මම පක්ෂපාතී ලංකාවට පමණයි

කියුබානු ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව කියුබාව බලා පිටත්ව ගිය ජනපති රනිල් වික‍්‍රමසිංහ එම සංචාරය නිමවා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීම උදෙසාය.

” G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව සාර්ථකව අවසන් කළ ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණියේ ඉකුත් ඉරිදා ය. ජනපති කියුබාවට පිටත්ව යාමට පෙර ඉරිදා පැවැති ජේ.ආර්. ජයවර්ධන සමරු උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් එක් කිරීමට ද අමතක නොකළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග‍්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන ”තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූවේ ඉකුත් සඳුදාය.

එදිනම ජනපති ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මුණ ගැසී ඵලදායී සාකච්ඡුාවක නිරතවූවේය. දකුණු කොරියානු ජනපති මුණ ගැසුණු ජනපති රනිල් දෙරට අතර ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහාය පළ කරන ව්‍යාපාරික හමුවක් ද එහිදි පැවැත්විනි. ඉන්දු පැසිපික් කලාපය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ දැක්ම ජනපති ඉදිරිපත් කළේ අමුතු උපමාවක් ද යොදමිනි. ”කෙනෙක් මගෙන් ඇහුවා ඔබ ඉන්දියාවට පක්ෂපාතී ද කියලා. මම කිව්වා නෑ කියලා. එහෙනම් ඔබ චීනයට පක්ෂපාතීද කියලා ඇහුවා. මම ඒකටත් නෑ කිව්වා. එහෙමනම් ඔබ කාටවත් පක්ෂපාතී නැති කෙනෙක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මම කිව්වා මම පක්ෂපාතී ලංකාවට පමණයි කියලා.” ජනපති කීවේ නිවේදකයාගේ ද ඇස් උඩ හිඳුවමිනි.

ජගත් සමුළුව

ජනපති ජගත් සමුළුවට එක්වූවේ එදින සවසය. ජනපති බංග්ලාදේශ අගමැතිනිය මුණ ගැසුණේ අ`ගහරුවාදා පෙරවරුවේය. එහිදි ඇය ශ‍්‍රී ලංකාව ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙලට සුබ පැතුම් එක් කළාය. එසේම මෙතරම් ඉක්මණින් ආර්ථිකය ශක්තිමත් කොට බංග්ලාදේශයෙන් ගත් ණය මුදල නැවත ගෙවීම ගැනද විමතිය පළ කළාය.
ජනපති රනිල් මීටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ‍්‍රීමත් නික් ක්ලේග් මුණ ගැසී කෘතිම බුද්ධි තාක්ෂණය මෙරටට යොදා ගැනීම ගැන සාකච්ඡා කළේය. ජනපති රනිල් නේපාල අග‍්‍රාමාත්‍යවරයා ද මුණ ගැසී සාකච්ඡා කළේ මේ අතරවාරයේය.

එක්සත් ජාතීන්ගේ ආධාර

වැඩසටහනේ ප‍්‍රධානි සමන්තා පවර් මුණ ගැසී මෙරට සංවර්ධනයට අවශ්‍ය උපකාර කරන ලෙස ද ඉල්ලා සිටීමට ඔහු අමතක නොකළේය. ඉරාන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදි ජනපති ඔහුට ආරාධනා කළේ මෙරටට පැමිණෙන ලෙසටය. උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙනු ඇත.
දේශගුණික අභිලාෂ සමුළුව ආමන්ත‍්‍රණය කරමින් දේශගුණික විපර්යාස නිසා මෙරට ආර්ථිකයට වන හානිය පිළිබඳව ද පැහැදිලි කිරීමක් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීනා ජෝර්ජිවා මුණ ගැසුණේ බදාදා ය. එදිනම පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය ද ජනපති මුණ ගැසුණේය.

සෙල්ෆි පොරය

ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් ජනපති හා සාකච්ඡුාවක නිරත වූවේද එදිනමය. එහිදි ජනපති වසරක් තුළ ලංකාවේ ආර්ථිකය නගා සිටූවීමට ගත් පියවර ඔවුන් අගය කළෝය. එම නිසා රට ගොඩ නැගීමට ගෙන යන වැඩපිළිවෙලට සහාය දෙන බවද ඔවුන් කියා සිටියෝය.
හමුව අවසානයේ ජනපති අසලට එක් රොක්වූ ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකියන් ජනපති සමඟ සෙල්ෆි ඡුායාරූප ගැනීමට පොදි කනු දක්නට හැකි විය.
මැලේසියානු රජු විසින් මැලේසියාවට පැමිණෙන ලෙසට ජනපතිට කර ඇති ආරාධනාව මැලේසියානු අගමැති හමුවේදි ජනපති විසින් තහවුරු කළේය. ඒ අනුව ඔහු ලබන ජනවාරි හෝ සැප්තැම්බර් මාසවලදී මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනපති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතනු ලැබූවේ බ‍්‍රහස්පතින්දා දහවල්ය. එය ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් රාත‍්‍රී 10.00 ට පමණ වූවේය.

ජනපති වෙනුවෙන් සාගල

දින කිහිපයක් රටින් පිටව සිටිය ද මෙරට කටයුතු ගැන සොයා බැලීමට ඔහු අමතක නොකළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක මහතා හා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් මෙරට කටයුතු ගැන ජනපති සොයා බැලූ‍වේය. ඔහු ද ජනපතිට දිනපතා මෙරට තත්ත්වය වාර්තා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටින බැවින් ඔවුන් හා පැවැත්වෙන සාකච්ඡා ගැන ද ඔහු ජනපති දැනුම්වත් කළේය. ඊට අමතරව රාජතාන්ත‍්‍රික ගැටළු කිහිපයක් ගැන ද දැනුම්වත් කොට තිබුණි. ඉකුත් ඉරිදා ජනපති ඇමරිකාවේ සිට දුරකතන ඇමතුමක් දෙමින් සාගලගෙන් විමසා සිටියේ මෙරට ජලාශවල පවතින තත්ත්වය ගැන සොයා බලා දැනුම් දෙන ලෙසටය.
ඒ අනුව ඔහු වහාම විදුලිබල මණ්ඩලයේ, මහවැලි අධිකාරියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා ජල කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් කැදවා රටේ ජලාශවල පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළේය. එහිදි ජලාශ වසර ගණනාවකින් පිරිසිදු කර නොතිබීමත්, රොන් මඩ තැන්පත්ව ඇති ආකාරයත් ගැන සවිස්තර වාර්තාවක් ලබාගත හැකිවිය. ජනපති නොමැති බැවින් නිලධාරීන් හා ආරක්ෂක ප‍්‍රධානීන් පැමිණියේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල මුණ ගැසීමටය. එවන් ගැටළුවක් රැුගෙන ඉකුත් සඳුදා පැමිණියේ නාවුක හමුදාව හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ය. ඒ පෝට් සිටියට කටුනායක සිට පැමිණෙන අධිවේගි මාර්ගය නිසා වරායේ ආරක්ෂාවට සවිකොට තිබෙන ආරක්ෂක පද්ධතියක් ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුව ගැනය. වහාම ගුවන් හමුදාව, නාවුක හමුදාව, වරාය අධිකාරිය හා අධිවේගි මාර්ගය ඉදිකරන පෞද්ගලික සමාගමේ නිලධාරීන් කැදවා එම ගැටළුව කාටත් හානියක් නොවන ලෙස විසදීමට ඔහු කටයුතු කළේය. සාගල සෙනසුරාදා ගියේ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට එක්වීමටය. එහිදි කතිකාකරගත් වැඩකටයුතු ගැන සාකච්ඡුාව පැවැතියේ සඳුදාය. මෙරට සුන්දරත්වය වෙනුවෙන් හා ස්වභාවික පරිසර පද්ධතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින මුහුදු වෙරළ හා ගංගා ඇතුළු ජලාශ මෙන්ම වන සම්පත විනාශවීම ගැන ද එහිදි කතා බහ කරන්නට වූහ. කැලි කසල ගැටළුව ගැනද මෙහිදි අදහස් හුවමාරු විණි. ඒ අනුව මෙරට පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් යෝජනා 5 ක් ජනපති රනිල් මෙරටට පැමිණි පසු ඉදිරිපත් කිරීමට තීන්දු කර ගත්තේ සාගලගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදීය. එම සාකච්ඡුාවේදි වාහන ආනයනය ගැන ද කතා කළෝය. පරිසර කමිටුවක් සකස් කරමින් මහා වනාන්තර විනාශ කිරීම හා අනවසර වැලි කැපීම් වළක්වා ගැනීමට ද තීන්දු කළේ එම හමුවේදීය. ඉරිදා සවස ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක මීතොටමුල්ල ක්ෂේත‍්‍රාරාම විහාරස්ථානය වෙත ගියේ එහි අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් විවෘත කිරීමටය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක ද එම අවස්ථාවට එක්ව සිටියේය. එහිදි චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමට ආරාධනා ලැබුවේ සාගලටය. සාගල, පාඨලීට ආරාධනා කළ අතර ඒ අනුව දෙදෙනාම එක්වී කොත නිරාවරණය කරනු ලැබීනි. ආගිය දේශපාලන තොරතුරු සේම වර්තමාන දේශපාලනය ගැන ද ඔවුන් කතා බහ කරනු ලැබීය. ජනපති රටේ නොමැති බැවින් සාගල අගහරුවාදා පෙරවරුවේ ආරක්ෂක ප‍්‍රධානීන් ජනපති කාර්යාලය වෙත කැදවූවේ පවතින ආරක්ෂක තත්ත්වය ගැන සමාලෝචනයකටය. එදින ජනපති ආරක්ෂක ප‍්‍රධානීන් මෙන්ම ශ‍්‍රී ලංකා තොතුරු තාක්ෂණ විද්‍යාලයේ නිලධාරීන් කැදවා මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින හිටපු මන්ත‍්‍රී හිස්බුල්ලා විසින් ඉදිකළ ෂරියා විශ්වවිද්‍යාලයේ එහි අයිතිය හිස්බුල්ලාට පැවරූ අතර පාලන බලය හෝමාගම තාක්ෂණ විද්‍යාලය වෙත පැවරුවේය.
බදාදා ඔහු පොලිසියේ කාලයක් පවතින ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් හා මුදල් අමත්‍යාංශයේ නිලධාරින් සමඟ සාකච්ඡුාවක් පැවැත්වූවේය. එය ධනාත්මක සාකච්ඡුාවක් වූ බව පොලිස්පතිවරයා සාකච්ඡාව නිමවී යන අතරතුර සාගලට කීවේය.

IMF කියන විදිහටම බෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පසුගිය සතිය මුළුල්ලේම පැවැත්විණි. රාජ්‍ය ආදායම් ප‍්‍රමාණවත් නොවීම ගැන මෙහිදි දිගින් දිගටම රජයේ අවධානයට යොමු කර ඇති අතර කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල පිළිතුරු ලෙස කීවේ තවදුරටත් ජනතාව මත බර පටවමින් ඔවුන් පීඩාවට පත් කළ නොහැකි බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ‍්‍රී ලංකා රජය අතර කාර්ය මණ්ඩල ගිවිසුම මෙම සතියේදි අත්සන් කිරීමට නියමිතය. ඉන් පසුව දෙවන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදා හරිනු ඇත. ඔහු බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මහරගමට ගියේ පිළිකා රෝහලේ දරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීමටය. කතරගම දේවාලයේ මූල්‍ය දායකත්වයෙන් හා ගුවන් හමුදා නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ සාගල රත්නායකගේ මැදිහත්වීමෙනි.

රුපියල් මිලියන 150 ක වියදමෙන් මෙය වසරක් තුළ ඉදිකිරීමට ඇස්තමේන්තු ගත වුවද ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වය ලැබීම නිසා එය මාස 6 කින් ඉදිවන අතර අමතර තට්ටුවක් ද මේ නිසා ගොඩනැගිල්ලට එකතු වන්නේය

mediaman