රනිල් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි ක්‍රමවේදයක්

රනිල් වික‍්‍රමසිංහ කළේ මොකක්ද? ඔහු සිතන්නේ කොහොමද? ඔහු මොනව කරන්නද හදන්නේ? මේ වැනි ප‍්‍රශ්න සාමාන්‍යයෙන් රනිල් සම්බන්ධයෙන් තිබේ. ඔහුව වටහා ගැනීම පහසු නැත. මේ නිසා රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය කුමක්ද කියා බොහෝ අයට තේරුමක් නැති බව පැහැදිලි කතාවකි. ඒ නිසාම නොමඟ යැවීම් නිතර වෙයි. සමහරවිට ඔහු වෙතින් නිශ්චිතවම දේවල් සම්පුර්ණයෙන් සරලව ප‍්‍රකාශ නොවන නිසා විය හැකිය. නමුත් රනිල්ගේ ප‍්‍රකාශ තරම් දිගක්, පළලක්, ගැඹුරක් ඇති ප‍්‍රකාශයන් මෙරට දේශපාලනඥයෙකු වෙතින් නම් මෑත කාලයේදි අසන්නට ලැබී නැත. එය වටහා ගැනීම වෙනම අධ්‍යයනයකි. දුෂ්කර අභ්‍යාසයකි. එහෙත් සියල්ල අවසානයේ ඔහු කළ කී දේ වඩාත් නිවැරදි බව වටහා ගත හැකිය.

රනිල් එජාපයට හිමි වූ එකම පාර්ලිමේන්තු අසුනේ වාඩිගත් දා (2021 ජුනි 23) ඔහු පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ලැබුවේය. ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු අනෙක් තැනක ( lankadaily.com) සටහන් කළේ,

”…කොහොම වුණත් ඔහුගේ පැමිණීම ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ මොකක් හෝ බරපතල යමකට තුඩු දෙන්නක් විය හැකි බව ඒ බොහෝ දෙනා සැක මතු කර තිබිණි. රනිල්ගේ දේශපාලන භාවිතාව ගැන ඇති අතීත අත්දැකීම සහ ඔහු ඉදිරියේදී කරන්න යන්නේ කුමක්ද යන්න ගැන කිසිවකුට පූර්ව විනිශ්චයන් දීමේ නොහැකියාව මත රනිල් මේ මොහොතේ පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද කියන කාරණය ගැන කුහුලක් ඇතිවීම වැලැක්විය නොහැක.

රනිල් දේශපාලන බලය අත්පත් කර ගැනීම යැයි සැලකුවේ ජනාධිපති ධුරය ලබා ගැනීම අගමැති ධුරය ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරය හෝ විපක්ෂයේ බහුතරයක් හෝ ලබාගැනීම නොවේ. ඒ බලය ඔහුගේ දේශපාලනයට අත්‍යාවශ්‍යම සාධක නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ඔහු පිළිගන්නා දේශපාලන ප‍්‍රතිපත්තීන් ජයග‍්‍රාහී තැන තබා ගැනීමය. එය ඔහුගේ එජාපය තුළින් බැරි නම් ඒ මොහොතේ බලයේ සිටින පක්ෂ හෝ පක්ෂ එකමුතුවක් ලවා හෝ කරවා ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වූවාට සැක නැත.

අද දින ඔහු පාර්ලිමේන්තුව හමුවේ කරනු ලැබු තරමක් සැර කතාව ද පදනම්වන්නේ ඒ මතය…

 …කොහොම නමුත් රනිල් මතු කරනු ලැබූ කාරණය ගැන ආණ්ඩුවටත් අනෙක් විපක්ෂ කණ්ඩායම්වලටත් හිතන්න, වාද කරන්න බොහෝ දේ ඇත. ජනාධිපතිවරයා සහ අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවට යළි තමන් කරමින් සිටින දේ ගැන ගැඹුරින් කල්පනා කරන්නට සිදුවෙනු ඇත. මෙය හරියට අඬන්න සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැනි වැඩකි. කොහොම නමුත් රටට වගකියන පාලක පක්ෂයට දැන් රනිල් මඟහැර යා නොහැකිය. විපක්ෂයට තමන් මෙතෙක් කරපු කියපු දේවල් ගැනත් අඩුම තරමින් දේශපාලනය යනු කුමක්දැයි හෝ කල්පනා කිරීමට හෝ දැන් අවස්ථාවක් ඇත. යළි බලය අත්පත් කරගැනීමට දේශපාලනික උපක‍්‍රමික මාර්ග තෝරන්නෙ කෙසේදැයි රනිල් අද ලබාදුන් නිදර්ශනය ගැන ඔවුන්ට සිතන්නට සිදුවේ. කොටින්ම රනිල්ගෙන් ඉගෙන ගන්නට තව බොහෝ දේ ඇති බව සියලූ‍ විපක්ෂ කණ්ඩායම්වලට තිබෙන බව රනිල් ටොක්කක් ඇණ පෙන්වා දී ඇත.

රනිල් පවසන දේ භාරගැනීම හෝ නොගැනීම ආණ්ඩුවත් විපක්ෂයත් සිදු කළද නොකළද ඔහු පෙන්වා දුන් ඇත්ත වෙනස් නොවනු ඇත…” යනුවෙනි.

ලියුම්කරු එදා කල්පනා කළ පරිද්දෙන් රනිල්ව මඟ හැර යාමට කිසිවකුට නොහැකි වූ අතර අවසානයේ සියළු දෙනා රනිල්ට අභිමුඛ වී පරාජය විය.

එදා මෙදා තුර රනිල් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ජාත්‍යන්තරය තුළත් බොහෝ දේ කියා ඇත. එමෙන්ම විශාල ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණයකට පිවිස ඇත. මේ සියල්ල තුළ එකට එක පෑහෙන සම්බන්ධතා එකිනෙක යා කර ලකුණු කරගැනීමේ සමත්කම තිබේ නම්, රනිල්ගේ ගමන් මගෙහි සිතියම ලකුණු කරගැනීම අපහසු නැත. ඒ අනුව ඔහු යන්න හදන්නේ කොතනටද? කරන්න හදන්නේ කුමක්ද? කියන එක ගැන අදහසකට පැමිණිය හැකිය. අවශ්‍ය නම් දශක 5ක් තිස්සේ කළ කී දේ ගැනද සලකා බැලිය හැකිය. එයද සිහින් හුයකින් වර්තමානය හා ගැට ගැසෙයි. දශක 5ක් තිස්සේ රනිල්ගේ දේශපාලනය නිශ්චිත ඉලක්කයක් කරා දිව යන්නකි. පරාජයන් මෙන්ම ජයග‍්‍රහණයන් රැුසක් සමඟ ඉවසීමෙන් සංයමයෙන් ආ ගමන අද එහි කූඨප‍්‍රාප්තියට ආසන්නව ඇතැයි කීවාට වැරදි නැත.

බොහෝ විට රනිල් සම්බන්ධයෙන් වරදින තැන, ඔහු කරන කියන දෙයෙහි එකිනෙක සම්බන්ධය නොසලකා හරිමින් එහෙන් මෙහෙන් වෙන වෙනම අල්ලාගෙන කරන ”ඇගයීම” හෝ ”විවේචනය” ය. රනිල්ගේ දේශපාලනය තුළ ඔහු සිටින තැන ලකුණු කර ගැනීමට ඉඩකඩක් වෙන් නොවීම තුළ බොහෝ අය නොමඟ යෑම සිදුවේ. රනිල්ගේ විවේචකයන් සාතිශය බහුතරය මෙලෙස නොමඟ ගිය වුන්ය. රනිල්ව තේරුම් ගත් අය රනිල් සමඟ අඛණ්ඩව වැඩ කළේය. අදත් රනිල් සමඟ සිටගන්නන්ට සමත්කම් පාන්‌නේ රනිල් යන්නේ කොහෙද යන්න වටහාගත් වුන්ය. එතැනට අලූ‍ත් පිරිසක්ද දැන් එකතුව සිටී.

 විපක්ෂය නියෝජනය කරන නායකයන් විසින් රටේ ආර්ථික අර්බුද සමනය සඳහා තමන්ට විසදුම් තිබෙන බවත් මාස 6න්, අවුරුද්දෙන් රට ගොඩදැමිය හැකි බවත් කියමින්, ඒ වන විට රනිල් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ගත් පියවරයන් දැඩිව විවේචනය කරමින් සිටි සමයේදී රනිල් අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ (2022 ජූලි 05 දා* ඔවුන්ගෙන් විමසා සිටියේ එවැනි සැලසුම් තිබෙනවා නම් ඉදිරිපත් කරන ලෙසය, එහෙම සැලසුම් තිබෙනවා නම් ඒ අයට ඉඩදී තනතුරු අත්හරින්න තමන් සූදානම් බවය.

”තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලූ‍ත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි. ඒ අවස්ථාවේ රට පත්වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්වය තවත් වර්ධනය වුනා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත‍්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා.

මේ තනතුර භාරගත්තේ ඒ තත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම් භාරගත්තේ රට වෙනුවෙන්. මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ. රට ප‍්‍රපාතයට ඇද වැටීම වලක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහළට ඔසවා තබන්න.

මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්වා සිටින්නට කැමතියි.

අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක‍්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප‍්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක‍්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.

ඉතින් දැන් අප අනුගමනය කරන ක‍්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැගී සිටීමේ ගමනට එක්සත්ව එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු…”

රනිල්ගේ වුවමණාව පැහැදිලිය. නමුත් මේ කතාව වුවත් බොහෝවුන් විශ්වාස නොකරන්නේ රටේ දේශපාලනය, බොරුව, රැුවටිල්ල, තක්කඩිකම මත පදනම්ව සැකසී තිබෙන ආකාරය නිසාය. පුරවැසියා, දේශපාලකයා සම්බන්ධයෙන් කල්පනා කරන ජනප‍්‍රිය ආකාරය නිසාය. කෙසේ නමුත් රනිල් මෙතැනදී අවධාරණය කරන වැදගත් කාරණය, ”…තනතුරු මට අලූ‍ත් දේවල් නෙමෙයි… තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි… මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි…” ‍යනුවෙන් කරන ප‍්‍රකාශයයි.

රනිල්ව බොහෝ අය කියවගන්නේ ජේ.ආර්. ඉදිරියට රැුගෙන ආ යෂ්ඨිය අතයට ගත් තැනැත්තා ලෙසය. ජේ.ආර්. ජයවර්ධන වරෙක කියා සිටියේ තමන්ට රකින්න පරපුරක් නැති බවය. ඔහුට නොබියව රටේ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කරන්න හැකි වූයේ ඒ නිසාය. ඔහු මුළුමනින්ම කල්පනා කළේ රටේ අභිවෘද්ධිය ගැන පමණය. ඒ ජේ.ආර්.ට මෙන්ම රනිල්ටද රකින්න පරපුරක් නැත. ඔහුගේ අරමුණද රටය. කොටින්ම සිය පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයද රටේ වුවමණාවට යටත් කර පක්ෂ බල දේශපාලනයෙන් එය ඈත් කර තිබේ.

”.‍..මම අගමැති වගකීම් භාරගත් අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා, මේ අසීරු හා අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා. ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප‍්‍රතිචාර ගැන ඔබ හැමදෙනාම දන්නවා… මම යළිත් මේ සභාවේ සිටින සියළුම පක්ෂ නියෝජිතයන්ගෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජයගැනීමට එකට එක්වෙන ලෙසටයි.

අපේ අවසාන ඉලක්කය ඉහළ තරගකාරීත්වයකින් යුතු සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි…”‍ යනුවෙන් රනිල් සියලූ‍ දේශපාලන පක්ෂවලට ආයාචනයක් කළේ තව දුරටත් පක්ෂ දේශපාලනය තුළට වැදී රට අර්බුදයට යැවීමෙන් වැලකීම මේ මොහොතේ වඩා වැදගත් වන නිසාය. රට ගොඩගැනීමෙන් පසුව අවශ්‍ය නම් පක්ෂ දේශපාලනයට පිවිසෙමු යනුවෙන්ද රනිල් ඉල්ලා සිටියේ, ඔහුට වඩා වැදගත් වන්නේ රට නිසාය. ජනතාව නිසාය.

 මේ අවධාරණ කළ කරුණුවලට එපිටින් පක්ෂ දේශපාලනය බදාගෙන පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට අනුව තීන්දු තීරණ ගන්නා තැනට මේ ගෙවුණු අවුරුද්දක කාලය තුළ රනිල් පියවර ගෙන නැත. ඔහු පෙනී සිටින්නේම රට වෙනුවෙන් අවශ්‍ය අනිවාර්ය කාර්යභාරය ඉටු කරමින් පුරවැසියාට යහපත් හෙටක් ගොඩනගාදීම ගැන වන අරමුණෙනි. ජනප‍්‍රිය දේශපාලන භාවිතාව වෙනුවට දුෂ්කර අවදානම්කාරී තීන්දු තීරණවලට එළැඹෙමින් අතිශය සංකීර්ණ තත්වයන් හා ගැටෙමින් ඔහු ක‍්‍රියාත්මක වන්නේ ඔහු පතන සංවර්ධිත ශ‍්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් මිස ඔහුටවත් ඔහුගේ පරපුරකට තබා පක්ෂය වෙනුවෙන්වත් නොවන බව පැහැදිලි කරුණකි.

කොහොම නමුත් පක්ෂ දේශපාලනය ව්‍යාජයක්ව අවසන් වී දැන් කාලයක් ගත වී තිබේ. පක්ෂ හැටහුටාමාරක් තිබෙන රටේ මැතිවරණ දේශපාලනයේදී ඒවා සන්ධාන බවට පත් වේ. බලය අත්පත් කරගත්තා නොගත්තා හෝ වේවා මෙම සන්ධාන නැවත නැවත කැඞී වෙන් වෙමින් නැවත නැවත සන්ධානගත වේ. මුළින් පෙන්වන මතවාදී වෙනස්කම් ප‍්‍රතිපත්ති වෙනස්කම් පහු පහු වෙනවිට හඳුනාගත නොහැක. මේ නිසා කිසිදු පක්ෂයකට නිශ්චිත මතවාදයක් ප‍්‍රතිපත්තියක් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව අද නැත. අනෙක අද තිබෙන පක්ෂ බහුතරයක් යනු යම් අයකුගේ, පවුලක, මිතුරු කැළක පුද්ගලික දේපොළක්, බුදලයක් හෝ ව්‍යාපාරික සමාගමක් ආදි ලෙස පවතින ඒවාය. දේශපාලන අරමුණුවලට වඩා ඇත්තේ වෙනත් අරමුණුය. ඒ අරමුණු වෙනුවෙන් ඒවා නම්‍යශිලී වන්නේ හිතාගන්නට නොහැකි තරම් වේගයකිනි. කොහොම වෙතත් පක්ෂ දේශපාලනය කවර හැඩයක් ගත්තත් රටෙත්, පුරවැසියාගේත් අභිවෘද්ධියට යටත්ව එසේ සිදු වෙනවා නම් එහි ගැටළුවක් නැත. එහෙත් බොහෝ විටම දකින්නට ලැබුණේ කෙටි කාලීන සිල්ලර දේශපාලන වුවමණාවන්, බඩගෝස්තරය වෙනුවෙන් ගන්නා අවස්ථාවාදි තක්කඩි පියවරයන් ලෙස පමණි. අද රනිල් විරෝධයක්, ආණ්ඩු විරෝධයක් නඩත්තු කරගැනීම වෙනුවෙන් පෙළ ගැසී සිටින කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේදි මේ විකාරය පැහැදිලිය. ඒ තබා ආණ්ඩු පක්ෂයටමත් සහයෝගය දෙන පක්ෂ කණ්ඩායම් තුළත් මේ විකාරයම සිදුවෙමින් පවතී. මේ විකාරකාරී තත්වයන් තවදුරටත් රටට අවශ්‍ය වන්නේ නැත. රට මේ අර්බුදයෙහි ඇද දැමීමටත් මේ තත්වයන් හේතුවක් වූ අතර, මේ විකාර පක්ෂ දේශපාලනය මේ වන විට කල් ඉකුත්ව තිබෙන්නකි. රනිල් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ මේ විකාරය නවත්වා නිශ්චිත අරමුණක් වෙනුවෙන් එකතු වී මේ කඩා වැටුණු රට ගොඩනැගීමට දායක වන ලෙසය. රනිල්ව තේරුම් ගැනීමට අවශ්‍ය නම් රනිල් මේ සිටින ස්ථාවරය තුළ බහා ඔහු කරන කියන දේවල් දෙස බැලිය යුතුය.

අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේම ඇතැම් නායකයන් සිය හිතවතුන් ආධාරකරුවන් (පාක්ෂිකයන් කියා කොටසක් දැන් කිසිදු දේශපාලන පක්ෂයකට නැත) ඉදිරියෙහි තබාගෙන ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන විවිධ කතන්දර කියමින් සිටී. තමන්ගේම පක්ෂයේ සුජාත අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියමින් සිටී. ආර්ථිකය හදන්න කෙනෙක්  ඕනෑ නම්, තරුණ නායකයෙක්  ඕනෑ නම්, ජාතික ආරක්ෂාව සහතික කරන්න  ඕනෑ නම්, ජාත්‍යන්තර සබඳතා සහිත කෙනෙක්  ඕනෑ නම් ඒ්  ඕනෑම එකකට ගැලපෙන අපේක්ෂකයෙක් තමන්ට ඉදිරිපත් කළ හැකි බවත් කියයි. මේ අයම වැඩකරන විරුවකු ගෙනවිත් කළ හදිය ගැන මොවුන්ට දැන් අමතක වී ඇති සෙයකි. තවත් වරෙක කියා තිබුණේ රනිල්ට ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වෙන්න  ඕනෑ නම් තමන්ගේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු බවය. නමුත් තමන්ට  ඕනෑම ආකාරයක අපේක්ෂකයන් සිටිනවා කියන පක්ෂයකට රනිල්ට නැවත කතා කරන්න අවශ්‍ය වන්නේ නැත. නමුත් ඇත්ත දේ නම් රනිල් නොමැතිව වෙන විකල්ප නැති බවය. තමන්ගේ කියා කිසිවක් නැති බවය. කොටින්ම දැන් පක්ෂයක්ද නැත. රටේ පැවැත්ම කෙසේ වෙතත් තමන්ගේ පැවැත්මට රනිල්ව මේ අයට අවශ්‍යය. රනිල් ඉන්න තැන හෝ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තුළදී එකක් කියන්නයි හිතවතුන් ආධාරකරුවන් ඉදිරියේ තව එකක් කියන්නයි වෙන්නේ ඒ නිසාය.

විපක්ෂයට වී ඇත්තේත් මේ ඇබැද්දියමය. රනිල් නිවැරදි බව දැන දැනම තම හිතවතුන් ආධාරකරුවන් චූන් කර තබා ගැනීම වෙනුවෙන් බොරු කියන්නට සිදුව තිබේ. සජබයේ ආර්ථික ඔස්තාර්ලා රනිල් ගන්නා පියවරයන් නිවැරදි බවත් ඊට සහය දෙන බවත් කියන විට සජිත්ට හිතවතුන් ආධාරකරුවන් ඉදිරියට ගොස් කියන්න සිදුව ඇත්තේ රනිල් රට කනවා කියාය. මන්ද රනිල් හරි කිව්වොත් හිතවතුන් ආධාරකරුවන් ඉතිරි නොවන්නේ යැයි සජිත් හිතන නිසාය. ජවිපෙ මුහුණ දී ඇති ගැටළුවත් මෙයය. තමන්ට කියා දෙයක් නැත. නමුත් තිබෙනවා යැයි ව්‍යාජයක් නඩත්තු කරන්නට සිදු තිබේ. පරණ පක්ෂ දේශපාලන හණ මිටි කරතබා ගෙන සිටින තාක්කල් මේ ව්‍යාජය නඩත්තු කරන්නට සිදු වේ. එජාපයටත් මේ ගැටළුවට මුහුණ දීමට සිදුවීම අනිවාර්යයකි. එජාපයට ජනාධිපති රනිල් තමන්ගේ නියෝජිතයකු යැයි කල්පනා කරන්නට ඉඩක් විවරව තිබේ. නමුත් එජාපයට රනිල් කියන්නේ පක්ෂයේ නායකයා විය යුතුවීම මිසක ජනාධිපති තමන්ගේ පක්ෂයේ නියෝජිතයා නොවිය යුතුය. රනිල් යනු කාගෙවත් නියෝජිතයකු නොවේ. රට ගොඩගන්න රටට ඉතිරිව ඇති එකම විකල්පයයි. එතැන පක්ෂයක් අදාල නැත. පක්ෂ යනු ව්‍යාජයක් වීම තුළ කොහොමටවත් අදාලත්වයක් නැත. නමුත් එජාපය එය වටහා නොගත්තොත් එජාපයට ”ජනාධිපති රනිල්” අහිමි විය හැකිය.

පැරණි දේශපාලනය අද වෙනස් වන්නේ මේ රනිල් නම් සාධකය නිසාය. එය ඉවත් කළ නොහැක. එය වෙනස් කළ නොහැක. ඒ සඳහා ගන්නා උත්සාහයන්ගෙන් ද වැඩක් වන්නේ නැත. එය අනිවාර්ය තත්වයක් වනවා සේම එය යථාර්ථය ලෙස පිළිගැනීමට සිදු වේ. මන්ද යත් රනිල් හැර වෙන විකල්ප නැති බැවිනි. නමුත් රනිල් යනු හුදු පුද්ගල සාධකයක් ලෙස තේරුම් නොගත යුතුය. එසේ වීම නැවත වරද්දා ගැනීමකි. රනිල් යනු ක‍්‍රමවේදයකි.

ජයතුංග බණ්ඩාර