අර්බුද හීන – සයිමා

කාලෙකට පස්සේ සයිමා කඩයට කොටු විය. බිස්නස් අම්බානට ඇණ හිටලාය. බංකුව පිහදා රාක්ක සුද්ද බුද්ද කර කඩ කෑල්ල පිහදා වෙනදා මෙන් ඩප්පියා ගෙනැවිත් දුන් පත්තර කඩමාල්ල කියවමින් බංකුවට වී සිටියේය.

එන යන අය සයිමාට ගුඩ් මෝනිං කිවේය. මද්දහනට ඔන්න මෙන්න කියා තිබියදී ඩප්පියා ත්‍රිවිලර් හයර් එක්ක දුවා ප්ලේන්ටියක් බීමට පැමිණියේය.

ආහ් සයිමයියා බොමුද ස්ට්‍රෝංග් ප්ලේන්ටියක්.. ඈ..අයියේ මේ විකාර දේශපාලන මගුල් අතෑරලා මේ කඩේ කරගෙන ඉදපං කෝ”

” හපෝයි යකෝ ගෙදර කන්දොස්කිරියාව බැරි තැන මෙතනට ආවේ තෝත් එනවද ඒ ගමන.. ”

මද වේලාවකින් පත බේන්ස් කාරයක් සයිමාගේ කඩය ඉදිරියේ නතර කළේය. බැස ගත් පුද්ගලයා කෙලින්ම පැමිණ බංකුවේ හිද ගත්තේය.

” මුදලාලි මට ප්ලේන්ටියයි වඩයයි දෙනවද ? ”

පෙනුමෙන් නම් මෙයා සුදු ඇදල ටිකක් පුරුදු චරිතයක් වගේ කොයිකටත් කියල සයිමා පට ගා ප්ලේන්ටියක් දැම්මේය

” කොමද මුදලාලි ඉතිං මේ පැත්තේ තොරතුරු ආර්ථික තත්වේ එහෙම වෙරි බෑඩ් නේද ? ”

” වැඩක් නෑ මිස්ටර් මේ ගැන නම් කියල. කෙලවෙන්න ඕන හොදම එකෙන් කෙළවිලා යන්තන් ගැටගහගෙන යන්න පුලුවන් විදියක් ඉතිං හදල තියෙනවා නැත්නම් වහ කන්න තමයි වෙන්නේ ”

” ආහ් ඒක තමයි. ඔයාට කියන්න මුදලාලි මේ යන විදියට ටිකක් අමාරු වෙනවා. ආර්ථිකේ දැන් තියෙන්නේ ඉතාම අමාරුම තත්වයක. හිතන්න මේ මාසේ රජයේ පඩි ගෙවන්න බෑ.. එච්චරට අමාරුයි. ආයේ මේක ගොඩ ගන්න ණය නම් වෙන්න වෙනවා”

” අපෝ ණය ගත්තම ආයෙමත් අපිට ගෙවන්න වෙනවා නේ පිස්සු කෙලින්න එපා, අපි නම් ඒ ණය ගෙවන්නේ නෑ රෙද්ද ” යැයි ඩප්පියා පැනපු ගමන් කියාපිය.

” කට වහපං මේ මහත්තයා කියන දේ ටිකක් අහපං ඩප්පියා ” යැයි සයිමා ඩප්පියා අස්වසාලීය.

” නෑ මුදලාලි මේ තමයි ඇත්ත ප්‍රශ්නේ. මේ කේන්ති යාම සාධාරණයි. අපි ණය අරගෙන අපි ගෙවන්න ඕන තමයි හැබැයි කවුරුවත් ගත්තු ණය ගෙවන්නේ මොකටද කියල ප්‍රශ්නයක් එනවා. එතැනදී ඒ ණය ගෙවන්න ගත්තම ජනතාවගේ පැත්තෙන්මයි ආයෙමත් හිර වෙන්නේ..ඉතිං මේක දිගට කොරන්න බෑ..අපිට ණය ලැබෙනවා තමයි අපි ඒ ණය කළමණාකරණය කරගෙන යන්නෝන. නැත්නම් මේ තත්වේ තවත් වැඩි වෙනවා.”

” ආන්න එහෙම එන්න මහත්තයා. දැන් බලන්න මහත්තයාට කියන්න මේ මැතිවරණයක් අල්ලගෙන නටනවා නේද ? ඇයි ඒ මැතිවරණ මගුල් මෙ වෙලාවේ. ඇයි මහත්තයෝ මුන්ට මේවා නොතේරෙන්නේ..?”

” ඔව් මුදලාලි ඉතිං මේ ආර්ථික තත්වය අමාරුයි, අපිට ලැබෙන්නේ මාසෙකට හැමදේම කරන්න බිලියන 145යි මේකෙන් තමයි ඔක්කොම කොරන්න වෙන්නේ, ඒකෙන් අපිට පඩි නඩි ගෙවන්න යනවා බිලියන 90ක් ඉතිං මේ ටික හිතන්නකෝ ආදායම අච්චර නම් ඒකෙන් මේ වගෙ ගානක් පඩි වලට යනවා නම් ඉතිරි ටිකෙන් නේද අපි රටක් ගෙනියන්න ඕනේ.. මම මේ සරලව කිව්වේ මීට වඩා සංකීර්ණයි තියෙන තත්වය. මේවා සාමාන්‍ය ජනයා දන්නේ නෑ.. ඒ නිසා අපිට ඔය රූපවාහිනියේ බැන දොඩාගන්න ටික තමයි ඇහෙන්නේ, ඒකෙන් ඒ අයගේ දේවල් කියා ගන්නවා මිසක් රටේ ඇත්ත තත්වේ කියන්නේ නෑ ”

” සයිමයියේ මේ මහත්තයා කියන විදියට යකෝ අපි මේ රටේ යන මුකුත් දන්නේ නෑනේ, මැතිවරණ නෙවෙයි වෙන මගුල් මුකුත් කරන්න දෙන්න වටින්නේ නෑ බං.. යකෝ අපිව නේ තැලෙන්නේ අන්තිමට ”

” ඔව් බං බලාගෙන ගියාට පස්සේ මේවා අපිම කපාගත්තු වළවල් බං. නැත්නම් බං මේ වෙලාවේ අහවල් එකටද ගමට මොකෙක් හරි එකෙක් තෝරගෙන්නේ, ඌට කරන්න පුළුවන් මගුලක් තියෙනවයැ”

”ඒක තමයි ඇත්ත කතාව සයිමයියා”

”ඉතිං මේ මහත්තයා කවුද කියල අපිට කිව්වෙ නෑනේ ප්ලේන්ටියක් බොන්න තරම් මේ කඩේට ගොඩ වෙලා මෙච්චර දෙයක් දැන ගත්තා නේ ”

” ආහ් හිතන්න දෙයක් නෑ.. මම ජේ. ආර්. ජයවර්ධන කියල කෙනෙක් .”

” සයිමයියේ සයිමයියේ මොකද බං මේ ගිනි දවල් පත්තර කඩමාලුත් පොඩි කරගෙන බුදියන්නේ නැගිටපංකෝ… ආන්න ඩල්සියා ගෙදර එන්නලු දවල්ට කාල යන්න.. ” ඩප්පියාගේ සද්දේට හීනේ මැදින් සයිමා නැගිට්ටේය.

” හප්පට බොල නින්ද චුට්ටක් ගියා කියාන්කෝ”

තව්තිසා

Chatham Street Journal පුවත්පතේ 2023.01.22 දින පළ වූ ලිපියකි.