩවලින් තමන්ගේ ඡුන්දගොඩ වැඩි කර ගැනීමට හැකි බව නම් විපක්ෂය කල්පනා කරනවා විය හැකිය.

කොහොම නමුත් ජනාධිපති රනිල්ගේ මුලිකත්වයෙන් සිදු කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ටත් මේ අය සහමුලින්ම විරුද්ධය. එය වැලැක්වීමට දන්නා දහන් ගැට සියල්ලම දමමින් තිබේ. ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ වන දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට ද එරෙහිය. පසුගිය සතියේදී මේ ණය ප‍්‍රතිවුහගත කිරීම සිදුවුවහොත් සේවක ආර්ථ සාධක අරමුදල නැත්තටම නැතිවී යන බවත් එහි සාමාජිකයන්ට ප‍්‍රතිලාබ කපා හැරෙන බවටත් ආදී වශයෙන් ගණන් හදා, ප‍්‍රස්තාර වගු ගසා මහා ප‍්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි. නමුත් එය පදනමක් නැති බොරු බේගලයක් බව සමාජ මාධ්‍ය ඇසුරු කරන සාමාන්‍ය මිනිසුන් විසින්ම පැහැදිලිව තර්කානුකූලව පෙන්වා දී තිබිණි. මේ බේගල්කාරයෝ කිහිප දෙනෙකු මහ බැංකුව ඉදිරිපිටට ගොස් ”මහ බැංකු අධිපතිට එන්න කියාපියෝ, මේවාට උත්තර දෙන්න කියාපියෝ” කියමින් මහා අරගලයක් දියත් කිරීමටද කටයුතු කර තිබු නමුත් මහ බැංකු අධිපතිවරයා සියලූ‍ ප‍්‍රශ්නවලට උත්තර දෙන්නම් සාකච්ඡුාවට එන්නැයි ආරාධනා කළ විට එයට සහභාගී වන්න කිසිවකුත් ගියේ නැත. ඒ ගියා නම් ඔවුන් කළ බොරුව හෙළිදරව් වීම නිසැකවම සිදු වීමට නියමිත විය. විපක්ෂයේ අනෙක් සටන් පාඨ ගැනද කතාව එයය. බොරු තොරතුරු දත්ත පෙන්වා බොරු තර්ක මතු කරමින් ජනතාව නොමඟ යැවීම හැර වෙන කිසිදෙයක් ඒවායේ නැත. රජය ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ගත් ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව ගෙන ආ සියලූ‍ ප‍්‍රහාරයන් නිකම්ම පුස් වෙඩි වී ගිය අයුරු පසුගිය කාලයේ පැහැදිලිව ජනතාවට දැක ගන්නට හැකිව තිබිණි. මෙහෙව් විපක්ෂ කණ්ඩායම්වලට රටක් සංවර්ධනය කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව පැහැදිලිය. රට මුහුණ දෙන අර්බුද කිසිවකට අඩුම තරමින් සාකච්ඡුාවකට ගන්න තරමින් වත් විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමක් මෙතෙක් විපක්ෂය සිදුකර නැත. තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මැයෙන් විටින් විට ප‍්‍රකාශයට පත්කරන කියැවිලි ලියැවිලිවල තිබෙන තරමකට ඇත්තේත් කලින් කී ලෙසම සිල්ලර ජනප‍්‍රිය සටන් පාඨ මිසක් රටේ සංවර්ධනය ඉලක්ක කරගත් නිශ්චිත උපාය මාර්ග වැඩපිලිවෙල හෝ ප‍්‍රතිපත්ති කිසිවක් නොවේ.

එහෙත් මේ ජනප‍්‍රිය කියැවිලි ලියැවිලි කිසිවක් නොමැතිව ජනාධිපතිවරයා රට හමුවේ රටේ ඇත්ත තත්වය පහදා දී ඒ වෙනුවෙන් ගන්නා විසඳුම් ක‍්‍රියාවලිය ගැන පැහැදිලිව සඳහන් කරමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සිදුකරමින් තිබේ. සංවර්ධිත රටක් කරා යන් මාර්ග සිතියම පෙන්වා තිබේ. ඒ මඟ යමින් තිබේ. ඒ සඳහා වන අධිෂ්ඨානය කැපවීම පෙන්වා තිබේ. එහි සාර්ථකත්වයන්ද අද රට අත්විඳිමින් ද තිබේ.

 ජනාධිපතිවරයා රටේ ආර්ථිකය නංවාලිමෙහි අනෙක් වැදගත්ම අංශ දෙක ලෙස හඳුනාගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තයය. සංචාරක ක්ෂේත‍්‍රයේ දැවැන්ත වර්ධනයක් අපේක්ෂා කරමින් නව සැලසුම්, වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර තිබේ. මේ මඟින් රටට විදේශ විනිමය ගලා ඒම වර්ධනය වනු ඇත. අපනයනය ඉලක්ක කරගත් කෘෂි ක්ෂේත‍්‍රයේ නවීකරණය වෙනුවෙන් දිර්ගකාලීන සැලසුම් සකස් කරමින් තිබේ. විශේෂයෙන්ම ලෝකය තුළ ආහාර සඳහා වන ඉල්ලූ‍ම සහ හිඟ තත්වය අනුව මෙරටට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සහ ලෝක අවශ්‍යතාවය සපුරාලීමට දායකවෙමින් රටට විදේශ විනිමය ඉපැයීමේ නව මාර්ගයක් විවෘත්ත කරගැනීම මේ අනුව සිදුවේ. එසේම විදේශ පේ‍්‍රශන ඉලක්ක කරගත් වැඩපිළිවෙලකටද අවතීරණය වී ඇත. වෘත්තිකයන්, පුහුණු ශ‍්‍රමිකයන් ගොඩනගා ලෝකයට අවශ්‍ය මානව ප‍්‍රාග්ධනය සපුරාලීමෙන් විදේශ පේ‍්‍රශන වර්ධනය කරගැනීමට මෙන්ම රට තුළ බුද්ධි ජනනයට ඉවහල් වන්නකි. එමෙන්ම දකුණු ආසියානු කලාපයේ ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාබ මෙරටට අත්පත් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය උපාය මාර්ගික වැඩපිළිවෙලට පිවිස ඇත. ඉන්දියාව ප‍්‍රමුඛ කලාපීය රාජ්‍යයන් සමග සහසම්බන්ධිය ආර්ථික ක‍්‍රියාවලියකට අවශ්‍ය පියවර ගෙන ඇත. කලාපයෙන් පිටතත් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගනිමින් බහුපාර්ශ්වීය සහ ද්විපාශ්වීය වෙළඳ ගිවිසුම් හරහා රටට විදේශ විනිමය ඉපැයීමේ මාර්ග විවෘත්ත කරගනිමින් තිබේ. මේ ආදී වශයෙන් ගෙන තිබෙන පියවර සියල්ලේ අවසාන ප‍්‍රතිපළය වන්නේ රට සංවර්ධිත රාජ්‍යක් ලෙස ගොඩනැගීමය. එහි සකලවිධ ප‍්‍රතිලාබයන් මේ රටට මිස ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පාර්ශ්වික දේශපාලනයකට හෝ නොවේ. කෙසේ නමුත් මේ පියවර කිසිවක් ජනප‍්‍රිය හෝ පහසු දේශපාලන තේරීමක් නොවේ. ඒ මෙම ක‍්‍රියාදාමය සාර්ථක කරගැනීමේ දුෂ්කරතාවයන් අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසාය. විශේෂයෙන්ම මෙරට විපක්ෂ දේශපාලන කල්ලි කණ්ඩායම් වල බාධා කිරීම් කඩාකප්පල් කිරීම් මධ්‍යයේ මෙම ඉලක්ක ජය ගැනීමට සිදුව ඇති බැවිනි.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *