මිනිස්සුන්ට ඕන කාලා ඇඳලා සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න

0

නැගෙනහිර පළාතේ සංචාරය නිමකළ ජනපති රනිල් කොළඹ පැමිණ ඉරිදා දිනය වෙන් කර තිබුණේ අමාත්‍ය මණ්ඩල සංදේශ මොනවාදැයි අධ්‍යයනය කිරීමටය. පෞද්ගලික හමුවීම් කිහිපයක් යෙදී තිබුණ ද වෙනත් රාජකාරි කිසිවක් එදින යොදාගෙන නොතිබුණේ මේ කටයුත්ත වෙනුවෙනි.

ස`දුදා පෙරවරුවේ ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි අස්වැසුම ප‍්‍රතිලාභ ගෙවීම ගැන සාකච්ඡුා කළේය. මෙම සතියේ සිට එය ගෙවන බව ජනපති දැනුම් දුන්නේ ඇමතිවරුන්ටය. ජනාධිපති විදේශීය සබඳතා ශක්තිමත් කර ගනිමින් දේශීය ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරන බව මෙහිදි කියැවිනි.

කැබිනට් හමුව අවසන් වී ජනපති රනිල් පිටතට එද්දී ජනපති පාර්ලිමේන්තු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සමඟ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකු රැදී සිටියේ ජනපති හා අගමැති දෙදෙනාම මුණ ගැසීමටය. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වන පේ‍්‍රමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ හා ජගත් සමරවික‍්‍රම ඒ අතර වූහ.

කාලේ කන විපක්ෂය  

”සර් මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ පැමිණිල්ලක් කරන්න.” මහාචාර්ය ආශු කීවේ ජනපති හා අගමැති දෙස බලමිනි.

”විපක්ෂ නායකතුමයි එයාගේ කට්ටියයි උදේට තියෙන මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්න පැය විනාශ කරනවා.” දොලවත්ත මන්ත‍්‍රීවරයා කීය.

”විපක්ෂය කරන වැඬේ හින්දා අපිට විවාදයේ කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙතන වැඩිම අසාධාරණයක් වෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට. අපිට කතාවට විනාඩි 15ක් වෙන් වුනත් විපක්ෂ නායකගේ මේ කෝළම නිසා අන්තිමට අපිට විවාදයේදි ලැබෙන්නේ විනාඩි 4ක විතර කාලයක්. මේක හරිම අසාධාරණයක්.” මන්ත‍්‍රී ජගත් සමරවික‍්‍රම ද කීවේ එවැන්නකි.

”පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නට දිනකට ලක්ෂ 40ට වඩා වියදම් වෙනවා. විපක්ෂ නායකතුමා අවශ්‍ය දේයි අනවශ්‍ය දේයි දෙකම කතා කරන හින්දා මහජන මුදල් නාස්තියක් වෙන්නේ.” මධුර විතානගේ ද කතාවට එක්වූවේ එලෙසිනි.

”මේ කතාව අපි අනන්තවත් පක්ෂ නායක රැස්වීම්වලදී කතා වෙනවා. එතනදි කාලය කළමනාකරණය කරගන්න එකඟ වෙලා සභාවට ආවට පස්සේ ඒක වෙනස් කරනවා. වාචික පිළිතුරු අපේක්ෂිත ප‍්‍රශ්නවලට පැයක් වෙන් කරලා තිබුණත් ඒක පැය දෙක තුනක් මේ අය ඇදගෙන යනවා.” එතනට පැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායක ප‍්‍රසන්න රණතුංග ද මන්ත‍්‍රීවරුන්ගේ කතාව අනුමත කළේය.

”අපි මේ ගැන කතානායකතුමා එක්ක කතා කරන්නම්” ජනපති රනිල් කීවේ අගමැති දිනේෂ් දෙස බලමිනි.

ජනපති එක්සත් ජාතික පක්ෂ සංවත්සර කමිටු නිලධාරීන් මුණ ගැසුණේ ඉන් අනතුරුවය. වැඩකටයුතු ඉදිරියට ගෙන යාම ගැන සාකච්ඡා කොට සවස කළමනාකරණ කමිටුවට තොරතුරු දැනුම්දෙන ලෙස දන්වමින් ජනපති පිටත්ව ගියේ තවත් රාජකාරියක් වෙනුවෙනි.

 එජාපය සංවත්සරයට සූදානම්

මහලේකම් රංගේ බණ්ඩාගේ කැ`දවීමෙන් පිරිස සාකච්ඡුාවට යොමු වූ අතර නියෝජ්‍ය නායක රුවන්, උපනායක අකිල, සභාපති වජිර හා ජාතික සංවිධායක සාගල ඇතුළු පිරිස සාකච්ඡාවට එක් වූවෝය. සංවත්සර සම්මේලනයේ වගකිම් පිරිසට පැවරුවේ මහලේකම් විසිනි.

මෙහිදී මතුව ආ පැනය වූවේ සම්මේලනයේ වර්ෂයේ වැරැද්දක් ඇති බව කියමිනි. මහලේකම් රංගේ යැවූ ලිපිවල 56 වැනි සම්මේලනය ලෙස සටහන්ව තිබීම ගැන හිටපු මුදල් ඇමති රවි කරුණානායක ප‍්‍රශ්න කළේය. අවුරුදු හැත්ත ගණනක් සම්මේලන පවත්වපු පක්ෂයක මෙලෙස 56 කියා පළ කිරීම තුළ පාක්ෂිකයා අවුල්වන බව ඔහු පෙන්වා දුන්නේය.

මහලේකම් රංගේගේ ප‍්‍රතිචාරය වූවේ සම්මේලනය හා සංවත්සරය පටලවාගෙන ඇති බවය. පක්ෂය විසින් අනාදිමත් කාලයක් තිස්සේ සංවත්සර හා සම්මේලන පවත්වා ඇති බවත් විශේෂ සම්මේලන පවා පවත්වා තිබෙන බවත් ඔහු කීවේය.

මෙවර පවත්වන්නේ පක්ෂයේ 77 වැනි සංවත්සරය බව කී රංගේ එය පවත්වනුයේ පක්ෂය පිහිටුවූ දිනය සිහි කිරීමට බව කියා සිටියේය. පක්ෂ සම්මේලන පැවැත්වූවේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම් ආදී විශේෂ අවස්ථාවලදී බව ඔහු පෙන්වා දුන්නේය. සංවත්සරය සමඟ මෙවර පවත්වන සම්මේලනය පක්ෂයේ 56 වැනි සම්මේලනය බව මහලේකම් රංගේ කියා සිටියේය.

අවසානයේ සිරිකොත පාලන අංශයේ පැරණිම සාමාජිකාව වූ ඉවෝන්ට කතා කොට සම්මේලන පොත ගෙන්වා ප‍්‍රශ්නය නිරාකරණය කර ගත්තේය. නමුත් පිරිස කියන්නට වූවේ 77 නමින් යා යුතු බවටය. එහෙත් මහලේකම් කීවේ ආරාධනා පත‍්‍ර හා පෝස්ටර් යන දෙකම 56 හා 77 දෙකම සටහන් වන බැවින් මෙය වෙනස් කරන්නට ගියහොත් අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය.

කෙසේ නමුත් නැවත ආරාධනා පත‍්‍ර මුද්‍රණය කිරීමට තීන්දු කෙරුණු අතර නීති අංශයේ දයා පැල්පොල හා රොනල්ඞ් පෙරේරා කියා සිටියේ මහලේකම් රංගේ ආවාට ගියාට දෙයක් කියන්නේ නැති බවය. 56 ඉවත් කොට ආරාධනා පත‍්‍ර සහ පෝස්ටර් මුද්‍රණය කිරීමට තීන්දු කෙරුණු අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන එම ගැටළුව විස`දා දීමට ඉදිරිපත් වූවේය.

ඉන් පසුව සංවත්සර සම්මේලනය පැවැත්වෙන ස්ථානය පරික්ෂා කිරීමට මහලේකම් රංගේ, ශමල් සෙනරත් හා ලසන්ත ගුණවර්ධන ගියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟය.

රැස්වීම පැවැත්වෙන ආකාරය නීරීක්ෂණය කළ පිරිස පසුව යළිත් සවස ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ ජනපති සමඟ පැවැත්වෙන පක්ෂයේ කළමනාකරණ කමිටුවට සහභාගී වීමටය.

කළමනාකරණ කමිටුවේදී ද සංවත්සර සම්මේලනයේ ප‍්‍රගතිය ගැන ජනපති විමසා සිටි අතර මහලේකම් රංගේ ඊට අදාළව කරුණු පැහැදිලි කළේය. 20,000 වැඩි සංඛ්‍යාවක් ආරාධිතයන් ලෙස පැමිණෙන බව කී රංගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පක්ෂ නායකයන්ට, තානාපතිවරුන්ට හා ආණ්ඩුකාරවරුන්ට ආරාධනා කරන්න දැයි ජනපතිගෙන් විමසා සිටියේය.

එය අවශ්‍ය නොවන බව කී ජනපති රනිල් එක් ආණ්ඩුකාරවරයෙකුට පමණක් සංවත්සර සම්මේලනයට සහභාගී විය හැකි යැයි කියද්දී සැමට සිනහව නතරකර ගැනීමට නොහැකි වූහ. සම්මේලනය වෙනුවෙන් කළ යුතු දෑ නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර හා ජාතික සංවිධායක සාගල රත්නායක විසින් භාර ගන්නා ලදි.

ජනවාරියේ සුබ ඵල

සංවත්සර සම්මේලනයේ කටයුතු සාකච්ඡුා කිරීමෙන් අනතුරුව ජනපති රනිල් රටේ තත්ත්වය ගැන පිරිසට කරුණු පැහැදිලි කළේය. සංචාරක ව්‍යාපාරයේ දියුණුව ජනවාරි වන විට රටේ ආර්ථිකයට සුබ ප‍්‍රතිඵල ගෙන දෙන බව ජනපති පෙන්වා දුන්නේය. එසේම ජනපතිගේ ත‍්‍රිකුණාමලයේ හා අරුගම්බේ ගමන ගැන ද ඔහු තොරතුරු හෙලි කළේය.

එහි සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම ගැන ද ජනපති මෙහිදි කරුණු පෙන්වා දුන්නේය. එසේම අස්වැසුම ප‍්‍රතිලාභ මෙම සතියේ සිට ගෙවන බවද ඔහු පැවසුවේය. එහිදි හිටපු මුදල් ඇමති රවි ඇතුළු පිරිසක් යෝජනා කළේ හැමදේම නිකම්ම ලබාදීමේ ආදීනව ගැනය. අස්වැසුම ගන්නා හැම කෙනාටම කුමක්හෝ රාජකාරියක් පැවරිය යුතු බව ඔවුන් කියා සිටියෝය.

තමන්ට ලැබෙන මුදලට එවිට ඔවුන් වගකියන බව ද මෙහිදි කියැවින. ඊට ප‍්‍රතිචාර දැක්වූවේ මහලේකම් රංගේය. ”සර් ඊළග ජනවරම එනකම් මුකුත් කරන්න එපා.” යැයි කියද්දී ”ඔව් ඔව් මේවා අපි සද්භාවයෙන් කියන්න ගිහින් කට වරද්දගෙන තියෙන්නේ.” අනෙක් පිරිස ද එක හඩින් කියන්නට වූහ.

ජනපති මේ සියල්ල අසා සිටියා මිස කිසිවක් කීවේ නැත. මහලේකම් රංගේ ද මෙම සාකච්ඡුාවට ප‍්‍රථම ඔහුගේ උතුරු නැගෙනහිර සංචාරයේ ප‍්‍රගතිය ජනපතිට පිළිගැන්වූවේය.

ජනපති අ`ගහරුවාදා සිය කාර්යාලයට පැමිණෙන විට මැති ඇමතිවරු පිරිසක් ද එහි පැමිණි සිටියෝය. ඔවුන් ඉදිරිපත් කළ පැනය වූවේ එදින ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට භික්ෂූන් වහන්සේලා පිරිසක් බලෙන් කඩාපාත්වීම ගැනය. එය නරක පූර්වාදර්ශයක් බව පිරිස කියන්නට වූහ. මෙය පූර්වාදර්ශයක් වුවහොත් කිසිදු දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවක් පැවැත්විය නොහැකි වනු ඇතැයි මන්ත‍්‍රී වජිර අබේවර්ධන කීවේය.

කුරුන්දි විහාර ගැටළුව ගැන මෙන්ම ත‍්‍රිකුණාමලය ගැටළුව ගැන ද තමන් එදින සවස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක සාකච්ඡුා කරන්නේ යැයි ජනපති පිරිසට කීවේය. ජනපති ඉන් පසුව ගියේ තිරසර සංවර්ධන දිසානතිය පිළිබඳ සාකච්ඡුාවට එක්වීමටය. අගමැති දිනේෂ් ද ඊට එක්ව සිටි අතර අන් රටවලින් උපකාර ලැබෙන තෙක් බලා නොසිට ජාතියක් ලෙස අපම තනියෙන් නැගී සිටිය යුතු බව ජනපති එහිදි කීවේය.

මහනායක හිමිවරුන්ගේ උපදෙස

ජනපති එදින සවස මහනුවරට ගොස් දළදා සමිදු වැදපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් බැහැදුටුවේය. ඔහු සමඟ මේ ගමනට එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික‍්‍රම ද එක්ව සිටියේය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිවරුන් ද ජනපති බැහැ දුටුවේය. මෙහිදි ආණමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන් ජනපතිගේ ක‍්‍රියාකලාපය අගය කළ අතර ඔහුට රට දියුණු කරන්න සැවොම සහාය දිය යුතු බව කියා සිටියහ.

”ජනාධිපතිතුමා අපි බණට ගියාම රටේ ප‍්‍රශ්න ගැන ජනතාව අහනවා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ ඒ ප‍්‍රශ්න ටික ඔබතුමාගෙන් අහන්න. එතෙකොට අපිට ජනතාව අහන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන්.” අනුනාහිමියෝ ජනපතිට කියද්දී ” ඕන දෙයක් අහන්න නායක හාමුදුරුවනේ යැයි.” ජනපති පිළිතුරු දුන්නේය.

එහිදි අනුනාහිමියෝ අයි.එම්.එෆ් ගැටළුව මෙන්ම 13 වෙනි සංශෝධනයේ ඉඩම් ගැටළුව ගැන ද විමසා සිටියහ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක‍්‍රියාකාරීත්වය පැහැදිලි කර දුන්නේය. එසේම 13 වෙනි සංශෝධනය ගැන සියලූ‍ කටයුතු කරනුයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බව කී ජනපති රනිල්, ඉඩම් පිළිබඳ සොයා බැලීමට ජාතික ඉඩම් කොමිසමක් පිහිටුවා එහි බලය ජාතික මට්ටමෙන් පවත්වාගෙන යන බවද කීවේය.

”මිනිස්සුන්ට  ඕනේ කාලා ඇදලා සාමාන්‍ය විදියට ජිවත් වෙන්න. නමුත් කණ්ඩායම් කිහිපයක් ඒක වෙනස් කරන්න හදනවා. පිටින් ගිහිල්ලා ප‍්‍රශ්න හදනවා. කුරුන්දි විහාරයේ ප‍්‍රශ්නයත් ඒ වගේ මට පේන්නේ. මේවට ඉඩ දෙන්න එපා.” අනුනාහිමියෝ කීහ.

තමන් ඊට ඉඩ නොදෙන බව කී ජනපති එම පළාත් වල ප‍්‍රධාන භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජකවරුන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කොට පූජනීය ස්ථානවල ගැටළු විසදන බව කීවේය. ජනපති රනිල් මෙහිදි මල්වතු පාර්ශවයේ අනුනායක දිබුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක සාකච්ඡා කළේය.

ඇමරිකානු දූතයන් දුටු රටේ අසිරිය

ජනපති රනිල් ඇමරිකානු සෙනෙට් සභික ක‍්‍රිස් වෑන් හෝලන් මුණ ගැසුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ය. ඊට ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියේය. එහි ආලින්දයේ ස්වල්ප වේලාවක් කතා බස් කරමින් සිටි ජනපති සෙනෙට් සභික වෑන් හෝලන්ව මන්දිරය පිටුපසට කැදවාගෙන ගියේය.

මන්දිරය පිටුපස ඇති උඩවත්ත කැලේ පෙන්වමින් මහනුවර ඉතිහාසය ගැන දීර්ඝ විස්තරයක් කර සිටියේ සෙනෙට් සභිකව පුදුම කරවමිනි. පැය භාගයක පමණ සාකච්ඡුාවකින් පසු ජනපති දළදා පෙරහැර නැරඹීට කුවින්ස් හෝටලය වෙත ගියේ සෙනට් සභික වෑන් හෝලන් හා මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චැන්ග් ඇතුළු පිරිස ද එක් කරගනිමිනි.

ජනපති ක්වින්ස් හෝටලය වෙත එනවිට ජනතාවගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමකි. පසුදින පෙරවරුවේ ජනපති මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙත ගියේ පාසල් සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් 100ක පිහිටුවීමට යන ප‍්‍රාග්ධන වෙළෙ`දපොල සමාජයේ පළමු සමාජය පිහිටුවීමටය.

ඉතා දක්ෂ ලෙස කටයුතු කරන පාසල් සමාජවලට ත්‍යාග පිරිනමන බව කී ජනපති රනිල් ඉහළම දස්කම් දක්වන සිසුන් සහ ගුරුවරුන් සිංගප්පූරු ප‍්‍රග්ධන වෙළෙද පොල නැරඹීමට යොමු කරන බව ද කීවේය. ජනාධිපති තරුණ කටයුතු අධ්‍යක්ෂ රන්දුල අබේවීර යටතේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.

සිසුදරු දැරියන් සමඟ සුහද කතාබහක නිරතවූ ජනපති රනිල් ඉන් පසු පැමිණියේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් අදියර වන පෙරහැරේ දස්කම් පෑ ශිල්පීන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ සාම්ප‍්‍රදායික උත්සවයට එක්වීමටය.

MEDIAMAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *